Friday, March 29, 2024

ආණ්ඩුවේ ණය බර සහ ආර්ථික අර්බුදයේ කථාව

ලංකා රජය පසුගිය වසර 10 තුල ලබාගත් අති විශාල ණය ප්‍ර‍මාණය හේතුවෙන් දැවන්ත ආර්ථික අර්බුදයකට මේ වන විට මුහුණ දී සිටී.  අල්ලස සහ දුෂණය විසින් මෙම ණය අර්බුදය උග්‍ර‍කොට ඇති අතර නිශ්චිත යහපාලන ක්‍ර‍මවේදයන් නොමැති නම් රට දැවැන්ත ආර්ථික අර්බුදයකට යොමුවීම නොවැලක්විය හැකිය.

රජය පොරොන්දු වූ පරිදි ජාතික විගණන පනත, ප්‍ර‍සම්පාදන කමිටු ස්ථාපනය කිරීම සිදු නොවීම තුළින් රාජ්‍ය කේෂ්ත්‍රයේ මහා පරිමාණ දුෂණ සිදුවී ඇත.  පසුගිය රජයට තරම්ම නොවුනත් මේ වන විට වත්මන් රජයට ද දුෂණ චෝදනා එල්ල වෙමින් තිබේ.  දුෂණ විරෝධී පෙරමුණ ජාතික විගණන පනත, ප්‍ර‍සම්පාදන කටයුතු සදහා වන කොමිෂන් සභාව පත් කිරීම රජයේ ප්‍ර‍මුඛ කටයුත්තක් ලෙස සලකන්නේ එබැවිනි.

ආණ්ඩුවේ ණය බර, වියදම සහ ආදායම

ශ්‍රී ලංකාව නිදහසින් පසුව මුලින්ම ණය මුදලක් ලබා ගන්නේ 1955 වසරේ දී ය.  එතැන් පටන් 2005 දක්වා වසර 50 ක කාල සීමාව තුල රජය ලබාගෙන ඇති මුළු ණය ප්‍ර‍මාරණය රුපියල් කෝටි 222, 240 කි.

2005 වසරේ ලංකාවේ ජනගයනය කෝටි 2 යි ලක්ෂ 2 කි. ඒ අනුව ඒක පුද්ගල ණය ප්‍ර‍මාණය රුපියල් 95,000 ක් (එනම් ලක්ෂයකට අඩු) මුදලකි.
2005 සිට 2015 ආණ්ඩුව පරාජය දක්වා කාලසීමාව තුල මහින්ද රාජපක්ෂ රජය ලබාගෙන ඇති මුළු ණය ප්‍ර‍මාණය රුපියල් කෝටි 826,600 කි.  2014 දෙසැම්බර් වන විට එය පැවතියේ රුපියල් කෝටි 739,000 ක් ලෙසිනි.  මෙයට අමතරව එයා ලංකා, වරාය අධිකාරිය, විදුලි බල මණ්ඩලය ආදී වශයෙන් දැනට සොයා ගෙන ඇති සැගවුණු ණය ප්‍ර‍මාණය තවත් රුපියල් කෝටි  115,000 කි.  එනම් සමස්ථ ණය ප්‍ර‍මාණය    කෝටි නව ලක්ෂ පනස් දහසක් (රු. කෝටි 950,000) කි.

සැලකිය යුතුයි – දැනට අණාවරණය වෙමින් ඇති අන්දමට මෙම ණය ප්‍ර‍මාණය තවත් ඉහළ යා හැකිය.)

ඒ අනුව වත්මන් ජනගහනය 2 කෝටි 7 ලක්ෂයක් ලෙස සැලකූ විට එක් පුද්ගල ණය ප්‍ර‍මාණය =  රුපියල් කෝටි 950,000/ (ජනගහනය 2 කෝටි 7 ලක්ෂය) =  රුපියල් 450,000 කි.  එනම් ඊයේ ඉපදුණු දරුවා ද ඇතුළුව එක් පුද්ගලයෙක් දැනට රුපියල් ලක්ෂ හතර හමාරක් ණය වී ඇත.

ලංකාවේ ආදායමට වඩා ණය වාරිකය + පොලිය + රාජ්‍ය සේවක වැටුප + විශ්‍රාම වැටුව වැඩිවී ඇත්තේ මෙසේය.

2016 අය වැය ලේඛණයට අනුව වසරේ ණය වාරිකය රුපියල් කෝටි 64,000 කි

පොලී වාරිකය රුපියල් කෝටි 51,000 කි.  ඒ අනුව 2016 ණය සහ පොලිය සදහා පමණක් ගෙවිය යුතු මුදල රුපියල් කෝටි 115,000
ලංකාවේ රාජ්‍ය සේවකයින් 1,350,000 ක් සදහා වැටුප් ගෙවීමට කෝටි 65,000 ක් අවශ්‍යය.  විශ්‍රාමිකයින් 540,000 ක් සදහා දීමනා ගෙවීමට කෝටි 15,000 ක් අවශ්‍ය ය.  එනම් රජයේ වැටුප් හා විශ්‍රාම වැටුප් සදහා 2016 වසරට රුපියල් කෝටි 80,000 ක් අවශ්‍ය ය.

ණය වාරිකය + පොලිය + රජයේ වැටුප් + විශ්‍රාම වැටුප පමණක් රුපියල් කෝටි 195,000 කි.

2016 අය වැය මගින් පාර්ලිමේන්තුව රුපියල් කෝටි 169,900 ක් එනම් රුපියල් බිලියන 1699 ක් ණය ලබා ගැනීමට අනුමැතිය ලබා දී ඇත.

2016 වසරේ බලාපෙරොත්තුවන වාර්ශික ආදායම රුපියල් කෝටි 206,000 කි.  නමුත් මේ වන විට වැට් සංශෝධනය ක්‍රියාත්මක නොවීම, සහ පසුගිය වසර 5 ක අපේක්ෂත ආදායම් හා සැබෑ ආදායම අතර පරතරය සැලකීමේ දී මෙම ආදායම කෝටි 160,000 ක් පමණ  වනු ඇත.

ණය ආපසු ගෙවීම ද ඇතුළුව ලංකා රජයේ මුළු ගෙවීම් ප්‍ර‍මාණය රුපියල් බිලියන 3.389 කි.  එනම් රජයේ අපේක්ෂිත ආදායම මෙන් දෙගුණයක් පමණ ගෙවීමක් රජය විසින් සිදු කළ යුතුව තිබේ.

රට මෙවන ණය අර්බුදයකට පත්වී ඇති රටක් පාඩු ලබන ආයතන විශාල සංඛ්‍යාවක් විකුණා දැමීමට කටයුතු යොදමින් සිටී.  මුල්‍ය පරාද්‍ර‍ශ්‍ය භාවය සදහා වත්මන් රජය පොරොන්දු වූ විගණන පනත හා ප්‍ර‍සම්පාදන කමිටුව පිහිටුවීම වැදගත් වන්නේ එබැවිනි.

රජිත් කීර්ති තෙන්නකෝන්
උපදේශක – දුෂණ විරෝධී පෙරමුණ

Archive

Latest news

Related news