Thursday, April 18, 2024

හිටලර් ඉවත්කර ගොබෙල්ස්ලාගේ පාලනයක්! – රංජිත් හේනායකආරච්චි

හිටලර් යනු පුද්ගලයෙක් වූවාට හිට්ලර් යනුවෙන් හදුන්වනු ලබන්නේ නට්සිවාදය හා නට්සිපාලන තන්ත්‍රයයි. හිට්ලර් පරාද කිරීම යනුවෙන් අදහස් කරන්නේ නට්සිවාදය සහ නට්සි පාලන ක්‍රම, ඔවුන්ගේ අනුගාමිකයන්ගේ රාජ්‍ය බලය පරාද කිරීමයි. එසේ නොමැතිව හිට්ලර් ඉවත්කර ඔහු රජකළ නට්සිවාදී රාජ්‍ය ව්‍යුහය සහ නට්සි පාලකයින් යටතේ දිගටම එම පාලනය පවත්වා ගැනීම නොවේ.

පසුගිය වසරේ ජනවාරි 08 වැනිදා ලංකාවේ ජනයාගෙන් වැඩි දෙනෙකුට උවමනා වූයේ මහින්ද රාජපක්ෂ පරාද කිරීමයි. මහින්ද රාජපක්ෂ පරාද කිරීම යනු රාජපක්ෂ කල්ලියේ සහ ඔහුගේ අනුගාමික මැර කල්ලියේ අර්ධ වැඩවසම්, අත්තනෝමතික ෆැසිස්ට් ගනයේ පසුගාමී පාලන තන්ත්‍රය, එම බල ව්‍යුහය ලංකා රාජ්‍යයෙන් ඉවත් කර දැමීමයි. එහි පසුගාමීත්වය පරදවා ඒ වෙනුවට ‘යහපාලන’ නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක්, නීතිය ක්‍රියාත්මක වන රටක්, තක්කඩීන්ගෙන් පාලනය සහ දේශපාලනය බේරා ගත් රටක්, ඇති කර ගැනීමටයි. එසේ නොමැතිව මහින්ද රාජපක්ෂ පරදවා ඒ වෙනුවට මෛත්‍රී පත් කර ගන්නේ මහින්දගේ පාලන කාලය තුල රට තුල ස්ථාපිත කළ දේශපාලන ක්‍රමය එනම් තක්කඩීන්, හොරුන්, ලිංගික අපරාධ කරුවන්, මිනී මරුවන් දේශපාලන බලය හොබවන මැති ඇමතීන් ලෙස තවදුරටත් එම මහින්ද ක්‍රමය ගෙන යාමට ඉඩ සැලසීම නොවන බව මෛත්‍රීලාට තේරුම් ගොස් ඇති බවක් නොපෙනේ.

මහින්ද ක්‍රමය යනුවෙන් හැදින්වෙන දේශපාලනය තුල ඉහතින් සඳහන් කළ ලෙස රටේ නම ගිය අපරාධකරුවන් රජයේ සහ  රාජ්‍යයේ ඉහළම තත්වයන් දැරුවා පමණක් නොව ඔවුන් ජනයාට පෙන්වූ ඔවුන්ගේ මහන්තත්වය එනම් ඔවුන් සමාජය තුල හැසිරුණු අප්‍රසන්න ඔක්කාරයක් ඇතිකරවන මහාවගාඩම්බරය රටේ ජනයාට එපාව තිබුණි. ඉහළම දේශපාලඥයාගේ සිට පහළම එකා දක්වා හැසිරුණේ තමන් රජවරු, රාජකුමාරවරු, නිලමෙලා, රටේ රාලලා, යයි සිතා ගත් අයුරකිනි. ඔවුන් එන විට පාරවල් ඉඩහළ යුතු විය. ඔවුනගේ වචනයක් ප්‍රශ්න කළ විට අතපය අහිමි විය. මෙය මහින්ද පාලනය යන ක්‍රමවේදයයි. මිනිසුන් ප්‍රතික්ෂේප කළේ එයයි. මිනිසුන් ප්‍රතික්ෂේප කලේ එම ක්‍රමවේදය තුල බලය අපයෝජනය කළ පුද්ගල කණ්ඩායමයි. බලය අපයෝජනය කළ තක්කඩි රෑනම මහින්ද ඉවත්කර වෙන’කෙකු යටතේ  පාලනයේ කොටස් කරුවන් කර ගැනීම රටේ ජනයාගේ වුමනාව නොවූ බව මේ දේශපාලඥයන් වටහා ගත යුතුයි.

මුලින්ම බලය වෙනස් කිරීමට නම් අපට බලය තහවුරු කර ගැනීම සඳහා පුද්ගලයින් දිනා ගැනීම වැදගත්ය කියා මෛත්‍රීලා කියන විට මිනිසුන් එදෙස බලා සිටියේ ඉවසීමෙනි. ප්‍රගීත් එක්ණැලිගොඩ පැරීසියේ ජීවත්වන දුටු අරුන්දික ප්‍රනාන්දුලා (සමහර විට මොහු ප්‍රගීත්ව වධකාගාරයකදී හමුවූවා දැයි සැක සහිතයි) සහ මුතුහෙට්ටිගමලා වැනි මැරයින් තම අමාත්‍ය මණ්ඩලයට පත්කරන විට ජනයාට පොඩි කුකුසක් ඇති විය. නමුත් එය දිගින් දිගටම නොනැවතී සිදුවන විට එය වටහා ගත යුත්තේ කෙසේද? මැරකම්වලට සහ දූෂනයන්ට වගකිය යුත්තන් ලෙස සිටි මහින්ද ක්‍රමයේ ක්‍රියාකාරිකයන් යහපාලනය තුලත් මැති ඇමතිවරුන් බවට පත්වන විට තවදුරටත් එය බලය තහවුරු කර ගැනීමක්, දේශපාලන උපක්‍රමයක් යැයි කිව හැකිද? මෙම උපක්‍රමයන් කොතරම් බලවත් ලෙස රාජ්‍ය බලය තුල නැවත වැජබෙන්නේද යත් උපක්‍රමයේ ගොදුරක් බවට යහපාලනයම පත් විය හැකි නොවේද? හිට්ලර් නොමැති තැන ගෝරින්ගෙන් හෝ හිම්ලර්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය බලාපොරොත්තු වනවා නම් එය ඉබ්බන්ගෙන් පිහාටු බලාපොරොත්තු වීමක් බව පැහැදිලිය.

රටේ ජනයා නම් ඉබ්බන්ගෙන් පිහාටු බලාපොරොත්තු නොවෙති. මෛත්‍රීලා ඉබ්බන්ගෙන් පිහිටු බලාපොරොත්තු වන බවක් පෙනේ. එසේ නැතිනම් මෛත්‍රීලාට ඉබ්බන් පෙනෙන්නේ මොනරුන් ලෙසින්ද කියා සැකයක් දැන් දැන් ජනයා තුල මතුවෙමින් පවතී. එසේ පෙනෙන්නේ නම් එය නිමා විය හැක්කේද මහා ඛේදවාචකයකින් බව පැහැදිලිය. එසේ නැතිනම් මහින්ද ක්‍රමය පෙරලා දැමීමේ ප්‍රධාන වැඩ කොටසක් ඉටුකළ සිවිල් ජන බලවේග පුරවැසි බලය, අලුත් පරපුර, වීදියේ හඬ ආදී බලවේගයන්ට පහර දුන් මහින්දගේ තක්කඩි රැළට නැවත තම පක්ෂය තුල නාම යෝජනා නොදෙනු ඇත. නව පරපුර කළාකරුවන්ට පහරදුන් මැරයෙකු වන කමල් ඉන්දිකට පසුගිය දිනෙක නාම යෝජනා දෙනු ලැබීය. ඒ ගැන විමසන මාධ්‍යවේදීනට පිලිතුරු දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම් දුමින්ද දිසානායක සහ සන්ධාන ලේකම් මහින්ද අමරවීර ගේ ප්‍රකාශයන් සහ හැසිරීම් පෙන්නුම් කරන්නේ ඉහතින් සඳහන් කළ මහින්ද පන්නයේ මහන්තත්වයක් සහ වගාඩම්බරයකි. මොවුන්ගේ හැසිරීම් පෙන්වන්නේ තමනට පෙර පුරුදු හැසිරීම් රටාවෙන් ඔවුන් සම්පූර්ණයෙන් ඉවත් වී නොමැති බවයි. නැතිනම් මොවුන් තමන්ද මොනරුන් යැයි සිතා සිටින ඉබ්බන්ම විය යුතුයි.

‘චෝදනා බැලුවොත් කාටද චෝදනා නැත්තෙ?. මොහුටත් පහරදීමක් ගැන චෝදනාවක් තියෙනවා. නමුත් ඔහු වැරදි කරුවෙක් වෙලා නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලන්නෙ දිනන්න පුළුවන් කෙනෙක් දාන්න ඕනෑ. පහරදීමක චෝදනාවක් තිබූ පමණින් පුද්ගලයෙකු ඉවත් කරන්න බෑ.’

ප්‍රශ්නය- ‘ඔබ තුමන්ලා කියන්නෙ චෝදනා තිබෙනවා වුවත් ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතුවෙනවා නම් ප්‍රශ්නයක් නෑ කියන එකද? ’

පිලිතුර – ’නෑ .. නෑ.. වැරදි අර්ථකතන දෙන්න එපා’

‘මහා පරිමාණයෙන් දේපළ කොල්ලකාලද? මිනීමරලද? එහෙම නෙමෙයි නෙ. මේ පහර දීමක් ගැනනෙ’

මේ සාකච්ඡාවෙන් ඉතා ටිකකි. මෙහි ඇති මහන්තත්වය සහ රැවටීමට උත්සාහ කිරීම මෙන්ම වැරදි වැරදි ලෙස නොදැකීමේ දැක්ම මහින්ද ක්‍රමවේදය පවත්වා ගැනීමකි. එකම පොඩි වෙනසක් ඇත. එදා මේ ප්‍රශ්නය ඇසූ අය එක්කෝ අතුරුදහන් කරනු ලබයි. නැතිනම් ඔවුනට අත පය අහිමි වෙයි. ( නමුත් මේ යන අයුරින් එයද ඉදිරියේ විය හැක.)

මොවුන්ට අමතක වන කාරණය නම් අලුත් පරපුර එදා දිවි නොතකා මහින්ද ක්‍රමය එනම් අර්ධ ෆැසිස්ට්, අර්ධ වැඩවසම් මැර දේශපාලන ක්‍රමය පෙරලීමට සටන් කළ අය බවයි. මහින්ද අමරවීරලා මහින්ද ක්‍රමය පවත්වාගෙන යාමට පෙරමුණ ගෙන සිටි අය බවයි. කෙසේ වුවත් යහපාලනය යන්න මොවුන්ට වැට හෙන්නේ තමන් සහ තම කොටස් බලයට ඒම යන මහින්ද ක්‍රමවේදයේම දිගුවක් ලෙස බව පෙනේ.

එසේ නම් අප පුරවැසියන් ලෙස කළ යුත්තේ කුමක්ද? පුරවැසියා මෙම දේශපාලන පක්ෂ සහ බලවේගවල කොටස් නොවී වෙනම සංවිධානය වීම සහ පවතින සංවිධාන අතර ජාල ගොඩ නගා ශක්තිමත් සිවිල් සමාජ බලයක් බවට පත්වීමයි. මෙම ජරාජීර්ණ වී ඇති දේශපාලනය, දේශපාලඥයන් සහ බල ව්‍යුහය සම්පූර්ණයෙන් පරාද කළ හැකි වන්නේ එතුලින් පමනි. එනිසා අප සිවිල් සමාජයේ පුරවැසියන් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය සඳහා, නීතියේ ආධිපත්‍යයක් ඇති නීතිය මත පාලනයක් සඳහා සංවිධානාත්මකව දේශපාලන බලයට බලපෑම් කිරීමේ බලයක් බවට පත්විය යුතුය. මැයි රැලිවලට වැඩිම පිරිස් එන්නේ නිල් අමුඩ ගසාගෙනද? රතු අමුඩ ගසාගෙනද? කොළ අමුඩ ගසාගෙනද? එසේ නැතිනම් අමුඩ නැතිවද යන්න අපට වැදගත් නැත. අපට වැදගත් වන්නේ රට තුළ නීතිය මත පාලනයක් ඇතිවීම සහ හොරුන් සහ තක්කඩීන් පාර්ලිමේන්තුවලට යවනවා වෙනුවට හිරගෙවලට යැවීම වැනි කාරණායි.

හිටලර් ඉවත් කර හිට්ලර් සමග එම ක්‍රමය ක්‍රියාත්මක කළ නට්සීන් වන ගෝරින්ලා, ගොබෙල්ලා, අයික්මාන්ලා සහ හිම්ලර්ලා අත තවදුරටත් පාලනය පවතිනවා නම් හිට්ලර් ඉවත්කිරීම යනු විහිළුවක් නොවන්නේද? මහින්ද ඉවත්කිරීම යනු මහින්ද ක්‍රමයේ ක්‍රියාදරයින් ද ඉවත්කිරීම බව මෛත්‍රීලාට නොවැටහීම තුල ඇත්තේ ඔවුන් ද මහින්දට මිස මහින්ද ක්‍රමයට එරෙහි වූවන් නොවන බව නොවන්නේද?

Archive

Latest news

Related news