Thursday, May 2, 2024

අයිතිකරුවන් කව්දැයි මුදල් කොහෙන්දැයි නොදන්නා ලංකාවේ පාඩු ලබන පත්තර

”පත්තරේට කවුරු සල්ලි දානවද කියලා අපි දන්නේ නැහැ. ඒත් මාසේ පඩිය දාට කවුරු හරි කෙනෙක් ඇවිත් පඩි සල්ලි ටික මැනේජ්මන්ට් එකට දීලා යනවා.’ මේ අපේ පත්තර මිත‍්‍රයකු තමන්ගේ පත්තරේ වැඩ කරන අයට පඩි ලැබෙන හැටි ගැන කී කතාවකි.

කතාව ඇත්තය. ලංකාවේ සමහර පත්තර ආයතන හිමිකරුවන් කවුදැ’යි ඒ පත්තර ආයතනවල වැඩ කරන මාධ්‍යකරුවන්වත් හරි හැටි දන්නේ නැත.

ඔවුන් ඒ ගැන හොයන්නේ ද නැත.

එක් කාලයක සමහර පත්තර ආයතනවල අයිතිය ඇත්තේ කැසිනෝකාරයන්ටය. තවත් කාලයක මැතිඇමැතිවරුන්ටය. තවත් කාලයක පෙර මිතුරා කී පරිදි ‘කවුරුවත් දන්නේ නැත.’

පුදුමය නම්, කළු සල්ලි සුදු කිරීම ගැනත් මහා පරිමාණ ජාවාරම් ගැනත් එළියේ සිටින ලොකු කුඩා සියලූ දෙනාම විවේචනය කරන මේ මාධ්‍ය ආයතනවල විප්ලවාදීන් තමන්ට පඩි ලැබෙන්නේ කොහෙන්ද’යි නොසොයා, නොබලා, සමහර විට දැනගෙන නොදත් සේ රටේ වැරැදි ගැන කතාකරමින් සිටීමය.

පසුගිය කාලයේ කෙරුණු සමීක්ෂණයකට අනුව, ලංකාවේ ලාභ ලබන පුවත්පත් ආයතන තිබෙන්නේ දෙකකි. එකක් ලංකාදීප ආදිය මුද්‍රණය කරන විජය නිව්ස්පේපර්ස් සමාගමය. අනෙක වීරකේසරී පුවත්පත මුද්‍රණය කරන එක්ස්ප‍්‍රස් නිව්ස්පේපර්ස් සමාගමය.

ඒ අනුව අනෙක් පත්තර ආයතන පවත්වාගෙන යන්නේ පාඩු පිටය. එලෙස පවත්වාගෙන යන්නට නම් වෙනත් කොහෙන් හෝ සල්ලි පොම්ප කරන්නට සිදුවෙයි. ඒ සල්ලි එන්නේ කොහෙන්ද?

සමහර පත්තර ආයතනවලට තමන්ගේම වූ වෙනත් ව්‍යාපාර තිබේ. ඒවායින් උපයන ලාභය පත්තරවලට යොදවනවා විය හැකිය.

එහෙත්, ඒ කුලකයට ද අයත් නොවන හුදෙක් පත්තර පමණක් පවත්වාගෙන අලාභයට දුවන ආයතනවලට සල්ලි එන්නේ කොහෙන්ද?

සමහර පත්තරවල සේවකයන්ට වැටුප් ලැබෙන්නේ නියමිත දිනයට දින දහයකට පසුය. ඒවායේ සිටින අභීත මාධ්‍යකරුවෝ තමන්ගේ වැටුප් දිනය. නියමිත දිනට දින දහයකට පසුව එන එකක් බව පිළිගන්නට කැමැත්තෙන්ම හිත හදාගෙන සිටිති.

තවත් පත්තරවල මිල හිතාගන්නටවත් බැරි තරම් අඩුය. එවැනි පත්තරයක් ඒ මුදලට මුද්‍රණය කර විකුණන්නට බැරි බව සහතිකය.

ඒ පත්තරයක් විකිනූ විට වෙළෙන්දාට දෙන කොමිස් මුදල ද අතිවිශාලය.

පත්තරය ගැන සතිපතා අලවන පෝස්ටර් මුද්‍රණය හා ඇලවීම සඳහා ද වැයවන්නේ පොඩි මුදලක් නොවේ.

මේ ඔක්කොමත් කරගෙන පත්තරයක් පවත්වාගෙන යන්නට ඒ අසීමිත සල්ලි එන්නේ කොහෙන්ද? කාගෙන්ද?”

– රාවය

පසු සටහන

මෙම වාර්තාව රාවය පුවත්පතින් අපුටා පළ කළ ලංකා නිව්ස් වෙබ් අඩවිය  කියන්නේ මෙහි සදහන් වන්නේ සත්හඩ පුවත්පත ගැනයි. සත්හඩ නිමික කර්තා ධුරය දරන්නේ දීප්ති කුමාර ගුණරත්නය. මෙහි විප්ලවවාදින් යනුවෙන් සඳහන් වන්නේ ඔහු ගැන වියහැකි ය.

Archive

Latest news

Related news