Thursday, May 2, 2024

සේයා ඝාතනයට අත් අඩංඟුවට ගෙන පහර දුන් ශිෂ්‍යාට එරෙහි පොලිස් දඩයමක්

( ශ්‍රී ලංකා පොලීසිය මෘගකමට නම් දරා තිබේ; පුස්තකාල ජායාරූපයකි, පවතට අදාළ නැත)

කොටදෙනියාව අකරන්ගහ දැරියක ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොටදෙනියාව පොලිසියෙන් 2015 සැප්තැම්බර 16 වැනි දා නීති විරෝධීව අත්අඩංගුවට ගෙන සැප්තැම්බර 19 වැනි දා දක්වා රඳවා තබා ගනිමින් පහර දී අධිකරණයට ඉදිරිපත් කර දින 12ක් රිමාන්ඩ් බන්ධනාගාර ගතවීමෙන් පසු නිදහස ලැබූ පාසල් සිසුවාගෙන් පොලිසිය නැවත වරක් පළි ගෙන ඇතැයි එම සිසුවා පොලිස්පතිට පැමිණිලි කරමින් කියා තිබේ.

දැරිය ඝාතනය කළ බව කියමින් කොටදෙනියාව පොලිසියෙන් නීති විරෝධීව අත්අඩංගුවට ගැනීමට එරෙහිව එම පාසල් සිසුවා එස්සී/එෆ්ආර්/409/15 අංකයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 24 වැනි දා කැඳවීමට නියමිතය.

එලෙස කැඳවීමට සතියක් තිබිය දී පොලිසිය පසුගිය 11 වැනි දා රාත්‍රී යළි එම සිසුවා අත්අඩංගුවට ගෙන තිබේ.

එම සිසුවා පොලිසියට පැමිණිලි කර ඇති ආකාරයට මෙය සැලසුම් සහගත අත්අඩංගුවට ගැනීමකි. මීට පෙර පොලිසිය සිදු කළා සේම, දැරිය ඝාතනයට ඔහු අත්අඩංගුවට ගැනීම සාධාරණ බව සනාථ කිරීමට ඔහු සම්බන්ධයෙන් වැරදි මතයක් සමාජ ගත කරමින් එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවට වක්‍රාකාර බලපෑමක් කිරීමට පොලිසිය උත්සාහ කර ඇතැයි යන සැකය අපටම මතු වී තිබේ.

සිසුවා පොලිස්පතිට පැමිණිලි කර ඇති ආකාරයට තමාට එන ලෙස පුද්ගලයකු කළ දැනුම් දීමක් අනුව ඔහුගේ නිවසට ගොස් ඇති බවත්, එහි සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සිසුවා අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන්ය.

පොලිසියට ඔහුට එල්ල කර ඇති චෝදනාව හෙරොයින් මිලි ග්‍රෑම් 17ක් ළඟ තබා ගැනීමයි. හෙරොයින් මිලි ග්‍රෑම් 20ට අඩුවෙන් ළඟ තබා ගත්තන් වසරකට දහස් ගණනක් අත්අඩංගුවට ගන්නා අතර ඔවුන් ගැන පොලිසිය මාධ්‍යයට තොරතුරු සපයන්නේ නැත. එවැනි ප්‍රමාණවලින් හසුවූවන් අධිකරණයේදී වරද පිළිගෙන දඩ ගෙවා පිටව යති.

නමුත් කොටදෙනියාවේ සිසුවා සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිවේදනයක් ද නිකුත් කරන අතර ඔහු එම නිවේදනයේ සිසුවාගේ නම සහ ලිපිනය සඳහන් කර තිබේ. මීට පෙර හෙරොයින් මහා පරිමාණයෙන් ළඟ තබා ගත් හා හෙරොයින් ජාවාරම් කළ පුද්ගලයන් සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදන නිකුත් කර ඇතත් ඒ කිසිවක සැකකරුගේ නම් සඳහන් කර නැත. එලෙස තිබිය දී හෙරොයින් මිලි ග්‍රෑම් 17ක් ළඟ තබා ගත් බව කියමින් පාසල් සිසුවාගේ නම සඳහන් කිරීමෙන්ම පොලිසියේ දඩයම වටහා ගත හැකිය.

එසේම දැරිය ඝාතනයට අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිසුවාගේ ඇඳුම් ගළවා ලිංග ප්‍රදේශය බැලූ බවට මානව හිමිකම් කොමිසමේ පවා වගඋත්තරකරුවකු ලෙස චෝදනා එල්ල වූ සහකාර පොලිස් අධිකාරීවරයා සම්බන්ධයෙන් පොලිසිය මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැති අතර මෙවර සිසුවා අත්අඩංගුවට ගත් පිළියන්දල පොලිසිය අධීක්ෂණය කරනු ලැබුවේ ද එම සහකාර පොලිස් අධිකාරීවරයා විසින්මය.

චෝනා එල්ල වූ පොලිස් ස්ථානාධිපති වරයා සම්බන්ධයෙන් ද කිසිදු පියවරක් ගෙන නොතිබුණු අතර ඔහු ස්ථාන මාරු කරනු ලැබුවේ ඇඹිලිපිටිය සිදුවීම අවස්ථාවේ පොලිසියේ වැරදිකරනවුන් ආරක්ෂා කරන බවට මාධ්‍ය චෝදනා කළ පසුය. පාසල් සිසුවකු නීති විරෝධීව අත්අඩංගුවට ගෙන නීති විරෝධීව රඳවාගෙන පහර දීම සම්බන්ධයෙන් අපරාධ නීතිය යටතේ එම පොලිස් නිලධාරීන්ට එරෙහිව අද වනතුරුත් ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

පොලිසියේ වැරදි වසා ගන්නට මාධ්‍ය සංදර්ශන තබමින් කරන රංගන නවත්වන ලෙසත්, පාසල් සිසුවාගෙන් දිගින් දිගටම පලි ගැනීම නතර කරන ලෙසත් පොලිසියෙන් ඉල්ලා සිටින ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මුල් සිද්ධිය සම්බන්ධයෙන් හා දෙවැනි සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙස බල කර සිටී.

තරිඳු උඩුවරගෙදර
සභාපති,
තරිඳු ජයවර්ධන
ලේකම්,
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන් සංගමය

Archive

Latest news

Related news