ශ්රී ලංකාවේ වගවීම, සංහිදියාව සහ මානව හිමිකම් සම්බන්ධයෙන් දෙස් විදෙස් බලපෑම් නකර කර ගැනීමේ මඟක් ලෙස පිහිටවූ බව පෙනෙන සංහිඳියා යාන්ත්‍රණ උදෙසා වන මහජන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය දැන් ඒ සඳහා මහජනයාගේ අදහස් ඉල්ලා තිබේ. මෙම බලකාය පිහිටුවන ලද්දේ මහාජනයා හමුවී අදහස් උදහස් ලබා ගැනීමට වුවද පිහිටුවා මාස තුනක් ගතවි ඇතත් එකද හෝ මහජන අදහස් විමසීමක් කිරීමට එය සමත් වී නැත.
මහජන අදහස් ඉල්ලා කරන ලද නිවේදනය පහත පළවේ:
සත්‍යය සහ යුක්තිය ස්ථාපනය කිරීම, මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳ වගවීම සහතික කිරීම සහ හානිපූරණය සඳහා වන පියවර ගැනීමට අදාළ සංහිඳියා ක්‍රියාවලීන් සහ යාන්ත්‍රණ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම, 2016 ජනවාරි 26 වැනි දා අගමැතිවරයා විසින් පත් කරන ලද “සංහිඳියා යාන්ත්‍රණ උදෙසා වන මහජන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායට“ පැවරී ඇත.
එකී අරමුණු ඉටු කර ගැනීම සඳහා පහත සඳහන් යාන්ත්‍රණ පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ:
1. විශේෂ නීති උපදේශකයෙකු සහිත අධිකරණ යාන්ත්‍රණයක්
2. සත්‍යය, යුක්තිය සහ සංහිඳියාව සඳහාත්, අතීත වැරදි නැවත ඇති වීම වළකාලීම සඳහාත් වන කොමිසමක්
3. සහන සම්පාදන කාර්යාලයක්
4. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක්
සත්‍යය සොයා ගැනීමටත්, යුක්තිය පසිඳලීමටත්, වගවීම සහතික කිරීම සහ හානිපූරණය සඳහා පිළියම් යෙදීමටත් යොදා ගත හැකි ව්‍යුහ, ක්‍රියාපරිපාටි සහ පියවර සකස් විය යුතු ආකාරය පිළිබඳ අදහස් ඉදිරිපත් කරන ලෙස “කාර්ය සාධක බලකාය“ ජනතාවගෙන් ඉල්ලා සිටී.
එහිදී,
(අ) ඉහත සඳහන් යාන්ත්‍රණ එකක් හෝ ඊට වැඩි ගණනක්, (එකිනෙක යාන්ත්‍රණය, සංයුතිය, උල්ලංඝණ වර්ග සහ ඉටු කළ යුතු කර්තව්‍යයන් පිළිබඳ බල සීමාව තුළ සේම ඉන් පිටතත්),
(ආ) විකල්ප ව්‍යුහ සහ ක්‍රියාපරිපාටිද, විශේෂිත උල්ලංඝණයක් හෝ බහු-විධ උල්ලංඝණයන්ද, වෙනත් අදාළ ප්‍රශ්නද, (එකිනෙක යාන්ත්‍රණය, එහි සංයුතිය, උල්ලංඝණ වර්ග සහ ඉටු කළ යුතු කර්තව්‍යයන් පිළිබඳ බල සීමාව තුළ සේම ඉන් පිටතත්),
පිළිබඳව ඔබේ අදහස් දැක්විය හැකිය.
අදහස් දැක්වීම්, සිංහල භාෂාවෙන් හෝ දෙමළ භාෂාවෙන් හෝ ඉංග්‍රීසි භාෂාවෙන්ද, පුද්ගලයන් වශයෙන් මෙන්ම කණ්ඩායම් වශයෙන් සහ සංවිධාන වශයෙන්ද ඉදිරිපත් කළ හැකිය. අවසානයේදී ආණ්ඩුව වෙත ඉදිරිපත් කරනු ලබන සහ ප්‍රසිද්ධියට පත් කරනු ලබන වාර්තාව සකස් කිරීම සඳහා මේ අදහස් උපයෝගී කර ගනු ලැබේ.
අදහස් දැක්වීම් භාර ගන්නා අවසාන දිනය 2016 මැයි 1 වැනි දා ය. එසේ වෙතත්, කල් තියා ඔබේ අදහස් ඉදිරිපත් කරන්නේ නම් මැනවි.
www.scrm.gov.lk නැමැති වෙබ් අඩවියේ සපයා ඇති ආකෘති පත්‍රය හරහා හෝ [email protected] නැමැති විද්‍යුත් තැපෑල ඔස්සේ මෙන්ම, “සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය, ජනරජ ගොඩනැගිල්ල, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත, කොළඹ 01“ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන්ද ඔබේ අදහස් ලියා දැන්විය හැකිය.
වැඩි දුර තොරතුරු අවශ්‍ය වුවහොත් ලබා ගනු වස්, ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරක් ඒ සමග සපයන ලෙස ‘කාර්ය සාධක බලකාය‘ කරුණාවෙන් ඉල්ලා සිටී.
කාර්ය සාධක බලකායට ඔබ ඉදිරිපත් කරන අදහස් රහසිගතව තබා ගත යුතු යැයි ඔබ ඉල්ලා සිටියොත් මිස, ඒ අදහස් දැක්වීම් ප්‍රසිද්ධ කෙරෙන බව කරුණාවෙන් සළකන්න.
(සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ නිවේදනයකි)
මෙම බලකාය පහත සඳහන් පුද්ගලයින්ගෙන් සමන්විතය
සංහිඳියා යාන්ත්‍රණ උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය
මනූරි මුත්තෙට්ටුවේගම (සභාපති)
අධිනීතීඥවරියක් සහ නීතීඥවරියක් වන ඇය සාම සාකච්ඡා සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ සිවිල් සමාජ කමිටුවේ සම සභාපති ධූරයද, බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පත් කළ පරීක්ෂණ කොමිසමේ කොමසාරිස් ධූරයද හොබවා ඇත.
ආචාර්ය පාකියසෝති සරවනමුත්තු (ලේකම්)
ආචාර්ය පාකියසෝති සරවනමුත්තු විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ (CPA) ආරම්භක විධායක අධ්‍යක්ෂක වේ. අන්තර්ජාතික සමුළු ගණනාවකදී ශ්‍රී ලංකාව තුළ පාලනය සහ සාමය පිළිබඳ ඔහු විසින් ඉදිරිපත් කර ඇති පර්යේෂණ පත්‍රිකා පුළුල් ලෙස ජාත්‍යන්තර සහ දේශීය මාධ්‍ය විසින් උපුටා දක්වා ඇත.
ඔහු 1997 වසරේ සිට ශ්‍රී ලංකාව තුළ සෑම ප්‍රධාන මැතිවරණයක්ම නිරීක්ෂණය කර ඇති මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ (මැ.ප්‍ර.නි.ම) සම කැඳවුම්කරු ලෙසත්, ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා ආයතනයේ ආරම්භක අධ්‍යක්ෂක ලෙසත් කටයුතු කර ඇත.
ඔහු 2004 දී අයිසන්හවර් අධිසාමාක පදවියෙන් පිදුම් ලබා ඇත.
ගාමිණි වියන්ගොඩ
ගාමිණි වියන්ගොඩ සිංහල භාෂා ලේඛකයෙක් ලෙසද, බොහෝ ශ්‍රේෂ්ඨ බටහිර සාහිත්‍ය කෘති සිංහලට පරිවර්තනය කළ අයෙක් ලෙසද, දේශපාලන තීරු ලිපි රචකයෙක් ලෙසද හා ගැති ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිවරයෙක් ලෙසද සුප්‍රකට පුද්ගලයෙකි.
ඔහු “පුරවැසි බලය” නමැති කලාකරුවන්,ලේඛකයින්,නාට්යවේදීන්,සිනමාකරුවන් සහ වෙනත් බුද්ධිමතුන්ගෙන් සමන්විත ජනාධිපතිවරණය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සාර්ථක ප්‍රයත්නයට දායක වූ සමාජ ව්‍යාපාරයේ නිර්මාතෘවරයෙක් සහ ප්‍රධාන සංවිධායකයෙකි.
විසාකා ධර්මදාස
විසාකා ධර්මදාස යුද්ධයෙන් විපතට පත් කාන්තාවන්ගේ සංගමයේ හා අතුරුදහන් රණවිරුවන්ගේ මව්පියන්ගේ සංගමයේ සභාපතීත්වය දරයි. 1998දී ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරියෙකු වූ ඇගේ දෙවන පුතු ක්‍රියාන්විතයේදී අතුරුදහන් විය. යුද්ධය අවසන් කිරීමට වෙර දැරූ ඇයට සාමය සඳහා කටයුතු කිරීමට දෙපාර්ශවයේම කාන්තාවන් එකට ගෙන ඒමට හැකි විය. 2005දී සමූහ නොබෙල් සාම ත්‍යාගයට ලොව කාන්තාවන් 1000ගේ ලැයිස්තුවට ඇයද ඇතුළත් විය. සාම සාකච්ඡා හා මැදිහත් වීම පිළිබඳව ඇය එක්සත් ජනපදයේ සාම ආයතනයේ සහතික ලාභිනියක් වන අතර හාවඩ් විශ්ව විද්‍යාලයෙන් හා ආරක්ෂාව පිළිබඳ සහතික ලාභිනියකි.
ඇය දකුණු ආසියානු සුළු අවි ජාලයේ හා “විමෙන් වේජින් පීස්” සංවිධානයේ සාමාජිකයෙකු වන අතර, “විමෙන් ත්‍රයිව් වර්ල්ඩ්වයිඩ්” සංවිධානයේ ගෝලීය උපදේශක සභාවේ තනතුරක් හොබවයි
දේශපාලන කරලියට තරඟ වැදීම පිළිබඳව හා බලය බෙදාහැරීම පිළිබඳව ඇය විසින් කාන්තාවන් පුහුණු කිරීම් සිදු කරන අතර ඇය වොෂින්ටනයේ සාමය සඳහා වූ එක්සත් ජනපද ආයතනයෙන් සාකච්ඡා හා මැදිහත්වීමේ කුසලතා පිළිබඳව සහ හාවඩ් විශ්ව විද්‍යාලයෙන් කාන්තාවන් හා ආරක්ෂාව පිළිබඳව උපාධියක් දරයි.
ශාන්තා අභිමානසිංහම්
ඇය යාපනය නීතිඥ සංගමයේ සභාපති හා උතුරු හා නැගෙනහිර පදිංචි එකම ජනාධිපති නීතිඥ වන අතර කාන්තා ගෘහ මූලික පවුල් මුහුණ පාන ගැටලු අධ්‍යයනය කරන ජාතික කමිටුවේ සභාපති ලෙස සේවය කරයි. .
මහාචාර්ය චිත්‍රලේඛා මෞනගුරු
කලා පීඨයෙහි සේවය කරන චිත්‍රලේඛා මෞනගුරු නැගෙනහිර කලාපයේ ලලික කලා හා සාහිත්‍ය විද්වතුන් සඳහා දිගුකාලීන උපදේශකයෙකු ලෙස කටයුතු කරයි.
සුප්‍රකට ස්ත්‍රීවාදී චින්තකයෙකු වන ඇය ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල පශ්චාත් යුද ස්ත්‍රී කටයුතු පිළිබඳ සමාජ විද්‍යා ප්‍රවීණයෙකි.
කේ. ඩබ්. ජනරංජන
කේ. ඩබ්. ජනරංජන මහතා නීතිඥයෙක් සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් වන අතර, රාවය පුවත්පතේ සංස්කාරක කතෘද, රාවය ප්‍රකාශන සමාගමේ අධ්‍යක්ෂකද වේ.
2007 – 2008 වකවානුවේ රයිට්ස් නව් – ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සාමූහිකයේ ආරම්භක සාමාජිකයෙකු සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙසද කටයුතු කර ඇත. මීට අමතරව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වර්තමානයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස සේවය ආරම්භ කිරීමට පෙර එහි සහකාර ලේකම් සහ එහි ලේකම් ධූරයද හොබවා ඇත.
එමෙන්ම ඔහු නීතිය පිළිබඳ කථිකාචාර්යවරයෙකු ලෙසද, කොළඹ CFPS (සෙන්ටර් ෆෝ ප්‍රොෆෙෂනල් ස්ටඩීස්) ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙසද ක්‍රියා කරයි. තවද, ජනරංජන මහතා “ප්‍රජාතන්ත්‍රවාදය සදහා නීතිඥයෝ” සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි.
මහාචාර්ය දයා සෝමසුන්දරම්
දයා සෝමසුන්දරම් යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මනෝ වෛද්‍ය විද්‍යා මහාචාර්ය ලෙස සේවය කරන අතර දශක දෙකකට වඩා වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ උතුරේ මනෝ වෛද්‍ය උපදේශකයකු ලෙස කටයුතු කරයි.
එමෙන්ම ඔහු කාම්බෝජයේ තිරස් සංස්කෘතික මනෝ සමාජීය සංවිධානය (Transcultural Psychosocial Organisation) සමග ප්‍රජා මානසික සෞඛ්‍ය වැඩසටහන සඳහා වසර දෙකක් සේවය කර ඇත.
සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ ප්‍රජා මට්ටමේ සේවකයන්ට ඉගැන්වීම සහ ඔවුන්ව පුහුණු කිරීමට අමතරව, ඔහුගේ පර්යේෂණ හා ප්‍රකාශන ප්‍රධාන වශයෙන් මිනිසා විසින් ඇති කරන ලද යුද්ධ හා ස්වාභාවික සුනාමි වැනි ආපදා තත්වවලදී ඇති වන මානසික බලපෑම් සහ එවැනි බලපෑම් සඳහා ගත යුතු පිළියම් පිළිබඳ කේන්ද්‍ර වී ඇත
ඔහු විසින් ලියන ලද “ස්කාර්ඩ් මයින්ඩ්ස්: ද සයිකොලොගිකල් ඉම්පැක්ට් ඔෆ් වෝ ඔන් ශ්‍රී ලංකන් ටැමිල්ස්” කෘතිය යුද්ධය නිසා පුද්ගලයින්ට ඇති වන මානසික බලපෑම් විස්තර කරයි. එමෙන්ම ඔහු “බිඳුණු තල් රුක” යන කෘතියේ සම කතෘද වේ.
ඔහු රාජකීය මානසික වෛද්‍යවරුන්ගේ සංගමයේද, රාජකීය ඔස්ට්‍රේලියානු හා නව සීලන්ත මානසික වෛද්‍යවරුන්ගේ සංගමයේද, ශ්‍රී ලංකා මානසික වෛද්‍යවරුන්ගේ සංගමයේද අධිසාමාක පදවිය දරයි.
ඔහු ජාත්‍යන්තර මනෝ රෝග වර්ගීකරණය-11(ICD-11) සංශෝධන සිදු කරන සමයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) මානසික ආතතිය හා සම්බන්ධ රෝග සඳහා වූ කාර්ය බලකාය යටතේ වූ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව (PTSD) පිළිබඳ උප කමිටුවේ සම-සභාපති ලෙස කටයුතු කර ඇත.
දැනට දීර්ඝ සප්ත වාර්ෂික නිවාඩු ලබා සිටින ඔහු ඕස්ට්‍රේලියාවේ ග්ලෙන්සයිඩ් රෝහලේ උපදේශක මනෝ වෛද්‍යවරයෙකු ලෙස වධ හිංසනයට සහ දැඬි කම්පනවලට භාජනය වූ ප‍්‍රවර්තකයන්ට උපකාර කිරීමේ හා පුනරුත්ථාපන සේවාවන් ලබා දීමේ වැඩ සටහනට (STARRS) සහයෝගය දක්වමින් සේවය කරයි. ඊට අමතරව ඔහු ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයේ සායනික සහායක මහාචාර්ය ලෙස සේවය කරයි.
ආචාර්ය ෆර්සානා හනිෆා
ෆර්සානා හනිෆා 2007 දී නිව් යෝර්ක්හි කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් මානව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය නිම කර දැනට කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කරයි.
රටේ මුස්ලිම් ප්‍රජාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් ලංකාවේ සුළු ජන කොටස් සම්බන්ධ දේශපාලනය හා සංක්‍රාන්තික යුක්තිය පිළිබඳව පහුගිය වසර 15 තුළ කරන ලද ඇගේ පර්යේෂණ කටයුතු සහ සමාජ ක්‍රියාකාරී ක්‍රියාකාරකම් කේන්ද්‍ර වී ඇත.
ෆර්සානා ශ්‍රී ලංකාවේ කාන්තාවන් හා ගැටුම් සම්බන්ධ ගැටලු, සංක්‍රාන්තික යුක්තිය, හමුදාකරණය, සහ ළමා අයිතිවාසිකම් පිළිබඳව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විවිධ ලිපි පළ කර ඇත
ඇය සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ කළමනාකරණ සභාවේ සාමාජිකයෙකු වන අතර මුස්ලිම් ලේකම් කාර්යාලයේ (Secretariat for Muslims) අධ්‍යක්ෂක මණ්ඩලයේ සභාපති ධූරය දරය
මහාචාර්ය ගමීලා සමරසිංහ
ගමීලා සමරසිංහ යනු පුහුණුවෙන් සායනික මනෝ විද්‍යාඥයෙකි. ඇය ශ්‍රී ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ මනෝ විද්‍යා සහායක මහාචාර්ය ලෙස සේවය කරයි. කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යන පීඨයේ උපදේශන හා මනෝසමාජීය සහය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හා ශාස්ත්‍රපති උපාධිය හඳුන්වා දීමත්, එහි සැලැස්ම දියත් කිරීමත් ඇය විසින් සිදු කරන ලදී. මෙවැනි පශ්චාත් උපාධි වැඩසටහන් පුද්ගලයන්ට සහ ප්‍රජාවන්ට කුමන ආකාරයේ සහයෝගයක් අවශ්‍ය වන්නේද යන්න ගැන විකල්ප දැක්මන් උපදවීමට උත්සහ කරන අතරතුර සාම්ප්‍රදායික උපදේශන කුසලතා ගැන පුහුණුවක් ලබා දෙයි. මීට අමතරව ඇය ශ්‍රී ලංකාවේ සහ අන්තර්ජාතික පශ්චාත් ගැටුම් ආශ්‍රිත කම්පන සඳහා උපාය මාර්ග සංවර්ධනය කිරීම සඳහා වූ විවිධ උපදේශක කණ්ඩායම්වල සාමාජිකයෙකු වී ඇත. ඇය අල්ස්ටර් විශ්ව විද්‍යාලයේ පැවැත් වූ “දැඬි කම්පන, සාමය ගොඩනැගීම හා සංවර්ධනය” පිළිබඳ අන්තර්ජාතික පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළාය. විවිධ අධිසාමාක පදවිවලින් පිදුම් ලත් ඇය බොස්ටන් විශ්ව විද්‍යාලයෙන් ෆුල්බ්රයිට්-හේස් ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්වතා සම්මානයද (2004 – 2005), කොලොම්බියා විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍යය පිළිබඳ මේල්මන් පාසලෙන් ෆුල්බ්රයිට් උසස් පර්යේෂණ සම්මානයද (2013 – 2014) ඇතුලු පර්යේෂණ ප්‍රදාන කීපයක ප්‍රදානලාභියෙකු වේ.
මිරාක් රහීම්
මිරාක් රහීම් යනු මානව හිමිකම්, සංහිඳියාව, ඉඩම් ගැටලු, අවතැන් වූවන්ගේ ගැටලු සහ සුළුතර ප්‍රජාවගේ ගැටලු පිළිබඳව කටයුතු කරන පර්යේෂකයෙකු හා සමාජ ක්‍රියාකාරිකයෙකු වේ. ඔහු දැනට නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයේ උපදේශකයෙකු වන අතර ඔහු විසින් ඔවුන්ගේ උපදේශන ක්‍රියාවලිය මෙහෙයවනු ලබයි
ඔහු වසර 9 ක් ශ්‍රී ලංකාවේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සාමය හා ගැටුම් විශ්ලේෂණ ඒකකයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ලෙස කටයුතු කළේය.
ඔහු වර්තමානයේ සේවය කරන මුස්ලිම් ලේකම් කාර්යාලය (Secretariat for Muslims) ඇතුලු මණ්ඩල ගණනාවක සේවය කර ඇත. ඔහු ලන්ඩන් ආර්ථීක විද්‍යා හා දේශපාලන විද්‍යා සරසවියෙන් අන්තර්ජාතික සබඳතා සහ ඉතිහාසය පිළිබඳ සිය මූලික උපාධියද සහ ඇමරිකා එක්සත් ජනපදයේ නොට්‍ර ඩාම් විශ්ව විද්‍යාලයෙන් සාම අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද ලබා ඇත.