Thursday, May 2, 2024

හදිසි නීතිය නැතිව පළාත් පාලන ජන්ද කල් දාන්න බැහැ, දැන් ඒකට පනතක් ගේන්න යනවා – අනුර කුමාර

පළාත් පාලන ආයතනවල ධුර කාලය අවසන් වෙලා මේ වනවිට අවුරුද්දක් පමණ ගතවෙලා. තවමත් මැතිවරණයක් කැඳවලා නැහැ. බහුතරයක් පළාත් පාලන ආයතනවල ධුර කාලය පහුගිය මාර්තු 31න් අවසන් වුණා. එම නිසා එම දිනයෙන් පසුව පළාත් පාලන ආයතන මන්ත්‍රීරවරුන් සහිතවම මැයි 15 දක්වා කල් තැබුවා. එම නිසා දැන් පළාත් පාලන ආයතන විසුරුවා හැර මැතිවරණයක් පැවැත්විය යුතුයි.

පළාත් පාලන ආයතන කියන්නේ සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය සමඟ ඉතාමත් කිට්ටු සම්බන්ධතාවයක් තිබෙන ජනතා නියෝජිත ආයතනයි. තමන්ගේ ප‍්‍රදේශයේ පාර හදාගන්න එක, වීදි ලාම්පුවක් අලුත්වැඩියා කරගන්න එක, කසළ ටික ඉවත්කරගැනීමේ ප‍්‍රශ්නය, කුඩා දරුවාගේ පෙර පාසැල් ප‍්‍රශ්නය වැනි දෛනික ප‍්‍රශ්න රාශියක් මෙම පළාත් පාලන ආයතන සමඟ බැඳී තිබෙනවා. මෙම පළාත් පාලන ආයතන විසුරුවා හැරීම නිසා දැන් සිදුවී තිබෙන්නේ ජනතාව සමඟ සමීප සම්බන්ධතාවයක් නොමැති නිලධාරීන් පිරිසක් විසින් එම ආයතනවල පරිපාලනය ගෙනයෑමයි. ඔවුන් ජනතාව සමඟ බැඳීමක් නැහැ. ජනතාවගේ නියෝජිතයා වන මන්ත්‍රීරවරයා ඔහුගේ කුමණ අකටයුතුකම් තිබුණත් ජනතාවගේ ප‍්‍රශ්න පිළිබඳව අවධානය යොමුකිරීමට වගබලා ගන්නවා. ඒ නිසා එම ජනතා නියෝජිතයින්ගේ පාලනය ජනතාවට ඉතා වැදගත්. දැන් වසරක පමණ කාලයක් එම ආයතනවල පාලනය නිලධාරීන් විසින් සිදුකිරීම නිසා ජනතා ස්වය මුළුමනින්ම බිඳවැටිලා තිබෙනවා. ජනතාවට බලපාන ගැටලු, දැන් මහා වියවුලක් බවට පත්වෙලා. එම නිසා පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතුයි.

ආණ්ඩුව මෙම මැතිවරණය කල් දැමීමේ එකම හේතුව ලෙස පෙන්වන්නේ 2011 වසරේ ගෙන එන ලද නව පළාත් පාලන ආයතන පනතේ කොට්ඨාශ නිර්ණය පිළිබඳ ගැටලුවයි. එම පනතට අනුව කොට්ඨාශ නිර්ණයට සීමා නිර්ණ කොමිසමක් ස්ථාපිත කළා. එහි විශාල දෝෂ ප‍්‍රමාණයක් තිබෙනවා. ආණ්ඩුව කියන්නේ එම ගැටලු නිරාකරණය කර, මැතිවරණය තියනවා කියලයි. එම කොට්ඨාශ නිර්ණය පිළිබඳ ගැටලු නිරාකරණය විය යුතු බව අපිත් විශ්වාස කරනවා. මොකද, එම කොට්ඨාශ නිර්ණයන් සිදුකරනු ලැබුවේ එවකට බලයේ හිටපු ආණ්ඩුවේ බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයාගේ වුවමනාවන්ට අනුවයි. තමන්ගේ බලය තව දුරටත් වැඩිකර ගැනීම සඳහා එම කොට්ඨාශ නිර්ණයන් සිදුකරනු ලැබුවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිතකර ගම්මාන එතු කොට කොට්ඨාශයන් නිර්ණය කළා. ඇතැම් ප‍්‍රදේශවල කොට්ඨාශ නිර්ණයන් සිදුකිරීම හේතුවෙන් මුස්ලිම් හෝ දෙමළ ජනතා නියෝජිතයන්ට පත්වීමට තිබුණු අවස්ථා අහිමි කර තිබෙනවා. එනිසා එය මුළුමනින්ම පැවති ආණ්ඩුවේ බලය තහවුරු කරගැනීම පමණක් අරමුණු කරගෙන කරන ලද කොට්ඨාශ නිර්ණයක් පමණයි.

එම කොට්ඨාශ නිර්ණය දඩමීමා කරගෙන, සුදු පිරුවටයක් කරගෙන මේ ආණ්ඩුව මැතිවරණ කල් දානවා. මීට මාස 6කට කලින් රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ඔවුන්ම කියන උත්තරීතර පාර්ලිමේන්තුවේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් කිව්වා, එළඹෙන අප්‍රේල් අවුරුදුවලට කලින් පළාත් පාලන මැතිවරණය පවත්වනවා කියලා. එහෙම කියපු අගමැතිවරයා තමන් දුන්නු තීරණය වෙනස් කරලා අප්‍රේල් සිට දෙසැම්බර්වලට මැතිවරණය කල් දානවා. ඇත්ත ප‍්‍රශ්නය සීමා නිර්ණය ‍ගැටළු නෙවෙයි. මෛත්‍රීපාල ජනාධිපතිරවයා හිතනවා, ඡන්දය කල් දාලා ශ්‍රීලනිපයේ දැනට මතුවෙලා තිබෙන බෙදීම වසන් කර ගැනීමට. මේ වනවිට ශ්‍රීරලනිපයේ බෙදීමක් තිබෙන බව මුළු රටම දන්නවා. වේදිකාගත වෙලා තිබෙනවා. දැන් සිදුවෙන සමහර ක්‍රියාමාර්ග හරහා එම බෙදුණු කණ්ඩායම් පක්‍ෂය සමඟ කටයුතු කරනවා. නමුත් මැතිවරණයක් පැවැත්වුහොත් මෙම බෙදීම නිළ වශයෙන්ම සිදුවෙනවා. එය වළක්වා ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයා මැතිවරණය පස්සට දානවා. රනිල් වික‍්‍රමසිංහ හිතනවා, වර්තමාන දේශපාලන තත්වය එක්සත් ජාතික පක්‍ෂයට හිතකර නැහැ කියලා. මේ අවුරුද්ද අග වනවිට තමන්ට හිතකර වෙන්න පුලුවන් වෙයි කියලා අගමැතිවරයා ඡන්දය කල් දාන්න එකඟ වෙනවා. මෛත‍්‍රී රනිල්ගේ මෙම වුවමනාවන් තකට-තක ගැලපිලා තිබෙනාව.

Anura Kumara
ජවිපෙ නායක අනුර කුමාර

මෛත්‍රී-රනිල් ආණ්ඩුව අවධානය යොමුකළ යුතු වෙනවා, තමන්ට ලැබුණු ජන වරම මොකක්ද කියලා. රාජපක්‍ෂ පාලනය කාලයේ මැතිවරණ තිබ්බේ කොහොමද? තොප්පිගල අල්ලනකොට එක ඡන්දයක් තියනවා. මන්කුලම් අලල්නකොට තව ඡන්දයක් තියනවා. කිළිනොච්චිය අල්ලනකොට තවත් ඡන්දයක් තියනවා. මේ ආකාරයට තමන්ට වාසිවන විදියට මැතිවරණ පැවැත්වුවා. නියමිත පරිදි එකදු පළාත් පාලන ආයතනයකවත් පළාත් සභාවකවත් ඡන්දය තිබ්බේ නැහැ. ඒ විදියට කරපු මැතිවරණ සෙල්ලම පසුව ඔහුටම පාරා වළල්ලක් වුණා. වසර දෙකකට කලින් ජනාධිපතිවරණය පවත්වලා වසර දෙකකට කලින් මහින්දයට සිංහාසනයෙන් බැහැලා යන්න වුණා. ඒ තරමට මේ මැතිවරණ සෙල්ලමේ නරක අත්දැකීම් තිබෙනවා. එදත් රාජපක්‍ෂලා කරපු මේ මැතිවරණ සෙල්ලම ජනතාව විසින් පැරැද්දුවා. ඒ වගේම වර්තමාන පාලකයින්ටත් මේ ආකාරයට මැතිවරණ සූදුවක් කරන්න ඉඩ දියයුතු නැහැ.

අලුත් මැතිවරණ පනතේ දෝෂ 44කට වැඩි ප‍්‍රමාණයක් තිබෙනවා කියලා හිටපු මැතිවරණ කොමසාරිස්වරයා කියලා තිබෙනවා. ඒ පනතටම අනුව එක් දේශපාලන පක්‍ෂයකට ඇප මුදල් තැන්පත් කිරීම වෙනුවෙන් පමණක් රුපියල් ලක්‍ෂ 250ක් අවශ්‍ය වෙනවා. එවැනි මුදලක් වැය කරන්න පුළුවන් වෙන්නේ ත‍්‍රාඩකම් කරන, ජාවාරම් කරන පක්‍ෂයක අයට පමණයි. ඒ වගේම එම පනතට අනුව දිනන කෙනාගේ ඡන්දය ගණන් කරන්නේ දෙක, හතර, අට… ලෙස දෙගුණයක් වන පරිදියි. එම අඩුපාඩු නිසා එම පළාත් පාලන පනතට අපි පාර්ලිමේන්තුවේදී විරුද්ධ වුණා. එවකට ඇමති අතාවුල්ලා එම පනත සංශෝධනය කරන්න එකඟ වුණා. එම පනතට අනුව සීමා නිර්ණය මැතිවරණ ක‍්‍රමයේ සහ ඡන්ද ගණන් කිරීමේ බරපතල අඩුපාඩු තිබෙනවා.

ඒ විතරක් නෙවෙයි, අලුත් ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් රටතුළ තිබෙනවා. එහි ප‍්‍රධාන මාතෘකාවක් තමයි, මැතිවරණ ක‍්‍රමය සකස් කිරීම. දැන් පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සභාවක් බවට පත්කරලා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කොට තිබෙනවා. එනිසා පළාත් පාලන ආයතනවලට එක් මැතිවරණ ක‍්‍රමයක්, පළාත් සභාවලට තවත් ක‍්‍රමයක්, පාර්ලිමේන්තුවට තවත් ක‍්‍රමයක් වශයෙන් මැතිවරණ ක‍්‍රම සකස් කළ යුතු නැහැ. සෑම මැතිවරණයකටම පොදු මැතිවරණ ක‍්‍රමයක් සකස් කළ යුතු බවයි අපේ යෝජනාව. එනිසා මෙම පළාත් පාලන මැතිවරණය මාර්තු 31ට කලින් පැරණි ක‍්‍රමයට පැවැත්විය යුතුයි කියලා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා. පළාත් පාලන පනතට අනුව අවුරුද්දකට වඩා පළාත් පාලන ආයතනයක් කල් දාන්න බැහැ.

මීට කලින් වසරකට වඩා කල් තැබුවේ හදිසි නීතිය පාවිච්චි කරලයි. දැන් හදිසි නීතිය නොමැති තත්වයක් යටතේ වසරකට වඩා පළාත් පාලන ආයතන කල් දාන්න බැහැ. මේ නිසා ආණ්ඩුව දැන් අලුත් පනතක් හරහා මැතිවරණය කල් දාන්න යනවා. මේ ආණ්ඩු නීති හදන්නේ මැතිවරණය පැවත්වීම, ජනතාවගේ වුවමනාවන් වෙනුවෙන් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන්න නෙවෙයි. මෛත‍්‍රී-රනිල් ආණ්ඩුව ජනතාවගේ වරමට අනුව කටයුතු නොකිරීමයි මෙතන තිබෙන බරපලම ගැටලුව වී තිබෙන්නේ.

ඒනිසා මැතිවරණයක් දිනාගැනීම වෙනුවෙන් අපි ක්‍රියාමාර්ග ආරම්භ කරනවා. එමෙන්ම ඊළඟ පාර්ලිමේන්තු වාරයේදී මැතිවරණය කල් දැමීම පිළිබඳව පූර්ණ දින දෙකක විවාදයක් ඉල්ලනවා. හැමදාමත් මේ පාලකයින් තමන්ට බලය ලබාගැනීම වෙනුවෙන්, තමන්ගේ බලය පවත්වාගැනීම වෙනුවෙන් කටයුතු කළා. ඔවුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පාපන්දුවක් බවට පත්කර ගත්තා. තමන්ට හිතෙන හිතෙන විදියට හිතෙන හිතෙන පැත්තට එයට පහර දුන්නා. එනිසා මෛත්‍රී-රනිල් ආණ්ඩුවවත් මේ දේශපාලන සෙල්ලම නතර කළ යුතුයි.

රනිල් වික‍්‍රමසිංහ මහත්තයා පාරට බැහැපු එක ගැන අපිට සතුටුයි. මහින්ද රාජපක්‍ෂගේ පාලනය කාලයේ රනිල් වික‍්‍රමසිංහ පාරේ හිටියේ නැහැ. ඔහු හිටියේ අරලියගහ මන්දිරයේ කෝපි බිබී. එක්සත් ජාතික පක්‍ෂය පාරට බැස්සේ පක්‍ෂයේ ඇතුළේම අය ගහ ගන්නයි. ඒ දවස්වල එක්සත් ජාතික පක්‍ෂයට පොලිස් ආරක්‍ෂාව නැතිව කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක්වත් කරගන්න බැරිවුණා. රනිල් වික‍්‍රමසිංහගේ ඔළුවට මේ ඔටුන්න වැටුණේ පාරට බැහැලා ජනතා සටන් කරලා නෙවෙයි. කුණු කාණුව දිගේ ආපු ඔටුන්නයි ඔහුගේ ඔළුවට වැටුණේ. එනිසා ඔහුට ජනතා සටන්, ජනතා අරගල ගැන අවබෝධයක් නැහැ. ඒවා ගැන අත්දැකීමක් ගන්න හදන උත්සාහයට අපි ඔහුට සුභ පතනවා. ඒ වගේම මොවුන් පාරට බැහැලා ඔවුන්ගේ අසාර්ථකභාවය මුළු රටටම පෙන්වුවා. ආණ්ඩුවේ ඉන්න අයම පාරට බැහැලා කියනවා, තරුණයන්ට රස්සා දෙන්න බාධා කරන්න එපා කියලා. ඒක තරම් විහිළුවක් තවත් තියෙනවාද? රස්සා දීමට බාධා කරන එකට එරෙහිව උද්ඝෝෂණ කරනවා නම් එජාපය යන්න ඕනෑ ලක්‍ෂ්මන් කිරිඇල්ලගේ අමාත්‍යාංශය ඉස්සරහටයි. තෙල් සංස්ථාව ඉස්සරහටයි. මොකද, දේශපාලන පත්වීම් දෙන්නේ එකසත් ජාතික පක්‍ෂයේම ඇමතිවරුයි. එම දේශපාලන පත්වීම් නිසා ඇත්තටම සුදුසු තරුණයන්ට රස්සාවක් ගන්න බැරිවෙලා තිබෙනවා. ඒ නිසා මේ වගේ විගඩම් මීට කලින් අපි දැකලා නැහැ. රනිල් හිතාගෙන හිටියේ ඔහුට බලය ගත්තහ ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා. නමුත් අද ඔහුට අහසේ සිට මහ පොළොවට බහින්න සිදුවෙලා තිබෙනවා.

අබ කාපු විපක්ෂයේ මොළය දනවා

අබ කෑ මිනිහාගේ මොළය දනවා කියලා කතාවක් තිබෙනවා. මෙම ඒකාබද්ධ විපක්‍ෂයේ කණ්ඩායමට එරෙහිව සිදු කරන වංචා-දූෂණ විමර්ශන යට ගැසීමේ අරමුණින් තමයි ඔවුන් මෙම විවිධ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නේ. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරණයෙන් පැරදුනාට පස්සේ ශ්‍රීලනිපය දාලා ගියපු මෛත්‍රීපාලට කතා කරලා පක්‍ෂ නායකකම දුන්නා. පක්‍ෂයෙන් එළියට ගියපු පුද්ගලයාට පක්‍ෂ නායකකම බාර දුන්නේ රාජපක්‍ෂටත්, රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන්ටත් තිබෙන චෝදනා යට ගහගන්නයි. ජනාධිපතිවරණයෙන් පැරදුනු මහින්ද රාජපක්‍ෂ කුරුණෑගලින් ඡන්දය ඉල්ලලා මන්ත්‍රී‍රධුරයට ආවෙත් තමන්ට එල්ල වෙලා තිබෙන චෝදනා යට ගහගන්න තිබෙන එකම පවුර නැවත දේශපාලනයට ඒම පමණක් නිසයි. එනිසා මෙම ඒකාබද්ධ විපක්‍ෂයේ සියලු දෙනාගේ වුවමනාව වී තිබෙන්නේ තමන්ට එල්ල වෙලා තිබෙන මෙම චෝදනා යට ගසා ගැනීමේ අරමුණක්ම පමණයි. FCID යටත් CID යටත් අපි කියනවා දූෂිතයින් හොය හොයා වෙන කොහේවත් යන්න ඕනෑ නැහැ, හයිඩ් පිටියට ගියානම් සියලු දෙනා කොටුකර ගන්න පුළුවන් කියලා. රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න බැහැ. ඊළඟ මහ මැතිවරණය පවත්වන විට ඔහුගේ වයස අවුරුදු 75ක් පමණ වෙනවා. එනිසා මහින්දට තිබෙන්නේ ජනතාව ගැනවත් රට ගැනවත් හැඟීමක් නෙවෙයි.”

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා

“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා සම්බන්ධයෙන් ගෘහ කාරක සභාවේ රැස්වීමක් පැවැත්වුණා. එහි සභාපතිවරයා නිල බලයෙන්ම කථානායකවරයායි. එනිසා ජවිපෙ ගලප්පත්ති සහෝදරයා සභාපති ධුරයේ හිටියා කියන කතාව දේශපාලනය නොදන්න අය කියන කථාවක් පමණයි. එම ගෘහ කාරක සභා රැස්වීමේදී යෝජනා විශාල ප‍්‍රමාණයක් ආවා. ඒ සඳහා අපි අපේ ලිඛිත විරෝධය ඉදිරිපත්කරලා තිබෙනවා. අපි අහනවා, අපිට අමතරව වෙන කවුද ලිඛිතව තමන්ගේ විරෝධතා බාර දුන්නේ කියලා. මෙම යෝජනාවල තිබ්බා මන්ත්‍රීවරුන්ගේ පැමිණීමේ දීමනාව රුපියල් 500 සිට 15,000 දක්වා වැඩි කිරීමටත් දුරකතන දීමනාව රුපියල් 2000 සිට 25,000දක්වා වැඩි කිරීමටත් මන්තී‍්‍රවරයෙකුට 2% පොලියට කෝටි 1.5ක් ණයට ගැනීමටත් සහන ලබාදෙන්න කියලා. නමුත් ඒ යෝජනා සියල්ල අපි ඉදිරිපත්කළ විරෝධතා හමුවේ සම්මත වුණේ නැහැ. දැන් තිබෙන යෝජනා වන්නේ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ නිවාස අහිමි මන්ත්‍රීවරුන් 08 දෙනෙකුට පමණක් රුපියල් 50,000 ගානේ ලබා දීමටත් මන්ත්‍රී‍රවරුන්ට ලබාදෙන කාර්යාල දුකරතන දීමනාව ජාත්‍යන්තර ඇමතුම් සහ අන්තර්ජාල පහසුකම් ලබාගැනීම වෙනුවෙන් සාධාරණ ගණකින් වැඩි කිරීමටත් පාර්ලිමේන්තුව නොපැවැත්වෙන දිනවල කාරක සභාවලට සහභාගිවන මන්ත්‍රීවරුන්ට දිනකට රුපියල් 4,000ක් ගෙවීමත්ය. මේ ආකාරයේ ඉතාම සාධාරණ දීමනා කිහිපයකට හැර අනෙකුත් සියලු දීමනා සඳහා ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ වුණා. ඒ විරෝධය හමුවේ විශාල යෝජනා ප‍්‍රමාණයක් අත්හිටුවීමට ජනතා විමුක්ති පෙරමුණට හැකි වුණා.”

(ලංකා ට්ර්ත්හි පළ වූ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය 17වන දින පුවත් පත් සාකච්ජාවකදී දක්වන  ලද අදහස් ඇසුරිනි)

Archive

Latest news

Related news