Friday, May 3, 2024

පෙළපාලි රැළි මගින් ආණ්ඩුව පෙරළන්න බැහැ – ජනපති

කුමන ආකාරයේ විරෝධතා, පෙළපාලි පැවැත්වුවත් ඉදිරි වසර පහ අවසන් වන තුරු ආණ්ඩුව වෙනස් කිරීමට කුමන්ත්‍රණකරුවන්ට නොහැකි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ අම්පාර කල්මුණේ මහජන ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ 19 වන ජාතික සම්මේලනයට සහභාගී වෙමිනි.

වසර පහකට පසු පැවැත්වෙන මීළඟ මහමැතිවරණය වන විට තමා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව රට සංවර්ධනය කොට ජනතා බලාපොරොත්තු ඉෂ්ට කිරීමට කටයුතු කරන බවයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේ.

‘මම දැක්කා කොළඹදී කවුද කියලා තියෙනවා අලුතෙන් ආණ්ඩුවක් හදන්න මේ ආණ්ඩුව ඒ අයට බාර දෙන්න කියලා. පපුවට ගහ ගෙන ගහ ගෙන කියනවා එයාට ආණ්ඩුව දෙන්න කියලා. පපුවට ගහ ගන්න අය ආණ්ඩු කරපු හැටි අපි හොඳට දැකලා තියෙනවා’ ජනාධිපතිවරයා සඳහන් කළේය.
කොළඹ උද්ඝෝෂණ

පසුගිය පාලන කාලය හා සැසඳීමේදී කොළඹ නගරයේ උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීම වැඩි වී ඇති බව පැවැසූ ජනාධිපතිවරයා රටේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කොට ඇති බව ඒ සෑම උද්ඝෝෂණයකින්ම සහ පෙළපාලියකින් පිළිබිඹු වන බවයි කියා සිටියේ.

‘අපි පොඩි කාලේ ගම්වල ඉන්නවා අයිආර්සී කාරයෝ, කසිප්පු කාරයෝ. ඒ අයත් හන්දිවලට ඇවිල්ලා පපුවට ගහ ගෙන කතා කරනවා. ඒ හින්දා පපුවට ගහ ගත්තා කියලා අපි බය වෙන්නේ නැහැ.’

ඕනෑම අයකුට හෝ කණ්ඩායමකට ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ, පෙළපාලි, විරෝධතා පැවැත්විය හැකි ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් ලබා දී ඇති බව ජනාධිපතිවරයා පැවසීය.

‘ඒවා මෙහෙයවන නායකයෝ කිසි කෙනෙකු අපි සුදු වෑන් එවලා විනාශ කරන්නේ නැහැ. ඒ රැස්වීම් සංවිධානය කරන අයගේ ගෙවල්වලට ගහන්නේ නැහැ. ඒවා මෙහෙයවන නායකයෝ අතුරුදහන් කරන්නේ නැහැ.’
විදුලිය බිඳ වැටීම

වත්මන් ආණ්ඩුව රටවැසියන්ගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කොට ඇති බවයි ජනපතිවරයා සඳහන් කළේ.

‘දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රටට අවශ්‍ය විශාල පරිවර්තනයක් කොට තිබෙනවා.ඒවායේ ප්‍රතිපල පැය 24 න් ලැබෙන්නේ නැහැ. අනාගතයේ ඔබට සහ ඔබේ දරුවන්ටයි ඒ ප්‍රතිඵල ලැබෙන්නේ.’

වර්තමානයේ රට හමුවේ පවතින ප්‍රශ්න තමා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව බලයට පැවැත්වීමෙන් අනතුරුව පැන නැගුණු ඒවා නොවන බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

‘විදුලිය ගිහාම ඒකටත් අපිට තමයි බනින්නේ. නමුත් විදුලිබල මණ්ඩලේ ඉංජිනේරු මහත්තුරු කියනවා විදුලිබල මධ්‍යස්ථානවල අලුත් වැඩියා කිරීම් අවුරුදු දහයකින් පහළොවකින් කරලා නැහැ. ඒ නිසා තමයි මෙවැනි දෑ වෙන්නේ කියලා.’ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය

– BBC Sinhala

Archive

Latest news

Related news