Thursday, May 2, 2024

සුදු වෑන් සංස්කෘතිය’ නවත්වනු! සිවිල් සමාජය ආණ්ඩුවට කියයි

‘නීති විරෝධී’ ලෙසින් සිදු කරනු ලබන පොලිස් අත්අඩංගුවට ගැනීම් අනුමත නොකරන බවට ආණ්ඩුව ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කළ යුතු යයි අතුරුදන්වූවන්ගේ ඥාතීහු අවධාරණය කරති.

පසුගියදා යාපනය, අම්පාර සහ මීගමුව යන ප්‍රදේශවලින් පොලිසිය විසින් නීති විරෝධි ලෙස පුද්ගලයින් පැහැර ගෙන ගොස් ඇති බවට අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව සංවිධානය චෝදනා කරයි.

එයට විරෝධය පළ කිරීම සඳහා අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් අඟහරුවාදා කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි.

එක්සත් ජාතීන් වෙත සංදේශයක් භාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අතුරුදන්වූවන්ගේ පවුල් එකතුවේ කැඳවුම්කරු බ්‍රිටෝ ප්‍රනාන්දු කියා සිටියේ පොලිසිය විසින් සිදු කරන ලද නීති විරෝධී පැහැර ගැනීම් තුනක් පිළිබඳ එක්සත් ජාතීන් දැනුවත් කළ බවයි.
‘අනුමත කළ නොහැකියි’

ජායාරූපය නලිනි රත්නරාජා  මුහුණු පොතෙනි
ජායාරූප නලිනි රත්නරාජා මුහුණු පොතෙනි

මාර්තු 31 වැනි දින පැහැර ගැනුණු පුද්ගලයකු දින දෙකකට පසු මීගමුව පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීම, අප්‍රේල් 10 වැනි දින යාපනය චාවකච්චේරියෙන් පැහැර ගන්නා ලද පුද්ගලයකු දින හතකට පසු කොළඹ රහස් පොලිසියෙන් හමුවීම හා අප්‍රේල් 24 වනදා අම්පාර ප්‍රදේශයෙන් පැහැර ගන්නා ලද පුද්ගලයකු දින කීපයකින් කොළඹ අපරාධ කාර්යාංශයෙන් මතු වීම යන සිදුවීම් අනුමත කළ නොහැකි බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

ඉහත කී අත්අඩංගුවට ගැනීම්වලදී රිසිට් පතක් නිකුත් කිරීම හා පවුලේ ඥාතීන් දැනුවත් කිරීම සිදු වී නොමැති බව පෙන්වාදෙන බ්‍රිටෝ ප්‍රනාන්දු පවසන්නේ එසේ අත්අඩංගුවට ගැනුණු තිදෙනාම දින කීපයක් අතුරුදහන්ව සිට පසුව පොලිසිය භාරයේ ඉන්නා බව දැන ගැනීමට ලැබුණු බවයි.

එවැනි නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්වලට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් ලබා දෙන බවත් එවැනි අත්අඩංගුවට ගැනීම් අනුමත නොකරන බවත් සහතික කොට වත්මන් ආණ්ඩුව ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කළ යුතු බවයි බ්‍රිටෝ ප්‍රනාන්දු අවධාරණය කරන්නේ.
‘විරුද්ධ නෑ’

නීත්‍යානුකූල ලෙසින් සිදු කෙරෙන අත්අඩංගුවට ගැනීම්වලට තම සංවිධානයේ කිසිදු විරෝධයක් නොමැති බවත් අතුරුදන්වූවන්ගේ පවුල් එකතුවේ කැඳවුම්කරු අවධාරණය කළේය.

“සුදු වෑන් සංස්කෘතියේ පැහැර ගැනීම් වලට විරුද්ධ වෙමු. එම සංස්කෘතිය නැවැත්වීමට ආණ්ඩුවට බලකර සිටිමු” යන තේමාව යටතේයි, අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව ඉහත කී විරෝධතාව සංවිධානය කොට තිබුණේ.

ඒ සඳහා මානව හිමිකම් ක්‍රියාධරයන් සහ අතුරුදහන් වූවන්ගේ මව්පියන් පිරිසක්ද එක් වී සිටියහ.

අතුරුදහන් වූ තම දරුවන් සොයා දීමේ වැඩපිළිවෙළ ද අසාර්ථක බවටද දෙමව්පියෝ රජයට චෝදනා කරති.

ජනාධිපති ලේකම් කාර්යාලයට, අග්‍රාමාත්‍ය කාර්යාලයට සහ විදේශ කටයුතු අමාත්‍යංශයටද ඔවුන් සිය විරෝධතා ඇතුළත් ලිපියක් භාර දී තිබේ.
BBC Sinhala

Archive

Latest news

Related news