Friday, February 23, 2024

බැසගිය මෛත්‍රී රැල්ල සහ හඳුනා නොගත් මෛත්‍රී – නිලන්ත ඉලංගමුව

රැල්ල බැසගොස් ඇත. කැමත්ත ලබාදුන් පිරිසෙන් බොහෝ දෙනෙකු තුෂ්නීම්භූත වී සිටිති. ඇතැමෙකු මහත් අමනාපයෙන් මෛත්‍රීට බැණවදිමින් සිටින අතර තවත් පිරිසක් යන්නේ කොහේද? වෙන්නේ කුමක්ද? යන ප්‍රශ්නයට පිළිතුරු සොයමින් සිටිති. පුද්ගල කේන්ද්‍රීයව තමන්, සමාජය, මෙන්ම සමස්ථ ලෝකය දැකීමේ අතුරු ඵලය මෙය යැයි සිතේ.

සමාජ ධූරාවලීයේ ඉහලින් සිටින්නා හෝ තබන්නා අභිමුඛව පොදු සහ පෞද්ගලික වුවමනා එපාකම් කේන්ද්‍ර ගත කොට ඔහුගෙන් හෝ ඇයගෙන් සියල්ල බලාපොරොත්තු වීම කාලාන්තරයක් තිස්සේ සමාජය පුරා පැලපදියම් කරනු ලැබූ මූලික චින්තන ධාරාවක් විය. පාලකයා සර්වබලධාරියෙකුගේ තත්වයට මදක් පහලින් තබා සෑම කටයුත්තක්ම ඔහුගෙන් සිදුවන තෙක් බලා සිටීම ලෝක ඉතිහාසය තුළ ලියවී ඇති මහත් අවසනාවන්ත මෙන්ම අප්‍රසන්න පරිපාලන විදික්‍රමයකි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්ප්‍රදාය තුළ මතුව ආ තවත් එක් නායකයෙකු පමණක්ය, නමැති ආකල්පයක් බහුතරය තුළ රෝපණය වී ඇති සැටියෙකි. මෛත්‍රී රැල්ල තුළින් මතු වී ආ මෛත්‍රී අභිමුඛව සැබෑ මෛත්‍රී හඳුනා නොගැනීමේ අවාසනාවන්ත තත්වයට අපි මුහුණ දෙමින් සිටින සැටියෙකි. මා සිතන හැටියට 2014 නොවැම්බර් මාසයෙන් පසු ගත වූ කාලය තුළ මෛත්‍රී වූ කලී තනි පුද්ගල දේශපාලනයකින් ඔබ්බට ගමන් කළ විෂයයකි. එනම් මෛත්‍රී ජනාධිපති ධූරය දක්වා ගමන් කිරීම හෙවත් මෛත්‍රී ජනාධිපති ධූරයට ඔසවා තැබීම වූ කලී සමාජ සංසිද්ධියකි. මෙය සාමුහික කටයුත්තකි. සාමූහික කටයුත්තකින් පසු ලබාගන්නා ප්‍රතිඵලය වූ කලී සමාජයවෙත සාමුහික වගකීමක් ලබා දීමකි.

මෛත්‍රීගේ දේශපාලනය “මහින්ද චින්තනයෙන්” වෙනස්වන්නේ මෙතනදීය. මෙය යළිත් වඩාත් නිවැරදිව පැහැදිලි කර ගත යුතු මූලික කාරණයක් යැයි සිතේ. සැබවින්ම, සාමුහික කටයුත්තක ප්‍රතිඵලයක් වූ යුද්ධය අහවර කිරීමෙන් පසු උදා වූ තත්වය තනි පුද්ගල හෝ එක් පවුලක් සහ ඒ වටා ඒකරාශී වූ පිරිසකගේ අතවරයට ලක් වූ මෑත ඉතිහාසයක් අපට තිබේ. එවැනි සිදුවීම් මෙරට ඉතිහාසය පුරාම තිබේ.

එහිදී සමාජයට ඉගෙන ගැනීමට අවස්ථාව ලබාදුන් මූලික කාරණයක් තිබේ. එනම් යම් “ශුද්ධ” කටයුත්තක් වෙනුවෙන් සිදුකරන කැපකිරීම සාමුහික වීමටත් ඉන් පසු ලබන ජයග්‍රහණය කල්ලියකගේ මනදොන පිනවන කටයුත්තක් වීමටත් පසුබිම්වන හේතුව කුමක්ද යන්නය. මෙවැනි ගැඹුරු සමාජ ප්‍රශ්න සඳහා නිශ්චිත තනි පිළිතුරක් නොමැත. එසේම සැබෑ කැපකරන්නා ජයග්‍රහණයෙන් පසු ක්‍රමානුකූලව යටපත් කිරීම හෝ පද්ධතියෙන් අතුගා දැමීමේ ක්‍රමානූකූල වැඩපිළිවෙලක් මෙම සමාජ් නැඹුරුව තුළ ඇත.

යුද්ධයේදී කැප වූ සැබෑ වීරයින්ට මුහුණ දීමට සිදු වූයේද, මෛත්‍රී රැල්ල තුළ සැබෑ සමාජ අවශ්‍යතාවයන් වෙනුවෙන් කටයුතු කළ බොහෝ දෙනෙකු මුහුණ දී සිටින්නේද මෙම කටුක යථාර්තයටය. ඔවුහුගේ හඬ නොඇසෙන්නේ යැයි වැළපීමක් තිබේ. එය එසේ වන්නේ වෙනස් දෙයක් මෙවැනි සමාජ සංස්කෘතියක සිදු විය නොහැකි බැවැනි. එනම් කෙටි කාලීන අවශ්‍යතාවයන් වෙනුවෙන් පොරබදන සමාජීය ව්‍යුහයක ඇති සම්ප්‍රදාය මෙයයි. අනෙකාගේ නිවසට වඩා විශාලව තමන්ගේ නිවස තනාගන්නේ කෙසේද? අනෙකා භාවිතා කරන වාහනයට වඩා වටිනාකමින් යුතු වාහනයක් තමන් භාවිතා කරන්නේ කෙසේද? අනෙක් හොරාට වඩා තමන් වඩාත් “ශීලවන්තව” සොරකම් කරන්නේ කෙසේද ? ආදී භෞතික සම්පත් ඉලක්කගත කොට ලෝකය දැකීමේ සහ ඒ අනුව ජීවත් වීමේ විපාකය මෙයයි. මෙය හරි හෝ වැරදි යැයි කීමට වඩා වැදගත් වන්නේ ඉන් සමාජයට ලැබෙන යහපත කුමක්ද යන්නය. එමඟින් සමාජ බේදනය පුළුල් වන්නේද? සමාජ ක්‍රමය ව්‍යාකූල වන්නේද? තනි හොරෙක් වෙනුවට හොරුන් රැළක් බිහිවන්න්ද? සමාජය පුරා වංචාව සහ අල්ලස වර්ධනය වන්නේද? යන ගැටලු මෙහිදී මූලික වශයෙන් මතුවේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඇති මූලික ගැටලුව විය හැක්කේ, ඔහුගේ පරාජය නොව මෛත්‍රී ජනාධිපති වීම විය හැකිය. ඔහුට ඔහුගේ පරාජය ඉවසාගත හැකි නමුත් මෛත්‍රී ජනාධිපතිවීම ඉවසිය නොහැකිවා පමණක් නොව තම යටිසිත තුළින් ඉවසීමට ඉඩ නොදෙන බරපතළ කාරණය එය පමණක් විය හැකිය. මේ නිසා ඔහු දිවා රෑ තම පරාජයට හේතුව සහ එය නිවැරදිව අවබෝධ කරගැනීමට වෙරදරනු වෙනුවට, මෛත්‍රීට කෙසේ හෝ ගුණ්ඩු ඇටවිය හැකි ආකාරය ගැන කල්පනා කරමින් ජීවත් වනවා විය හැකිය. පසුගිය දශකයකට වැඩි කාලයක් පුරා මහින්ද චින්තනය ලෙස හැඩගැන්වූ වැඩපිළිවෙළේ ඇත්ත තත්වය එයයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයේ රැඳී සිටි කාලය තුළ ජනතාවට ඒත්තු ගැන්වීමට උත්සහ කළ මූලික කාරණයක් තිබුණි. එනම්, තම පෞද්ගලික අභිලාශයන් “මහින්ද චින්තනය” නමැති වෙස්මුහුණ මාර්ගයෙන් පොදු අවශ්‍යතාවයන් බවට පත් කිරීමය. එය ඔහු හැකි උපරිමයෙන් කරනු ලැබූ අතර ඒ සඳහා සුවිශාල ධනස්කන්ධයක් වැය කරනු ලැබීය. රටේ සෑම මාධ්‍යක්ම පාහේ තමන්ට රිසි පරිදි භාවිතා කරනු ලැබීය. නමුත් ඒ සියලු දෑ වලට පරිභාහිරව සමාජය පුරා වර්ධනය වූ පෘථුල විරෝධයක් තිබුණි. එය නිහඬව වර්ධනය වූ අතර මහින්දට මෙන්ම ඔහුගේ චින්තනයට එය නිවැරදිව ග්‍රහණය කර ගැනීමට නොහැකි වන පරිදි ගැඹුරට විහිදී ගිය විරෝධයක් බවට පත් විය. එමඟින් ඔහු විසින් දායකත්වය ලබාදුන් බොහෝ යහපත් දෑ වල වටිනාකම් ශුද්‍ර විය.

එසේම දේශපාලනික වශයෙන් මහින්ද චින්තනය තුළ වර්ධනය කරනු ලැබූ සංස්කෘතියක් තිබුණි. මීට දින කිහිපයකට පෙර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ ජනමාධ්‍යය ප්‍රධානින් අභිමුඛව විස්තර කළ ආකාරයෙන්, එකළ රටේ තීන්දු තීරණ ගනු ලැබුවේ පවුලේ කිහිපදෙනා හමු වී කතා බහ කරන කාරණා වලින් පමණි.අනෙක් සියලුම දෑ එනම් කැබිනට් මණ්ඩලයද ඇතුළුව ද්විතීක දෑ බවට පත් විය. අදාළ හමුවේදී ජනාධිපතිවරයා යළිත් අනෙකාට අවබෝධ කර ගැනීමට සැලසුම් කරනු ලැබුවේ ඔහුට පෙර පැවති පාලනය සහ පාලකයා සම්බන්ධයෙන් නිවැරදි අර්ථකථනයක් ලබා දීමට හැකි බවයි. එය සැබවින්ම වැදගත්ය.

නමුත් එසේම ඔහුට ඔහුගේ පරිපාලනය තුළ සිදුවන දෑ සහ එය හැඩගැන්විය යුත්තේ කෙසේද යන්න ගැනද මනා අවබෝධයක් ඇතිබව ජනතාව හමුවේ පෙන්විය යුතු මූලික කාරණයකි. මුව හමට තැලීමේ න්‍යාය අනුව කටයුතු කිරීමෙන් පමණක් රාජ්‍යය පරිපාලනයේ සාර්ථකත්වය ජනතාව අතර ගමන් කරන්නේ නැත.

රටේ නීතියට අනුව යළිත් මැතිවරණ පැවැත්විය හැක්කේ නිශ්චිත කාලයට අනුව බව පැහැදිලිය. නමුත් රටක දේශපාලන වෙනසක් ඇති කිරීම හෝ වීම සඳහා මැතිවරණ අවශ්‍ය නොවේ. එය ක්‍රමිකව දළුලා වැඩෙන විරෝධයකින් ආරම්භ වන ක්‍රමවේදයක් ඔස්සේ සිදු වේ. මෛත්‍රී මෙම සංසිද්ධිය නිවැරදිව කියවන බව පැහැදිලිය. නමුත් ඔහුට ඔහු වටා සිටින විශ්වාස කළ හැකි පිරිස අතිශය සීමා සහිත බව බැලූ බැල්මට පෙනේ. එසේම රාජ්‍යය සංස්ථා වර්තමානයේ මුහුණ දී සිටින තත්වය සැලකිල්ලට ගැනීමේදී මෙය පැහැදිලි වේ. බොහොමයක් රාජ්‍යය සංස්ථා තම වගකීම් සහ කටයුතු වලින් බැහැරවී සිටින බව ඒවායේ සේවයේ නියුතු අයවලුන්ගේ අදහස වේ. ඊට හේතුව, මෛත්‍රී පරිපාලනය සම්බන්ධයෙන් මෙන්ම වත්මන් “ජාතික ආණ්ඩුව” සම්බන්ධයෙන් පැහැදිලි දේශපාලන අදහසක් අදාළ සංස්ථා තුළ නොමැති වීමය. ඒවා දේශපාලනීකරණයෙන් ගලවාගෙන මූලික පරිපාලන මූලිකාංග වලට අනුකූලව සකස්කොට ඒවාට හිමි ගරුත්වය ලබා දෙන්නේද? එසේ නොමැතිනම්, රාජපක්ෂකරණය වූ අදාළ සංස්ථා “මෛත්‍රීකරණය” හෝ “ වික්‍රමසිංහකරණය” කරන්නේද යන්න වත්මන් පාලකයින් විසඳිය යුතු මූලික ගැටලුවක් වේ. මෙය තුළක්‍රමිකව මතුවන බරපතළ සැකයක් මෙන්ම විරෝධයක් තිබේ. එමඟින් ආණ්ඩුවේ ක්‍රමවේදය දේශීය දේශපාලනය තුළ ක්‍ෂණිකව අවලංගු කළ හැකිය.

මීට අදාළ කදිම නිදසුන ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ අදාළ විෂයභාර භාර ඇමතිවරයාගේ කටයුතුය. වරාය පසුගිය දශක කිහිපය තුළම බරපතළ ලෙස දේශපාලනීකරණය වූ රාජ්‍යය ආයතනයකි. එය එහි තවත් එක් අප්‍රසන්න අවස්ථාවක් පසු කරමින් සිටියි. වරායේ දේශපාලනයට, පාද යාත්‍රා, සුදුනෙලුම්, මහින්ද චින්තන, හෝ යහපාලනය ආදීය කිසිඳු වැදගත් කමක් නැත. එහි කටයුතු මෙහෙවනු ලබන්නේ, ඒ ඒ ආණ්ඩුව තුළ අදාළ විෂයට පත් කරනු ලබන ඇමතිවරයාගේ සිතැඟියාවන් වලට අනුවය. මේ නිසා වත්මන් ඇමතිවරයාට ඇඟිල්ල දිගුකරන විට ඔහුගේ අවභාවිතයන් වසා ගැනීම සඳහා ඔහුට පෙර සිටි ඇමතිවරුන් වෙත ඇඟිල්ල දිගු කළ හැකිය. මේ නිසා වරායේ අදායම එහි සේවකයින්ගේ වැටුප් ගෙවීමට පමණක් ප්‍රමාණවත් වීම ඇමතිවරයාට ගැටලුවක් නොවේ. ඔහුට මෙය හැදුනද නොහැදුනද ගැටලුවක් නැත. තැන දුටු තැන වල ඉහගන්නා සම්ප්‍රදායික කෑදරකම හමුවේ රටේ රාජ්‍යය සංස්ථා මුහුණ දී සිටින සැබෑ අභියෝගය මෙයයි. දූපත් රාජයක වරායන් වල ඇති භූ-දේශපාලනික වටිනාකම පක්ෂ සහ කල්ලි දේශපාලනයෙන් ඔබ්බට ගොස් සමස්ථ රටේ මූලික අවශ්‍යතාවයක් සේ සලකා කටයුතු කිරීමට නොහැකිනම් එවැනි පරිපාලනයක ඇති වැදගත්කම කිමැයි මා නොදනිමි.

මෙය වෙනස් කළ හැක්කේ සූරාකන සම්ප්‍රදායට පරිභාහිරව සිතන සහ විෂයය ගැන දන්නා අයවලුන් මූලික ස්ථානවලට පත් කිරීමෙන් සහ විෂයය දන්නා අයවලුන්ට තම ගරුත්වය රැකගෙන කටයුතු කිරීමට ඉඩ දීමෙනි. විස්කි බීමට ඇලුම් කරන එක්තරා අමාත්‍යංශ ලේකම්වරයෙකු විදෙස් තානාපතිවරුන් හමුවේ මෑතකදී රටේ දේශපාලනික තත්වය පැහැදිලිකොට ඇත්තේ බේබදු ලීලාවෙන් තම මුඛයේ දෙකොනින් කෙල හලමින් යැයි සඳහන් වේ. මෙය සැබවින්ම අතිශය කණගාටුදායක තත්වයකි.

මෙවැනි තත්වයන් මඟින් හීන වෙමින් පවතින්නේ රට හමුවේ ඇති අමිල අවස්ථාවයි.

දේශපාලනික වශයෙන් පරිභාහිරව දේශපාලන පකෂවලට මුක්කු නොගසන නමුත් රටේ සමාජ සහ දේශපාලනික අවබෝධයක් සහිත පිරිස් හමුවේ ඇති මූලික අභියෝගය වන්නේ මෛත්‍රී රැල්ල තුළ සැඟවී යමින් ඇති මෛත්‍රී නමැති සමාජ සංසිද්ධිය තේරුම් ගැනීමේ කලාව හඳුනා ගැනීමයි. මෛත්‍රී වූ කලී, මේ දක්වා බලයට පත් වූ තවත් එක් ධූරාවලීයේ මුදුනේ සිටිමින් අනෙකාව පාලනය කිරීමට අසීමිත බලයක් ලබා ගත් නායකයෙක් පමණක් යැයි සිතූ බොහෝ දෙනෙකු සිරවී සිටින මූලික ගැටලුව නිර්මාණය වී තිබෙන්නේ මෙම මූලික වටපිටාව ඔස්සේය.

තමන්ට මෙතරම් බලයක් ලැබී තිබියදී ඍජු සහ බලවත් තීරණ නොගන්නේ මන්ද යන්න, බොහෝ දෙනෙකු මතු කරනු ලබන මූලික කාරණය වී තිබේ. මෛත්‍රී හිතා මතාම තම වගකීම් වලින් නිදහස් වී නායකයෙකුගේ භූමිකාවෙන් ඈත් වී සිටින බව මෙහිදී නැගෙන මූලික චෝදනාව වේ. මෙය දේශපාලනික වශයෙන් සමස්ථ සමාජයේ බහුතරය වෙලී සිටින සංකීර්ණයේ එක් කාරණයක් පමණක් වුවද එමඟින් සමාජය පුරා ව්‍යාප්ත වෙමින් පවතින මතවාදය වෙනස් මාදිලියක සමාජ කතිකාවක් ඇතිකරමින් තිබේ. මේ නිසා යළිත්, මෙරට සමාජ ව්‍යුහය ශක්තිමත් කිරීම අරඹයා මතුවන කාරණය යටපත් වෙමින් තිබේ. මෙය අතිශය අවාසනාවන්තය.

රවුමක ගමන් කරන පුද්ගලයෙකු එක් වටයක් ඔස්සේ ගමන් ගත් විට පසුකරමින් සිටින්නේ යළිත් තමන් මීට පෙර හමු වූ ස්ථාන මිස අලුත් තැන් නොවේ. ලංකාවේ දේශපාලනය පසුගිය දශක කිහිපය පුරා චිත්‍රණය කරනු ලැබුවේ එලෙසය. මෙය වෙනස් කළ හැකි වටපිටාව නිර්මාණය වූයේ මෛත්‍රී නමැති සමාජ සංසිද්ධිය මූලික කරගනිමින් ඇති වූ දේශපාලන වෙනස ඔස්සේය. එහි ඇති සුවිශේෂී තත්වය වූ කලී එය තනි පුද්ගලයෙකුගේ නිර්මාණයක් නොවීමය. එසේම එය ප්‍රචණ්ඩත්වයෙන් මිදී නිර්මාණය වීමය.

රටක යහ පැවැත්ම උදෙසා අතවශ්‍ය වන්නාවූ මූලික කාරණා ඇතිවීමට හේතුවන මූල බීජ දෙකකි. පළමුවැන්න, දේශපාලන සංවාද – විවාද සඳහා භාවිතා කරන භාෂාවේ සහ ඒ සඳහා ඉදිරිපත්වන අයවලුන් තුළ විනයක් ඇති වීමය. දෙවැන්න දේශපාලන පක්ෂ සහ බලපෑම් කණ්ඩායම් හිංසාවෙන් මිදීමය. අහිංසාවමත පදනම් වූ විනයානූකූල දේශපාලන සංවාද රටට අවශ්‍ය මතවාදයක් නිර්මාණය කරනු ලබයි. පසුගිය 2015 ජනවාරි මාසයේ සිදු වූයේ එහි මූලික පදනම සකස් කිරීමකි. (මෙය සරලව ගැලපිය හැක්කේ, කොටි සංවිධානය පරාජය කිරීම සඳහා තායිලන්තයේ සතාහිප්හී සිදුකළ “සාම කතා බහ” තුළ සිදු වූ දේශපාලන වැඩපිළිවෙලටය.) එය කටු සටහනක් පමණි. මෙහි ඉතිරිය රැඳී පවතින්නේ දේශපාලන බලතණ්හාවෙන් මිදුණු කණ්ඩායම විසින් සිදුකරන සාමුහික වැඩපිළිවෙල තුළය.

රැල්ළ මත මතු වූ මෛත්‍රී ගැන සිදුකරන විවේචනයට වඩා වැදගත් වන්නේ මෛත්‍රී නමැති සමාජ සංසිද්ධිය හඳුනා ගැනීම සහ එමගින් සමාජයට ලබා දෙන පාඩම තේරුම් ගැනීමය. එවිට හුදු නායකත්වය විවේචනයෙන් ඔබ්බට ගමන් කිරීමට පමණක් නොව රටේ සෑම පුද්ගලයෙකුගේම නිදහස සාක්ෂාත් කර ගත හැකි මාර්ගය විවර වේ. මෙය අතිශය බැරෑරුම් සහ භාරදූර කටයුත්තකි. ඒ සඳහා අත්‍යවශ්‍ය මූලික කාරණය වූ කලී මේ මාතෘ භූමිය යළිත් පෞද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් පොරබදින සුළු පිරිසකගේ අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් හිංසා කාරී වැඩපිළිවෙල වලට ලක් කරනු ලබන පිරිස්ගෙන් ප්‍රවේශම් කිරීමය.

දේශපාලනයේ කියවෙන මූලික පාඩමක් යළිත් සිහිපත් කිරීම යහපත් යැයි සිතේ; “ජනතාව ආණ්ඩුව හමුවේ බියට පත්වන්නේනම් එය දුෂ්ඨ පාලනයකි ( ටිරනි), ආණ්ඩුව ජනතාව හමුවේ බියට පත්වන්නේනම් එය සෑම පුරවැසියෙකුගේම විමුක්තිය ( සිවිල් ලිබර්ටි ) සහතික කරනු ලබන පරිපාලනයකි. බැසගිය මෛත්‍රී රැල්ල හමුවේ, හඳුනා නොගත් මෛත්‍රී කියවිය යුත්තේ මෙම පෙලී අතර යැයි සිතේ

Archive

Latest news

Related news