Friday, May 3, 2024

තාජුඩීන්ගේ ඥාතීන්ගෙන් වෛද්‍ය ආන්නද සමරසේකර ගැන වෛද්‍ය සභාවට පැමිණිල්ලක්

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මීට වසර හතරකට පෙර ඝාතනයට ලක්වූ අවස්ථාවේ එම මරණය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරියා ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් තාජුඩීන්ගේ ඥාතීන් ජාතික වෛද්‍ය සභාවට පැමිණිලි කිරීමට තීරණය කර ඇත.

මෙම මරණය සම්බන්ධයෙන් එවකට අධිකරණ වෛද්‍ය නිලධාරියා ලෙස කටයුතු කර ඇත්තේ වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා ය. 2012 මැයි 17 වැනිදා තාජුඩීන් ඝාතනයට පත්වීමෙන් පසු එම මරණය අනතුරක් බවට තීරණය කර තාජුඩීන් ඝාතනය කර ඇති බවට පැහැදිලි සාක්ෂි තිබියදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ක්‍රියා කළ ආකාරය සාධාරණ ද ඒ සම්බන්ධව පරීක්ෂණයක් කරන ලෙස ද තාජුඩීන්ගේ ඥාතීන් ජාතික වෛද්‍ය සභාවෙන් මෙසේ ඉල්ලා සිටියි.

එදින තාජුඩීන් මෘත දේහය සම්බන්ධව වෛද්‍ය පරීක්ෂණ පවත්වා අවසානයේ මෘත දේහය ඥාතීන්ට බාරදී එය නිවසට ගෙන යාමට වාහනයටද ඇතුල් කළ පසු එම අධිකරණ වෛද්‍ය නිලධාරියා යළිත් එම මෘත දේහය වාහනයෙන් ඉවත් කර රැගෙන ගොස් කුමක් හෝ දෙයක් කර එය ආපසු ලබාදුන් බව කියන තාජුඩීන්ගේ ඥාතීහු එය සැකකටයුතු කරුණක් බවද පවසති.

තවද එදින එම මෘත දේහයේ ඡායාරූප ගැනීම අනිවාර්යෙන්ම සිදුකළ යුතු වුවත් අධිකරණ වෛද්‍ය නිලධාරි එම ඡායාරූප ලබා නොගෙන ඇති බවත් මෙවැනි කරුණු සිදු කිරීම සම්බන්ධව පරීක්ෂණයක් ඉල්ලා මෙසේ ජාතික වෛද්‍ය සභාවට මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන බව ඔවුන්ගේ නීතිඥ නිශ්බා මහතා පැවසී ය.

– දිනමිණ

Archive

Latest news

Related news