Monday, May 6, 2024

උතුරේ රෝහල් 10කට වෛද්‍යවරු නැහැ; ඉඩම් අාපසු දිය යුතුයි – රෙජිනෝලඩ් කුරේ

“උතුරේ රෝහල් 10ක කිසිම වෛද්‍යවරයෙක් නැහැ. යුද හමුදාව සිටින පෞද්ගලික ඉඩම් අයිතිකරුවන්ට දිය යුතුයි” යැයි උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ කියයි.

යුද්ධය හේතුවෙන් ජාතික ආරක්ෂාව සඳහා උතුරේ නැවත පදිංචි වැසියන්ගෙන් අත්පත් කරගත් පෞද්ගලික ඉඩම් එහි අයිතිකරුවන්ටම ලබා දිය යුතු බවත් උතුරේ පිහිටි රෝහල් වලින් 10ක කිසිම වෛද්‍යවරයෙක් නැති බවට උතුරු පලාත් ආණ්ඩුකාරවරයා පැවසීය.

ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියේ වවුනියාව කැලෑබෝගස්වැව ප්‍රදේශයේ නැවත පදිංචි ජනතාවගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට එම ප්‍රදේශයන්හි කළ සංචාරය අතරතුරදීය.

යුද්දයෙන් පසුව වවුනියාව කැලෑබෝගස්වැව ගම්මානයේ නැවත පදිංචි වැසියන්ගේ ගමනාගමනය, ස්ථීර නිවාස නොමැති වීම, සෞඛ්‍ය ගැටලු ආදී ගැටලු සම්බන්ධයෙන් වාර්තා වූ තොරතුරු සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා සොයා බලා එම ගැටලුවලට විසඳුම් ඉතා ඉක්මණින් ලබා දීමට පියවර ගන්නා බවට පැවසීය.

‘‘උතුරේ මේ වෙනකොට රෝහල් 10ක විතර කිසිම වෛද්‍යවරයෙක් නැහැ. ඇතැම් රෝහල්වල වෛද්‍යවරයාම තමයි බෙහෙත් ටිකත් දෙන්නේ හෙද හෙදියන් ඇතුලු සේවකයින් නැහැ. වෙනත් පළාත්වල සිට මේ පළාත්වලට වෛධ්‍යවරුන් එන්නේ නැහැ. ඇවිත් ඉන්න පහසුකම් නැහැ. ඒ වගේම හෙද හෙදියන්ටත් ඒ ටිකමයි ඔවුන් මේ පලාත්වලින් ගන්න විදිහකුත් නැහැ. මොකද හෙද විභාගයට ලියන්න තරම් සුදුසුකමක් මේ පළාත්වල ඉන්න ළමයින්ට නැහැ මේක බරපතල ගැටලුවක්.” යැයි මෙහිදී ආණ්ඩුකාරවරයා මාධ්‍යට අදහස් දක්වමින් වැඩි දුරටත් කියා සිටියේය.

වන්නි රොමේෂ් මධූෂංඛ / Colombo Post

Archive

Latest news

Related news