Tuesday, July 16, 2024

පාර්ලිමේන්තුවේ ‘ලේ සෙලවූ‘ මහජන නියෝජිතයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතුයි

පාර්ලිමේන්තුවම විශේෂ අධිකරණ කටයුත්තක් ලෙස සලකා මැරකම් කළ මන්ත්‍රීවරුන්ට දඩුවම් කළ යුතුයි.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සභා ගර්භය තුල පළමුවරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ‘ලේ හැලෙන‘ සේ දීම ‘අශිශ්ඨ, ලැජ්ජා සහගත, තිරිසන්‘ ක්‍රියාවක් ලෙස කැෆේ සංවිධානය හෙළා දකී. මහජන නියෝජිතයින් පාර්ලිමේන්තු සභාගර්ශයේ දීම මනුෂ්‍යත්වයට නිගා දෙන ආකාරයෙන් හැසිරීම කිසි ලෙසකින් හෝ බලාපොරොත්තු නොවන තත්වයක් බව කිව යුතුය.
කථානායකවරයා ප්‍ර‍මුඛ පාර්ලිමේන්තුවේ වගකීම වන්නේ විශේෂ අධිකරණ කටයුත්තක් ලෙස සලකා පාර්ලිමේන්තුව තුලින්ම මේ ලැජ්ජා සහගත ලේ සෙලවීමේ ක්‍රියාව සිදු කළ පුද්ගලයින්ට එරෙහිව කටයුතු කිරීම බව කැෆේ සංවිධානය යෝජනා කරයි.

ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ අවස්ථා ගණනාවකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විරුද්ධවාදීන් විසින් පහරදී ඇත. එවැනි පහරකෑමට ලක්වූ සහ පහරදීම් සිදු කළ මන්ත්‍රීවරුන් ගණනාවක් මේ පාර්ලිමේන්තුවේ ද නියෝජිතයින් ලෙස කටයුතු කරති. කෙසේ නමුත්, ඊයේ පාර්ලිමේන්තුවේ ඇති වූ මිලේච්ඡ පහරදීමට සම්බන්ධ වූ පුද්ගලයින් තම දේශපාලන ජීවිතය පුරාම අවස්ථා ගණනාවක දී මැරකම් සිදු කළ, මැරකම් සදහාම නම් දැරූ පුද්ගලයින් වෙති. මොවුන් බොහෝ දෙනෙකු සිය මැතිවරණ ව්‍යාපාරය පුරාම ප්‍ර‍චණ්ඩත්වය ප්‍ර‍චාරක උපක්‍ර‍මයක් ලෙසින් ද භාවිත කළ පිරිස් වෙති. අනෙක් අතට පාර්ලිමේන්තු වරප්‍ර‍සාද යොදා ගනිමින් මේ පිරිස් උතුම් වූ පාර්ලිමේන්තුවටම අපහාස වන අයුරින් කටයුතු කිරීම අවාසනාවන්ත තත්වයකි.

වාද විවාද සිදුකරමින් අදහස් හුවමාරු කර ගැනීම වෙනුවට බාහු බලය පාර්ලිමේන්තු සභා ගර්භයටම පැමිනීම සැබවින්ම අවසනාවන්ත තත්වයකි.

image_1462278924-b00ff960f8
පහර කෑමට ලක් වූ පාම සන්දිත් සමරසිංහ

ප්‍ර‍චණ්ඩත්වයෙන් තොර මහජන නියෝජිතයින්ට තෝරා පත් කර ගැනීමට සදහා ඡන්දදායකින් වෙත මැතිවරණ නිරීක්ෂකයින් නිරන්තරයෙන් ආයාචනා කරති. එම ආයචනයන් නොතකා දේශපාලන දිවිය ප්‍රචණ්ඩත්වයෙන්ම ජයගන්නා සීමිත පිරිසක් විසින් ලංකා පාර්ලිමේන්තුවට සිදු කරමින් ඇති විනාශය
නියෝජිත ප්‍ර‍ජතන්ත්‍ර‍වාදය දැඩි පිරිහීමකට ලක් කොට ඇත.

පාර්ලිමේන්තුවේ දී ‘ලේ සෙලවීමට‘ සම්බන්ධ වූ මහජන නියෝජිතයින් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බව කැෆේ සංවිධානය දැඩිව අවධාරණය කරයි.

කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය
2016 මැයි මස 03 වැනිදා අඟහරුවාදා

Archive

Latest news

Related news