Friday, March 29, 2024

නළුවෙකුට පොලීසිය වෙනස් කළ හැකිද? – නිලන්ත ඉලංගමුව

(පූජිත ජයසුන්දර)

පූජිත ජයසුන්දර මහතා නව පොලිස්පති ලෙස පත් වීමත් සමඟ ඔහුගේ බොළඳ දේශපාලන හැඩයක් ගෙන ඇති තර්ක-විතර්ක මාධ්‍යය තුළ විසරණය වෙමින් තිබේ. සැබවින්ම, අදාළ තනතුරට පත් වීම සඳහා හෙතම විශාල වෙහෙසක් දැරූ පුද්ගලයෙකු බව අමුතුවෙන් කිව යුතු නොවේ. වත්මන් සන්දර්භය හමුවේ මතුවන ගැටලුව ජයසුන්දර මහතා හෝ ඔහුගේ පෞද්ගලික සිතැඟියාවන් නොවේ. එසේම මෙම සටහන පෞද්ගලික එදිරිවාදිකමකට හෝ වෙනයම් දේශපාලන අරමුණක් පසුබිම් කරගෙන නොලියන බව පළමුවෙන් ඉතා පැහැදිලිව සඳහන් කළ යුතු වේ. රටේ පුරවැසියෙකු ලෙස සහ ශ්‍රී ලංකාවේ පොලිස් සේවයේ ගරා වැටීම මෙන්ම එය මෙරට සාමන්‍යය ජනජීවිතයට කොට ඇති ධනාත්මක නොවන බලපෑම වෙනස්කිරීම අතවශ්‍යය කාරණයක් ලෙස දකින අයෙකු ලෙස මෙම සටහන තැබීම සුදුසු යැයි සිතේ.

වත්මන් පොලිස්පතිවරයා මෙරට පොලිස්පති ධූරයට පත් වී ඇත්තේ රට පසු කරමින් සිටින ඓතිහාසික මොහොතක වීම සුවිශේෂී වේ. පසුකරමින් සිටින සමාජ සහ දේශපාලන සංක්‍රාන්තික කාලය තුළ ඔහුගේ කාර්යය භාර්යය අතිශය තීරණාත්මක වේ. මේ නිසා ඔහු හමුවේ පැටවී ඇති වගකීම් ප්‍රමාණය අතිශය බැරෑරුම් වන්නා සේම එය රටේ සෑම පුරවැසියෙකුටම තීරණාත්මක වේ. මෙය රටේ වර්තමානය මෙන්ම අනාගතයට සම්බන්ධ වූ මූලික කාරණයකි.

යුධ කලාවේ සඳහන් මූලික කාරණයක් මෙහිදී සිහිපත් කිරීම වැදගත් යැයි සිතේ. ඒ වූකලී;

ශක්තිමත් උපායන් සටන් දිනන්නේය
ශක්තිමත් මෙහෙයුම් කලාව ප්‍රචාරණය දිනන්නේය
ශක්තිමත් ක්‍රමෝපාය යුද්ධ දිනන්නේය
ශක්තිමත් ප්‍රතිපත්ති සාමය දිනන්නේය
විනිශ්චය මේ සියල්ලටම ප්‍රධාන යතුර වේ

සටන් දිනා ඇත. මෙහෙයුම් කලාව ඔස්සේ තම ප්‍රචාරණ ව්‍යාපෘතිය ජයග්‍රහණය කොට ඇත. එසේම ක්‍රමෝපායන් විසින් යුද්ධය දිනා ඇත. එහෙත් සාමය දිනීම සඳහා පැහැදිළි ප්‍රතිපත්ති ඇත්තේ කොතැනද? ඒවා ගැන බලයේ සිටින අයවලුන්ට ඇති නිශ්චිත හැඟීම සහ අවබෝධය කෙබඳුද? යන්න, මූලික ගැටලු වේ. සැබවින්ම ප්‍රතිපත්තිය වූ කලී ප්‍රපත්තියක් නොමැතිවීම මට්ටමට රටේ ඇතැම් ක්ෂේත්‍ර කාබාසිනියා වී තිබේ. නව පොලිස්පති වරයා හුදු ප්‍රචාරණ ව්‍යාපෘතියෙන් ඔබ්බට ගමන් කළ යුතුව ඇත්තේ මේ නිසාය.

රට හමුවේ ඇති එක් මූලික ගැටලුවක් වූ කලී පොලිසිය මෙරට සාමය සහ ආරක්ෂාව සහතික කොට සාමන්‍යය ජනතාවගේ කුළුපඟ මිතුරා බවට පත් කරන්නේ කෙසේද; යන්නය. ඒ සඳහා වන ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල කුමක්ද? තම තනතුරෙහි වැඩ භාර ගැනීමෙන් පසු සැණකෙළි සහ තම මුවින් පිට කළ අහංකාර වාග් මාලා හැරෙන්නට නව පොලිස්පතිවරයා ප්‍රතිපත්තිමය වශයෙන් කිසිඳු ගැඹුරු අදහසක් ප්‍රකාශ කොට ඇත්තේද? මගේ දැනීමේ හැටියට එවැන්නක් තවමත් ඔහුගෙන් අසන්නට මෙරට මහජනතාව වාසනාවන්ත නැත. මෙය සැබවින්ම කණගාටුදායක තත්වයකි. පැවති තුන්කොන් සටනේ ජයග්‍රාහකයා වූ ජයසුන්දර මහතා මාධ්‍යය තුළ ප්‍රභල චරිතයක් පමණක් නොව වේදිකාවේ ප්‍රධාන චරිතයට පණදුන් නළුවෙක් බව සැබෑය. ඔහු මේ වනවිට තම සේවයේ ඉහළම ස්ථානයට පැමිණ සිටියි. ඒ අනුව ඔහු හමුවේ පැවරෙන වගකීම් සමුදායක් තිබේ.

ඇතැම්විට ඔහුට කිසිවෙකු නොසිතන සහ නොදකින අන්දමේ විශාල, ගැඹුරු මෙන්ම දාර්ශනික වැඩපිළිවෙලක් තිබෙනවා විය හැකිය. නමුත් වගකිව යුතු නිලයකට පත් වූ සැනකින්ම එම පුද්ගලයා දෙස බලන සාමාන්‍යය ජනතාව මූලික කරනා දෙකක් ගැන සැලකිලිමත් වේ. පළමුවැන්න, සංස්ථාව තුළ ඇති සැබෑ අර්බුද හඳුනා ගෙන ඒ සඳහා තමන්ට ඇති ප්‍රතිපත්තිමය වැඩපිළිවල කුමක්ද යන්න රට දැනුවත් කිරීමේ කෞශල්‍යයක් හෙබි අයෙකුද වන්නේද යන්නය. දෙවැන්න, තම ප්‍රතිපත්ති සහ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් කතා කිරීමේදී හෙතම තම බාසාවේ පවත්වාගන්නා විනය වේ. ජයසුන්දර මහතා තම ධූරයේ වැඩභාරගත් දිනයේ පටන් මෙම ගැටලු දෙක නිවැරදිව තේරුම් ගැනීමට මහජනතාවට අවස්ථාවක් ලබා දුන්නේද යන්න සැබවින්ම අපැහැදිලිය.

හිටපු පොලිස්පති ඉලංගකෝන් මහතා යම්කිසි භාරදූර කටයුත්තක් සිදු කළ නිලධාරියෙකි. පොලිස් දෙපාර්තමේන්තුව තුළ බහිරවයින්සේ සිටි සහ තවමත් අරක්ගෙන සිටින දේශපාලන හෙංචයියන්ගෙන් එල්ල වූ නොයෙක් මාදිලේ දියරෙද්දෙන් බෙල්ල කැපීම් හමුවේ හෙතම තම ධූරය රඳවා ගැනීමට මෙන්ම පොලිසියේ තිබූ ඇතැම් මූලික පරිපාලන කටයුතු යහමගට ගැනීමට සමත් විය.

අභිනව පොලිස්පතිවරයා ලෙස ජයසුන්දර මහතාට පැවරෙන මූලික වගකීම වූ කලී එය තව දුරටත් මුවහත් කිරීම සහ අප්‍රසන්න ලෙස දේශපාලනීකරණය වී ඇති ආයතනය ඉන් ගලවා රාජ්‍යය ආයතනයකට සහ එහි සේවකයින්ට හිමි ගරුත්වය යළි සහතික කිරීමේ නිවැරදි වැඩපිළිවෙලක් වෙත ගමන් කිරීමය. මෙය තනි පුද්ගලයෙකුට කළ හැකි කාරණයක් නොවේ. නමුත් සේවයේ නියුතු මෙන්ම සේවයෙන් විශ්‍රාමගත් විෂයෙහි දැනුමැති දෙස්-විදෙස් අයවලුන් නිවැරදිව මෙහෙවීමෙන් සහ ඔවුන්ගේ සේවය ලබාගැනීමෙන් එය කළ හැකි යැයි සිතේ. මෙට්‍රොපොලිටන් පොලිසියේ නිර්මාතෘ රොබර්ට් පීල් හඳුන්වා දුන් මුලධර්ම නවය පමණක් නොව නූතන තාක්ෂණයට අදාළ උපායන් සහ දැනුමෙන් අදාළ දෙපාර්තමේන්තුව ශක්තිමත් කළ යුතු තිබේ.

මෙරට අපරාධ පරීක්ෂණ සඳහා ඩී.එන්.ඒ. තාක්ෂණය ඇති විද්‍යාගාර ඇත්තේ එකක් පමණි. එයද පෞද්ගලික සමාගමකි. එසේම පරිඝනක දැනුම මෙන්ම පහසුකම් ඇතැම් පොලිස් ස්ථානවලට සහ නිලධාරීන්ට තවමත් ආගන්තුකය. මෙවැනි මූලික අඩුපාඩු සකස් කිරීම ඒ සඳහා ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා ජාතික සහ ජාත්‍යන්තර වැඩපිළිවෙලකට ගමන් කිරීම ආදිය මූලික වගකීම් වේ. එසේම සැකකරුවෙකු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මෙරට පොලිස් නිලධාරීන් තවමත් ගෝත්‍රිකවාදී උපායන් ඔස්සේ හිංසනය භාවිතා කරති. මෙය නතර කළ යුතු බව අවිවාදිත කාරණයක් මෙන්ම පොලිසිය තුළද එවැනි මූලික අදහසක් තිබේ. නමුත්, එය නතර කිරීම සඳහා සාධනීය වැඩපිළිවෙලක් අත්‍යවශය වේ.

වදහිංසාවට ලක්වන්නා පමණක් නොව වදහිංසා කරන්නාද අවසානයේ ප්‍රභල මානසික පීඩනයක් ඇතුව ජීවත් වෙති. මෙම යථාර්තය තේරුම් ගැනීම අතවශ්‍යය වන අතර, එය මූලික වශයෙන් වෙනස් කළ හැකි ආයතනය වන්නේ පොලිසියය.

පොලිස් දෙපාර්තමේන්තුව සතුව කෞශල්‍යයෙන් පිරුණු විශාල දක්ෂ නිලධාරීන් වෙති. ඇතැම් නිලධාරීන්ට භාෂා කිහිපයක් ඉතා මැනැවින් පරිහරණය කළ හැකිය. මීට වසරකට පමණ පෙර මා යාපනයේ සංචාරයක යෙදෙන විට බොහොමයක් ද්‍රවිඩ පුද්ගලයින් තම ගැටලු නිරවුල්ව කතා කිරීම සඳහා පොලිස් නිලධාරීන් වෙත යොමු වූ ආකාරය නිරීක්ෂණය කළ හැකි විය. එවැනි සිදුවීම් මඟින් පැහැදිලි කරනු ලැබුවේ, සාර්ථක පොලිස් සේවයක් රට තුළ ඇතිකිරීම සඳහා හැකියාව ඇති පිරිසක් අප අතරම සිටින බවය. මෙය නිවැරදිව නිරීක්ෂණය කිරීම මෙන්ම පරිපාලනයේ ඇති අඳුරු සහ ගඳ ගසන තැන් වහාම පවිත්‍ර කළ යුතු මොහොත උදා වී තිබේ. ඇතැම් පොලිස් ස්ථානවල සේවයේ නියුතු නිලධාරීන්ට පරිඝනක හෝ අනත්රජාල පහසුකම් පැත්තකින් තැබුවද, සේවය නිමා කිරීමෙන් පසු නිදාගැනීමට පහසුකම් සහිත ඇඳක්වත් නොමැත. මූලික පරිපාලනය ව්‍යුහය වෙනස්කිරීමට අදාළ මෙම මෙහෙයුම මනා සිහියෙන් කළ යුතු භාරදූර රාජකාරියකි.

අතීත අත්දැකීම වූ කලී, මෙම සංස්ථාවේ ඇති ගැටලු සම්බන්ධයෙන් විමසා බැලීමෙහිලා බොහෝ දෙනා සැලකිල්ලක් දක්වනු ලැබුවේ, රෝග නිධානයට නොව, රෝග ලක්ෂණ වලටය. මේ නිසා කුමන හෝ නිතී විරෝධී කටයුත්තක් සිදුවන විට, එය අනෙකාපිට තබා නිර්මාණය කරනු ලැබූ බොරුවකින් එය වසා තැබීම ප්‍රතිකර්මය බවට පත් වූ අවස්ථා එමට තිබේ. එසේම වරක් විමල් වීරවංස මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් කොළඹ පිහිටි කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ සිදුකොට සාමන්‍යය ජන ජීවිතය කඩාකප්පල් කිරීමට එරෙහිව කටයුතු කිරීමට ගිය පොලිස් නිලධාරීන්ට සිදු වූයේ එවකට සිටි ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ලුණු ඇඹුල් ඇතිව අහගෙන නිහඬ වීමටය. මෙවැනි දෑ සඳහා නිදසුන් බොහෝය.

මෙම දීන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා, සංස්ථාව තුළ වගවීම සහ විනිවදභාවය සහතික කිරීමේ ස්වාධීන වැඩපිළිවෙලක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍යය කාරණයක් වී තිබේ. එවැනි වැඩපිළිවෙලක් නිතිපතා ස්වාධීන විඝනණයකට බඳුන් කළ යුතු වේ. එසේම සංස්ථාව දිරා යෑම සඳහා බලපෑ කරුණු එකිනෙක විමර්ශනය කිරීම අතිශය වැදගත්වේ.

ජයසුන්දර මහතා බොහොමයක් අපරාධ මැඩලීමේ කටයුතු මෙන්ම ඒ සඳහා වූ පරීක්ෂණ සම්බන්ධයෙන් ප්‍රමුඛ කාර්යය භාර්යයක් ඉටුකළ නිලධාරියෙකු බව සැබෑය. විශේෂයෙන් මෑතකදී අල්ලාගත් විශාලතම මත් කුඩු තොගයට අදාළ තොරතුරු මුලින්ම ලබාගත් පොලිස් නිලධාරියා වෙනුවෙන් පෙනී සිටි බව සඳහන් වේ. එවැනි අග්‍රඝන්‍යය නිලධාරීන් රැකගැනීම සහ ඔවුහුට නියමිත ආරක්ෂාව මෙන්ම පිළිගැනීම ලබාදීම අත්‍යවශය කාරණයකි. අදාළ මෙහෙයුම සාර්ථක වූ පසු ලකුණු දා ගැනීමට ඇතැම් නිලධාරීන් පොර කෑ ආකාරය සැබවින්ම කණගාටුදායක වේ. සංස්ථාව තුළ කඩිනමින් විසඳා ගත යුතු ගැටලු ඇත්තේ මෙතැනය. ඒ සඳහා මූලික වගකීම පැවරී ඇත්තේ වත්මන් පොලිස්පති ජයසුන්දර මහතාටය.

ගෙවීගිය දින කිහිපය තුළ පොලිස්පතිවරයා කටයුතු කළ ආකාරය ගැන සැලකීමෙන්, මතුවන්නේ කුකුසක් මිස යහපත් බලාපොරොත්තුවක් නොවේ. තමන් සාර්ථක පොලිස්පතිවරයෙකු ලෙස දිනක ධූරයෙන් විශ්‍රාම ගන්නේද? මාධ්‍යය ඉදිරියේ නළුවෙකු වී නළුකමින් විශ්‍රාම ගන්නේද යන්න නව පොලිස්පතිවරයාට තීරණය කිරීමට අවැසිකාලය එළඹ තිබේ.

අපි ඔබට, සහ ඔබ අතින් මෙම මාතෘ භූමියට මෙන්ම එහි ජනතාවට තවදුරටත් සිදුවිය යුතු සේවය මැනවින් සහ ගෞරවාන්විතව ඉටුකිරීමට ශක්තිය, ධෛර්යය මෙන්ම අවැසි කළ අවැසි දැනුම සහ අවංක සහයෝගය ලැබේවායි සුභ පතමු!

Archive

Latest news

Related news