( මන්නාරම: හින්දු භක්තිකයකු දෙවොලක් වන්දනා කරයි; පින්තූරය අල් ජසිරා අනුග්‍රහයෙනි)
ග‍්‍රී ලංකාව තුළ සංහිඳියාව ගොඩනැගීම සිව් වැදෑරුම් වැඩපිළිවෙළක් රජය විසින් ඉදිරිපත් කොට ඇත. සත්‍යය සෙවීම, යුක්තිය ඉටු කිරීම, හානි පූරණය සහ යළි සිදුවීම වැළැක්වීම සහතික කිරීම එකී වැඩපිළිවෙළට අයත් වේ. මේ සඳහා ඇති කළ යුතු යාන්ත‍්‍රණ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමේ ක‍්‍රියාවලියක්, ඒ සඳහා පත් කර ඇති ‘සංහිඳියා යාන්ත‍්‍රණ උදෙසා ප‍්‍රවිචාරණ කාර්ය සාධන බලකාය’ විසින් මේ වන විට ආරම්භ කර තිබේ. ප‍්‍රමුඛ පෙළේ සිවිල් සමාජ නියෝජිතයන් 11 දෙනෙකුගෙන් සමන්විත මෙම කාර්ය සාධන බලකායේ සභාපතිත්වය දරන්නේ ප‍්‍රකට නීතිවේදිනියක වන මනෝරි මුත්තෙට්ටුවේගම මහත්මියයි. ඇය සමග කළ සාකච්ඡාවකි මේ.
සංහිඳියා යාන්ත‍්‍රණ උදෙසා ප‍්‍රවිචාරණ කාර්ය සාධන බලකාය වෙත පැවරී තිබෙන වගකීම, එහි සභාපතිනිය හැටියට ඔබ පැහැදිලි කරන්නෙ කොහොමද?
මේ ගැන මගේ ඔළුව ඇතුළෙ ඇඳිල තියන චිත‍්‍රය මම කියන්නම්. හිතන්න, ගෙයක් තියනවා. ඒකෙ කණු හතර දිරලා, බිත්ති දිරලා, පොළොවෙ මීයො වළවල් හාරලා. දැන් මේක ආයෙත් ගොඩනගන්න නම් කොතැනින්ද පටන්ගන්න ඕන? බිත්තිවල කුස්තුර වහලා තීන්ත ගෑවොත් හරියනවද? නෑ. ඉස්සරවෙලා කණු හතර ශක්තිමත් කරල තමයි පටන්ගන්න ඕන.
අන්න ඒ වගේ, දීර්ඝ කාලයක් තිස්සෙ පැවතුණු විවිධාකාර ගැටුම් නිසා අපේ රටේ සංහිඳියාවට බරපතළ හානි ඇතිවුණා. ඒක ආයෙත් ගොඩනගන්න නම්, සංහිඳියාවට පදනම් වන ප‍්‍රධාන කුලූනු හතර (සත්‍යය, යුක්තිය, හානි පූරණය සහ නැවත ඇතිවීම වැළැක්වීම) ශක්තිමත්ව තහවුරු කරන්න ඕන. අපට පැවරිලා තියෙන වගකීම තමයි, ඒ සඳහා අවශ්‍ය යාන්ත‍්‍රණ කෙසේ විය යුතුද කියන කාරණය ගැන මේ රටේ මහජනතාවගෙන්, විශේෂයෙන් පීඩාවට පත් වූ අයගෙන් අදහස් විමසලා, රජයට වාර්තා කිරීම.
උතුරේ බහුතරයක් ජනතාව යුද්ධය පැවති මුළු කාලය පුරාම, සමහර විට වසර 20ක් තරම් කාලයක් තිස්සේ පීඩාවට පත් වූ අය. යුද්ධය නිම වූ පසුව තවත් වසර 7ක් ඔවුන් යුක්තිය ඉටු වන තුරු බලා සිටියා. දැන් ඔබ ඇතුළු කාර්ය සාධන බලකාය ඔවුන් ළඟට ගිහින් අහනවා ‘ඔබට යුක්තිය ඉටු කිරීමට හැදිය යුතු යාන්ත‍්‍රණ මොන වගේද?’ කියලා. මේක උත්ප‍්‍රාසාත්මක නැද්ද?
මේක ගොඩක් පමා වුණු බව ඇත්ත. ඒ මිනිස්සුන්ට මේ වන විට යුක්තිය ඉෂ්ට වෙලා, ඔක්කොම ප‍්‍රශ්න විසඳිලා තිබුණ නම් හොඳයි තමයි. ඒත් අමතක කරන්න එපා, ඔවුන්ගෙන් පළවෙනි වතාවට තමයි මෙහෙම ප‍්‍රශ්නයක් අහන්නෙ. පළවෙනි වතාවටයි ඔවුන්ට කතා කරන්න ඉඩ ලැබෙන්නෙ. උතුර අමතක කරන්න, දකුණෙ ජනතාවට තමන්ගෙ අදහස කියන්න ඉඩක් හම්බවුණාද? දකුණෙ අතුරුදහන් වුණු අයට ඝාතනය වුණු අයට යුක්තිය ඉටුවෙලා තියෙනවද? ඒ නිසා, මහජනතාවගේ පැත්තෙන් මේක ඓතිහාසික අවස්ථාවක්. පමා වෙලා වුණත්, මෙතනින් තමයි පටන්ගන්න වෙන්නෙ.
සංහිඳියා යාන්ත‍්‍රණ 4ක් පිහිටුවීමට 2015 අගෝස්තු මාසයේදී ජිනීවා මානව හිමිකම් කමිටුව හමුවේ ශ‍්‍රී ලංකා රජය එකඟ වුණා. ඔබ කියන විදියට මේ යාන්ත‍්‍රණ උතුරේ සිදුවීම්වලට පමණක් සීමා වෙන්නෙ නෑ?
එහෙම සීමා පනවගෙන කොහොමද? ඕක නොයෙක් අයගෙ වැරදි ප‍්‍රචාර නිසා ඇති වුණු අදහසක්. මේ යාන්ත‍්‍රණවල විෂය පථයට ගැනෙන කරුණු මුළු රටටම අදාළයි. මම දකුණෙ අතුරුදන්වූවන්ගෙ ප‍්‍රශ්න ගැන සොයාබලන්න රට පුරා ඇවිදපු කෙනෙක්. සමහර අයගෙ ප‍්‍රශ්න උතුරෙ ප‍්‍රශ්නවලට වඩා පරණයි. මොනවද ලැබිල තියන විසඳුම්? අනිත් අතට යුද්ධයට සහභාගී වූ සෙබළුන්ට, ඔවුන්ගේ පවුල්වල අයටත් ප‍්‍රශ්න තියනවා. අතුරුදන් වුණු හමුදා සෙබළුන්ගෙ අම්මලා, අපේ දරුව කෝ කියල අහන්නෙ නැද්ද? මේ කිසිවක් බැහැර කරල අපිට සංහිඳියාව ගොඩනගන්න බැහැ.
යෝජනා වෙලා තියෙන සංහිඳියා යාන්ත‍්‍රණවල ව්‍යුහය, ක‍්‍රියාපටිපාටිය, බලතල, කාල සීමාව ගැන විතරක් නෙවෙයි. ඊට අමතරව වෙනත් යාන්ත‍්‍රණ උවමනා නම් ඒවා ගැනත් අදහස්, යෝජනා ඉදිරිපත් කරන්න මහජනතාවට සම්පූර්ණ අයිතිය තියෙනවා. සමහර විට කෙනෙක් කියන්න පුළුවන් ඔය යාන්ත‍්‍රණ එකක් වත් හරියන්නෙ නෑ, මෙන්න මේ විදියෙ ඒව තමයි ඕන කියලා. මේ සියලූ අදහස්වලට සවන් දීම අපේ වගකීමයි.
රජය මේ යාන්ත‍්‍රණ ඇති කිරීමට එකඟ වීම, ජාත්‍යන්තර උවමනාවන්ට රටේ ස්වෛරීත්වය පාවාදීමක් හැටියට ඇතැම් පාර්ශව වලින් විවේචන එල්ල වුණා. ප‍්‍රකට දේශපාලන ප‍්‍රකාශකයෙක්, ඔබ ඇතුළු කණ්ඩායම ‘අපකීර්තිමත් එකොළොස් දෙනා’ හැටියට නම් කළා. ඇත්තටම මේ කටයුත්තට කෙරෙන්නෙ ජාත්‍යන්තරයේ උවමනාවටද?
පුදුම කතානේ. අපේම රටේ ජනතාවට සාධාරණය ඉටු කරන්න, ජනතාව අතර සංහිඳියාව ඇති කරන්න අපට නම් උවමනාවක් නෑ, ජාත්‍යන්තරයට තමයි උවමනා කියලද මේ කියන්නෙ? අමතක කරන්න එපා ඔය අදහස පහුගිය ජනවාරි අට වැනිදා මේ රටේ බහුතරයක් ජනතාව එකතුවෙලා පරාජය කළ බව. ඇත්තෙන්ම මේ ප‍්‍රශ්න, ජාත්‍යන්තර අපට ඇඟිල්ලෙන් ඇනල පෙන්වන තුරු අපට විසඳගන්න බැරි වීම අපේ රටට විශාල අපකීර්තියක්. ඒ තත්ත්වය වළක්වාගන්න දීර්ඝ කාලයක් තිස්සේ මහජනතාවගේ පැත්තෙ ඉඳගෙන හඩක් නගපු සිවිල් සමාජයේ ප‍්‍රමුඛ පිරිසක් තමයි මේ කාර්ය සාධන බලකායේ සාමාජිකයන් හැටියට පත් කර තිබෙන්නෙ.
අපේ කාර්යයට සහය වීමට පත් කර තිබෙන විශේෂඥ කණ්ඩායම ගැනත්, නියෝජිත කණ්ඩායම ගැනත්, කලාපීය කාර්ය සාධක බලකායන් 15ට පත් කළ සාමාජිකයන් ගැනත් කියන්න තියෙන්නෙ ඒ දේ මයි. ඔවුන් මේ රටේ ඉතාම වැදගත් පුරවැසියන්. ඔවුන් හැම දෙනාටම අවශ්‍යයි රටේ සංහිඳියාව ඇති කරන්න. අප කිසි කෙනෙකුට ඒ වගේ චෝදනා කරන්න බෑ.
ස්වෛරීභාවය ගැන විශේෂයෙන් යමක් කියන්න තියන බව ඔබ කිව්වා?
කරුණු දෙකක් කියන්නම්. පළවෙනි එක පෞද්ගලිකයි. මගේ පියා (ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා* මේ රටේ ස්වෛරීභාවය වෙනුවෙන් ඔය කෑගහන අයට වඩා විශාල වැඩ කොටසක් කළ කෙනෙක්. ඉතින් ඇයි මම ඒක පාවල දෙන්න වැඩ කරන්නෙ? මට කැක්කුමක් නැද්ද ඒ ගැන?
අනිත් එක තමයි, ස්වෛරීභාවයේ නියම අර්ථය ඔය කෑගහන ගොඩක් අය වටහාගෙන නෑ. කාටත් මතක හිටින විදියට මම ඒක සරලව කියන්නම්. හිතන්න දරුවෙකුට ඔළුවෙ කැක්කුමක් හැදුණ කියල. අඬාගෙන ඇවිත් එල්ලෙන්නෙ අම්මගෙ ඇඟේ. අම්ම මොකද කරන්නෙ? ආ ඕක ඒ තරම් දෙයක් නෙමේ කියල අහක බලාගෙන ඉන්නවද? නෑ. ඒ දරුවට බෙහෙත් අරන් දීල, නැවත සුවපත් කෙනෙකු බවට පත් කරන්න පිළියම් යොදනවා. අන්න ඒක තමයි ස්වෛරීභාවය කියන්නෙ. නිවැරදි තීරණය නිවැරදි වෙලාවට ගැනීම. රටක් හැටියටත් අපි කටයුතු කරන්න ඕන ඒ විදියට. කව්රුවත් ඇඟිල්ලෙන් අනිනතුරු ඉන්න අවශ්‍ය නෑ.
ඔබ ඇතුළු පිරිස සිවිල් සමාජයේ ප‍්‍රමුඛ භූමිකාවක් ඉටු කළ අය. එය එක්තරා ආකාරයකට රජයේ කටයුතු පිළිබඳ අධීක්ෂක හා විවේචක භූමිකාවක්. නමුත් ඔබ දැන් දරන්නෙ රජයක් විසින් පවරනු ලැබූ වගකීමක්. මෙහි පරස්පරයක් නැත්ද?
අප පත් කර තිබෙන්නෙ රජය විසින් බව ඇත්ත. නමුත් අපේ ක‍්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම ස්වාධීනයි. අනිත් අතට මෙය කලක් තිස්සේ සිවිල් සමාජය රජයට බල කර සිටි කාරණයක් සම්බන්ධ වගකීමක්. අපි මේ වගකීම භාරගත්තේ පැහැදිලි කොන්දේසි දෙකක් මතයි. පළමුවැන්න තමයි අප විසින් ඉදිරිපත් කරන වාර්තාව නොපමාව මහජනතාවගේ දැනගැනීම සඳහා ප‍්‍රසිද්ධ කළ යුතුයි. එහෙම නොවුණොත් අපි ඒක කරනවා.
අනිත් කාරණය තමයි, මෙම ප‍්‍රවිචාරණ ක‍්‍රියාවලියේදී අදහස් පළ කිරීම හේතු කොටගෙන කිසිදු පුද්ගලයකුට කවරාකාරයේ හෝ අහිතකර බලපෑමක් සිදු නොවිය යුතුයි. මේ ගැන අප තදින්ම අවධාරණය කළා. ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ආරක්ෂක අංශවල ප‍්‍රධානීන් සියලූ දෙනාම ඒ ගැන පැහැදිලි සහතිකයක් දී තිබෙනවා.
ඒ වගේම මේ වාර්තාව භාර දීමෙන් පසුව අපි සිවිල් සමාජය හැටියට එහි නිර්දේශ ක‍්‍රියාවට නැංවීමට බලපෑම් කරනවා.
වසර ගණනාවක් තිස්සේ රජයේ ස්ථාවරය වුණේ කිසිදු වරදක් සිදුවී නැති බැවින් පරීක්ෂණ අනවශ්‍ය බවයි. එහෙත් දැන් මේවා පරීක්ෂා කිරීම ආරක්ෂක අංශවල අයට පොදුවේ ආතතියක් ඇති කර තිබෙනවා.
ඒක පැහැදිලි කළ යුතුම කාරණයක්. මේ සම්බන්ධයෙන් හමුදා සෙබළුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් බියට පත් කර පටු දේශපාලන වාසි ලබාගැනීමට ඇතැම් අය ක‍්‍රියා කරගෙන යනවා. සොල්දාදුවන් නියෝග අනුව කටයුතු කිරීමට බැඳී සිටින පිරිසක් බව කව්රුත් දන්න දෙයක්. ඒ වගේම යුද බිමේ ගැටුම්වලදී සිදුකරන ඝාතන අපරාධ ලෙස සැලකෙන්නෙ නෑ. නමුත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමෙන් හෝ භාර වීමෙන් පසුව ඝාතනය කිරීමට හෝ වධහිංසා පැමිණවීමට බැහැ. අපි දන්නවා, යුද්ධය අවසන් වීමෙන් පසුව රජය කළ දැනුම්දීමට අනුව ආරක්ෂක අංශ වෙත භාර වූ විශාල පිරිසක් ගැන අදටත් තොරතුරක් නැහැ. සමහර තරුණයන් ඔවුන්ගේ මව්වරුන් විසින් හමුදාවට භාර දුන් පසුව අතුරුදන් වී තිබෙනවා. මේවා බරපතළ සිදුවීම්. අනිවාර්යයෙන්ම ඒවා ගැන සොයා බැලිය යුතුයි. එවැනි සිදුවීම් සම්බන්ධයෙන් වුවත් වගකීම පැවරෙන්නේ අණ ක‍්‍රියාත්මක කළ සෙබළුන්ට නොව, අණ දුන් බලධාරීන්ටයි.
මේවැනි අතීත සිදුවීම් යළි මතු කිරීම, පවතින සාංහිඳියාව පවා නැති කිරීමට හේතු වන බව තවත් අදහසක්. එහි සත්‍යයක් තිබෙනවාද?
සම්පූර්ණ වැරදියි නේ. කොහේද දැන් සංහිඳියාවක් තියෙන්නෙ? බලන්න මේ සමාජය එකිනෙකා කෙරෙහි කොයි තරම් බියෙන්, සැකයෙන්, හා එදිරිවාදිකමෙන්ද ඉන්නෙ කියලා. මතුපිටට නොපෙනෙන ඊටත් වඩා බරපතළ විකෘති වීමක් දීර්ඝ කාලයක් තිස්සෙ මේ සමාජය තුළ සිදුව තිබෙනවා. යුද්ධයෙන් කැඩුණු බිඳුණු ගොඩනැගිලි, බෝම්බවලින් හෑරුණු වළවල් අපට පේනවා. ඒත් සමාජය අභ්‍යන්තරයේ සිද්ධවෙලා තියන හානිය ඊට වැඩියි. අතුරුදන් වූ අයගෙ ඥාතීන් තුළ විතරක් නෙවෙයි, යුද්ධයට සහභාගී වුණු සෙබළුන් තුළත් විශාල පීඩාවක් තියෙනවා. මේවා අමුතු දේවල් නොවෙයි, ලෝකය පුරාම අත්දැකීම ඒකයි. මේ සියල්ලටම පිළියම් යෙදීමෙන් තොරව සැබෑ සංහිඳියාවක් ඇති කරන්න බෑ. සිදුවූ ඇත්ත හෙළිදරව් කිරීමෙන් හා වැරදි පිළිගැනීමෙන් විතරයි ඒක කරන්න පුළුවන්.
කාර්ය සාධන බලකාය පත් කරල මේ වන විට මාස 4ක් පමණ ගත වී තිබෙනවා. ඒත් කළේ මොනවාදැයි එතරම් ප‍්‍රකට නැහැ. ඒ ඇයි?
ඇත්තෙන්ම පිටතට නොපෙනෙන විශාල වැඩ කොටසක් මෙම ක‍්‍රියාවලිය ආශ‍්‍රිතව සිදු වුණා. ප‍්‍රවිචාරණ ක‍්‍රියාවලිය උපරිම සාධාරණව හා වෘත්තිකභාවයෙන් යුතුව සිදු කිරීමට අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කර තිබෙනවා. මීට සම්බන්ධ සියලූ දෙනාම ඒ වෙනුවෙන් බොහොම වෙහෙස මහන්සි වුණා. කලාපීය කාර්ය සාධන බලකාවල සාමාජිකයන් තෝරාගෙන, ඔවුන්ට මෙම කටයුත්ත ගැන විධිමත් පුහුණුවක් ලබා දීමේ කටයුතු මේ දිනවල සිදුවෙනවා. ජුනි මාසය තුළ කලාපීය මට්ටමේ ප‍්‍රවිචාරණ කටයුතු සිදුවේවි. ඊට අමතරව තැපැල් මගින් හා ඊමේල් මගින් අදහස් ඉදිරිපත් කිරීමේ අවස්ථාව තිබෙනවා. මේ පණිවුඩය ජනතාව අතරට ගෙනියන්න ජනමාධ්‍යල සහය අවශ්‍යයි.
මේ ක‍්‍රියාවලිය මගින් අපේ රටේ සංහිඳියාව ඇති කිරීමට හැකි බවට ඔබ කොපමණ දුරට අවංකව විශ්වාස කරනවද?
මොකද නැත්තේ? මට සීයට සීයක්ම විශ්වාසයි. ඒක කරන්න බැරිනම් අපි මොක්කුද? අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් අපි ඒක කරන්නම ඕන. කාගෙත් ප‍්‍රාර්ථනය වෙන්නෙ වඩා හොඳ ලෝකයක්. අන්‍යෝන්‍ය විශ්වාසයෙන්, ආත්ම ගරුත්වය ඇතිව, නොබියව ඉන්න පුළුවන් ලෝකයක්. ඒක නැති කරගෙන තියෙන්නෙ අපි. ඉතින් ඒක හදාගන්න පුළුවන් වෙන්නෙත් අපටමයි.
මට තව එක කාරණයක් කියන්න දෙන්න, පසුගියදා එක්සත් ජාතීන්ගෙ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වරයා ලංකාවට ආපු වෙලාවෙ මට මුණගැහුණා. ඔහු මට කිව්වා, ‘මම කාන්තාරෙක හැදුණු වැඩුණු මිනිහෙක්. ලංකාවට පය ගැහුවම මට ඒක දරාගන්න බැරුව ගියා, දෙයියනේ මෙච්චර ලස්සන, සරුසාර රටක කොහොමද ප‍්‍රශ්න තියෙන්නෙ?’ කියලා. බලන්න ඇයි අපිට එහෙම හිතන්න බැරි?
සාකච්ඡාව – ජයසිරි ජයසේකර/ ලංකා නිව්ස් වෙබ්