Thursday, May 2, 2024

යාපනේ ඉඩම් යළිත් අත්පත්කර ගන්නේ යැයි හමුදාවට චෝදනා

මෙම ක්‍රියාව නතර නොකරන්නේ නම් අඛණ්ඩව උද්ඝෝෂණ සිදු කරමින් රජයේ කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇති කරණ බව ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා පැවසයි.

යාපනයේ කයිට්ස් පළාතේ සාමාන්‍ය‍ය වැසියන්ට අයත් ඉඩම් කීපයක් නාවික හමුදාවේ හා යුද හමුදාවේ ප්‍රයෝජනය සදහා අත්පත් කර ගැනීමට එරෙහිව යාපනය මිනින්දෝරු කාර්යාලය ඉදිරිපිටදී 8 වෙනි දා උද්ඝෝෂණයක් දියත් කොට තිබුණි.

මෙම ඉඩම් මැනීමේ කටයුතු සදහා නිලධාරීන් යැවීමට සූදානම් වූ අවස්ථාවේ දී ඊට එරෙහිව උද්ඝෝෂණය ආරම්භ වූ බැවින් ඉඩම් මැනීමේ කටයුතු නතර කොට දැමීමට නිලධාරීන්ට සිදුවිණි.

ඉඩම් අත්පත් කරගැනීමට සූදානම් කොට තිබුණේ යාපනයේ කයිට්ස් පළාතේ පුංගුඩුතීවු හා මන්කුප්පායි යන පළාත්වලින් බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් පැවසීය.
Image caption උද්ඝෝෂණය ආරම්භ වූ බැවින් ඉඩම් මැනීමේ කටයුතු නතර කොට දැමීමට නිලධාරීන්ට සිදුවිණි

උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් කියා සිටියේ රජය සහ ආරක්ෂක අංශ යාපනයේ වලිකාමම් උතුරු පළාතෙන් පමණක් සාමාන්‍ය‍ වැසියන්ට අයත් ඉඩම් අක්කර 6400 ක් අත්පත් කර ගෙන ඉන් අක්කර 1200ක් පමණක් ආපසු ලබාදී ඇති බවයි.

සමස්ථ උතුරු පළාතෙන් ඉඩම් අක්කර 30000 ක් පමණ අත්පත් කරගෙන ඇති බව කී මන්ත්‍රීවරයා එම ඉඩම්වලින් ආපසු ලැබී ඇත්තේ අක්කර 15000 ක් පමණ යැයිද ප්‍රකාශ කළේය.

උතුරු පළාතෙන් පමණක් නොව නැගෙනහිර පළාතෙන්ද ඉඩම් අත්පත් කරගැනීමට පටන් ගෙන ඇති නිසා රජය මෙම ක්‍රියාව නතර නොකරන්නේනම් උතුරු නැගෙනහිර සියලුම දිසාපති කාර්යාල ඉදිරිපිට අඛණ්ඩව උද්ඝෝෂණ සිදු කරමින් රජයේ කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇතිකරණ බව යාපනය දිසාපතිවරයාට දැණුම් දුන් වගද ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා පැවසීය.

උද්ඝෝෂණයක් දියත් කොට තිබුණේ යාපනය මිනින්දෝරු කාර්යාලය ඉදිරිපිට දී ය.

උතුරු නැගෙනගිර පළාත්වල සාමාන්‍ය‍ වැසියන්ට අයත් පෞද්ගලික ඉඩම් රජයේ වුවමනාවන් සඳහා ලබා නොගන්නා බවට ජනාධිපතිවරයා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට පොරොන්දු වී ඇති බැවින් මෙම ඉඩම් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් ප්‍රධාන අමාත්‍යවරයා දැණුවත් කළ බවද මන්ත්‍රීවරයා සදහන් කළේය.

ජනාධිපතිවරයාට වත්මන් තත්ත්වය ගැන කරුණු පැහැදිලි කොට දී යාපනයෙන් අලුතෙන් අත්පත් කරගැනීමට යන ඉඩම් අත්පත් කරගැනීම අත්හිටුවන මෙන් ප්‍රධාන අමාත්‍යවරයා හමුවූ පිරිස ඉල්ලීමක් කොට තිබේ.

යාපනයේ ඉඩම් අත්පත් කරගැනීම පිළිබදව විමසූ අවස්ථාවේදී යුදහමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ එවැනි ඉඩම් අත්පත් කරගැනීමක් පිළිබදව මෙතෙක් තොරතුරු ලැබී නොමැති බවයි.

– බීබීසී සිංහල

Archive

Latest news

Related news