Monday, May 6, 2024

අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා කෝටි 5 ක්‌ ගෙවූ හැටි නාමල්ගෙන් ප්‍රශ්න කරයි

පසුගිය රජය සමයේ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා වැය වූ රුපියල් කෝටි පහකට අධික මුදලක්‌ ගුවන් හමුදාව වෙත ගෙවා දැමූ ආකාරය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ මහතාගෙන් බරපතළ වංචා විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසම ඊයේ (10 වැනිදා) ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත්තේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුපක්‌ ලබන නාමල් රාජපක්‌ෂ මහතා අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා රුපියල් කෝටි පහක මුදලක්‌ ගෙවා දැමුවේ කෙසේද යන්න පිළිබඳව ජනාධිපති කොමිසම පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර ඇත.

ඉකුත් 2013 වර්ෂයේ සිට 2015 දක්‌වා කාලසීමාව තුළ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා නාමල් රාජපක්‌ෂ මහතා වැය කළ බව කියන රුපියල් කෝටි පහකට අධික මුදල පුද්ගලයන් කීප දෙනකු විසින් ගෙවා දමා තිබේ.

නාමල් රාජපක්‌ෂ මහතාගේ ගුවන් ගමන් සඳහා මුදල් ගෙවූ පුද්ගලයන්ගේ නම් ලැයිස්‌තුව පරීක්‌ෂා කිරීමේදී ජීවතුන් අතර නැති පුද්ගලයන්ගේ නම් පවා සඳහන් කර තිබෙන බව ජනාධිපති කොමිසම පවසයි. මෙසේ මුදල් ගෙවූ අය අතර විදේශගතව සිටින පුද්ගලයන්ගේ සහ ආරක්‌ෂක අංශවල ප්‍රධානීන් ගේ නම්ද තිබෙන බව ජනාධිපති කොමිසම වැඩිදුරටත් පැවැසීය.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහා නාමල් රාජපක්‌ෂ මහතා ඊයේ පෙරවරු 10.00 ට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය.

පසුගිය රජය සමයේ ගුවන් ගමන් සඳහා වැය වූ මෙම මුදල් ගෙවා දමා ඇත්තේ වර්තමාන රජය බලයට පත්වීමෙන් පසුවය.

හේමන්ත රන්දුණු / දිවයින

Archive

Latest news

Related news