Sunday, May 5, 2024

අනුර සේනානායකට මිනීමැරුම් චෝදනා

( මිංචු පිට)

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ, 2012 දී රගර් ක‍්‍රීඩක මොහොමඞ් වසීම් තාජුඩීන් ඝාතනයේ කරුණු වසන් කිරීම, විමර්ශන යටගැසීම, අපරාධ සැඟවීම, සාක්ෂි විනාශ කිරීම යන චෝදනා වලට අමතරව මිනීමැරීමේ චෝදනාව සම්බන්ධයෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.

ඔහුට දණ්ඩ නීති සංග්‍රහය යටතේ මිනීමැරුම් චෝදනා එල්ල කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇතැයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ‘ශ්‍රී ලංකා මිරර්’ වෙත පැවසිය.

ඒ අනුව, අනුර සේනානායක මහතා ලබන 26 තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද පස්වරුවේ නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ, තාජුඩීන්ගේ ඝාතනය රිය අනතුරක් සේ සලකා විමර්ශන සිදු කරන ලෙස අනුර සේනානායක මහතා නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාට උපදෙස් ලබා දී ඇති බවයි.

එමෙන්ම සිද්ධිය වූ දිනට පසු දින අළුයම සිවිල් ඇදුමෙන් සැරසී අනුර සේනානායක මහතා අදාළ ස්ථානයට පැමිණ ඇති බවට සාක්ෂි ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප‍්‍රකාශ කළේය.

වසීම් තාජුඩීන් ගේ මුදල් පසුම්බිය සොයාගෙන ඉදිරිපත් කල පොලිස් නිලධාරියාට අනුර සේනානායක මහතා පරුෂ වචනයෙන් බැන වැදී ඇතැයි ද අනාවරණය විය.

තාජුඩීන් අනතුරක ප්‍රතිඵලයක් වශයෙන් මියගිය බවට පරීක්ෂණ කරන ලෙස පොලිසියේ පහළ නිලධරයන් දෙදෙනකුට බලපෑම් කර ඇතැයි ද සාක්කි යටපත් කිරීම හා මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීම යටතේ ඔහුට චෝදනා නැගීමට තරම් ප්‍රමාණවත් කරුණු ඇතැයි රහස් පොලිසියේ අධිකාරී ශානි අබේසේකර මහතා මහේස්ත්‍රාත් හමුවේ කියා සිටියේය

– ශ්‍රී ලංකා මිරර්

Archive

Latest news

Related news