Sunday, May 5, 2024

ප්‍රගීත් පැහැරගැනීම: කඳවුරට ආගිය අයගේ තොරතුරු සීඅයිඩියට දෙන ලෙස හමුදාවට නියෝග

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීමට පෙර රැගෙන ගියේ යැයි සැක කෙරෙන අක්කරෙයිපත්තු කඳවුරට ආව ගිය නිලධාරින්ගේ හා වාහනවල තොරතුරු රහස් පොලිසියට බාරදෙන්නැයි හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා යුද හමුදාපතිවරයාට ඊයේ (10) නියෝග කළේ ය.

ඉදිරිපත්වන සාක්ෂි සාධක අනුව එක්නැලිගොඩ විමර්ශනය ගමන්කරන සැබෑ දිසාව සොයා ගැනීමට නම් රහස් පොලිසිය සිදුකරන විමර්ශන වැදගත් බවත්, ඊට අධිකරණයේ අවසරය ලබාදිය යුතු බවත් සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කෙළේ ය.

විමර්ශනය කඩිනම් කරන ලෙස ද විනිසුරුවරයා රහස් පොලිසියට දන්වා සිටියේ ය.

2010 ජනවාරි 25 දින එක්නැලිගොඩ පැහැරගත් සැකකරුවන් 26 දින අක්කරෙයිපත්තුවට රැගෙන ගොස් ඇති බවත්, එදින මින්නේරිය යුද හමුදා ඉන්ධන පිරවුම්හලෙන් නමවෙනි සැකකරු ඉන්ධන ලීටර් 30ක් ලබාගත් බවත් සනාථ කෙරෙන සාක්ෂි අනාවරණය කර ගැනීමට මෙම ලේඛන අවශ්‍ය බවට රහස් පොලිසියේ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේ ය.ම්න්නේරිය හමුදා ඉන්ධන පිරවුම් හලෙන් නමවෙනි සැකකරු ඉන්ධන ලබාගත් බවට එවකට එහි සේවය කළ යුද හමුදා මේජර් වික්‍රමආරච්චිගේ රෝහණ වික්‍රමසිංහ මහතාගේ සාක්ෂිය ‍තවදුරටත් සනාථ කර ගැනීමට අවශ්‍ය බවත්, ඇතැම් නිලධාරින් ඍජු සාක්ෂි වෙනුවට වැනෙන සාක්ෂි ලබාදෙන බවත් රහස් පොලිසිය කරුණු ඉදිරිපත් කළේ ය.රහස් පොලිසිය වරින්වර නියෝග ලබාගනිමින් සිදුකරන විමර්ශනය අවුරුදු ගණන් ගතවන ක්‍රියාවක් බවත් විමර්ශන අවසන් කරන ලෙසට නියෝග කරන ලෙසත් සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරු ඉල්ලා සිටියහ.

මහේස්ත්‍රාත්වරයා – මෙම විමර්ශනයේ ඍජු සාක්ෂි නොමැති නිසා කොයි දිසාවට යනවද කියන එක අධිකරණයටත් ගැටලුවක්.

විත්තිය – අපිටත් එම දිසාව පේන්නේ නෑ. අවුරුදු ගණනක් ඇදි ඇදී යනවා.

ශානි අබේසේකර මහතා – තමන්ගේ අත්සන ද කියලා පිළිගන්නැති රජයේ නිලධාරින් ඉන්නේ. අපිනම් දන්නවා යන දිසාව ස්වාමීනි.

ඉන්ධන ලබාගත් නමවෙනි සැකකරුගේ අත්සන ඔහුගේ අත්සනම දැයි තහවුරු කර ගැනීමට ර‍ජයේ රස පරීක්ෂකවරයාට යොමු කරන ලෙසට නියෝග කරන ලෙස ද ශානි අබේසේකර මහතා ඉල්ලා සිටියේ ය.කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම නියෝගය ද නිකුත් කෙළේ ය. මෙම විමර්ශනයේ සැකකරුවන් වන දැනට රක්ෂිත බන්ධනාගාරගත ගිරිතලේ තුන්වැනි සන්නද්ධ බුද්ධි බළකා කඳවුරේ සේවය කළ බුද්ධි නිලධාරින් නමදෙනා බන්ධනාගාර අධිකාරිය මගින් ඊයේ (10) අධිකරණයට ඉදිරිපත් කළේ ය.

කරුණු සලකාබැලූ මහේස්ත්‍රාත්වරයා, අදාළ නියෝග දෙක නිකුත්කර, විමර්ශන කඩිනම් කරන ලෙස දන්වමින් සැකකරුවන් යළි ලබන 24 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර නඩුව එතෙක් කල් තැබීය.
රෝෂන් තුෂාර. ගොඩගම – ප්‍රියංගි ජයසිංහ
Dinamina

Archive

Latest news

Related news