Saturday, May 4, 2024

බැසිල්ගේ ගෙවල් වලට අදාල නැති අයිතිකරුවන් ?

බැසිල් රාජපක්ෂ මහතා විසින් පසුගිය රජය සමයේ ඉදිකරවන ලද නිවාස  හා ගොඩනැඟිලි රැසක අයිතිය පසුව වෙනත් පුද්ගලයින් වෙත පවරා ඇති බව මූල්‍ය අපරාධ කොට්ටාශය විසින් කරන ලද විමර්ශනයකදී හෙළිදරව් වී තිබේ.
රාජපක්ෂවරුන්ගේ කලු සල්ලි සුදු කිරීමේ ව්‍යාපාර සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාල විමර්ශනයක දී මෙම තොරතුරු හෙළිදරව් කර ඇත්තේ අදාල ගොඩනැඟිලි වල සැලසුම් නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි විසිනි. ගම්පහ මල්වාන ප්‍රදේශයේ අක්කර 16ක පොල්වත්තක ඉදිකළ සුවිසල් නිවසක අයිතිය මුදිත ජයකොඩිට හිමිව ඇති අතර එම නිවස ඉදිකිරීම සඳහා සම්පූර්ණ වියදම් දරා ඇත්තේ බැසිල් රාජපක්ෂ බවත්, නිවසට මුල්ගල තැබුවේ බැසිල් රාජපක්ෂගේ බිරිඳ බවත්, නිවස ඇතුළත සැලසුම් කළේ බැසිල් රාජපක්ෂගේ දියණිය විසින් බවත් ඔහු එහිදී ප්‍රකාශ කරතිබේ. එසේම එම නිවස තමන් වෙත පැවරුවේ බලහත්කාරයෙන් බවත් ඒ වන විට එම නිවසේ හිමිකරුවාව සිට ඇත්තේ තිරුනඩේශන් මහතා බවත් ඔහු ප්‍රකාශ කර ඇති බවද වාර්තාවේ.

එමෙන් ම මෙම නිවස මෙන් ම මාතර බ්‍රවුන්ස් හිල් මන්දිරය, ඩී.ඒ. රාජපක්ෂ පදනමට අයත් ගම්පහ පක්ෂ කාර්යාලය වැනි ගොඩනැඟිලි සැලසුම් කිරීම වෙනුවෙන් මුදිත ජයකොඩිට මුදල් ගෙවීම වෙනුවට රජයේ දැවැන්ත ව්‍යාපෘති කිහිපයක සැලසුම් කොන්ත්‍රාත්තු ටෙන්ඩර් කැඳවීමකින් තොරවම ඔහුට පැවරීමට රාජපක්ෂවරුන් විසින් කටයුතු කර ඇත. බත්තරමුල්ල පැලවත්ත යුධහමුදා මූලස්ථානය සහ කොම්පඤ්ඤවීදිය යුධහමුදා පාසල සැලසුම් කිරීම හා ගොඩනැඟීම එසේ ටෙන්ඩර් කැඳවීමෙන් තොරව පවරා දුන් ව්‍යාපෘති අතර වේ.

රාජපක්ෂවරුන් විසින් පසුගිය සමයේදී විශාල වශයෙන් ඉඩම් අත්පත් කරගත් බවට දිගින් දිගට ම චෝදනා එල්ල වූ අතර එම ඉඩම් මේ වන විට පවුලේ හිතවතුන්ට පැවරීම සහ අඩු මිලට විකුණා දැමීම සිදුකෙරෙන බවත් වැඩි දුරටත් වාර්තා වේ.
LNW

මුදිත ජයකොඩිගේ තොරතුරු මත බැසිල් අත්අඩංගුවට!    

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාශයට අද (06) කැඳවා තිබුණු අතර එම ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් පසු හිටපු අමාත්‍යවරයාව FCID නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පූගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත රැගෙන ගොස් ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත්තේ මල්වාන ප්‍රදේශයේ අක්කර 16 ක ඉඩමක සුඛෝපභෝගී නිවසක් මහජන මුදල් උපයෝගී කරගෙන ගොඩ නැගීම සම්බන්ධයෙනි.

මෙම නිවස ගොඩ නැගීම සිදුකර ඇති ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත ලබා දුන් ප්‍රකාශයක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

මාතර බ්‍රවුන්ස් හිල් හි ඉදිකර ඇති වෙරළ කුටි (Beach Shalese) 4 ද බැසිල් රාජපක්ෂගේ බිරිඳගේ නැගෙණියට නොමිලේ ඉදිකර දී තිබෙන්නේ ගෘහනිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි විසිනි.

මුදිත ජයකොඩි හට ටෙන්ඩර් නොකැඳවා රජයේ ඉදිකිරීම් කොන්ත්‍රාත් ලබාදී බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ තම නිවෙස් ඉදිකර ගත් ආකාරය මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් මේ වන විට හෙලිදරව් කරගෙන ඇත.

-ලංකා නිව්ස් වෙබ්

Archive

Latest news

Related news