Thursday, May 2, 2024

ජූලි මාසයට පෙර යාපන ජනයාගේ ඉඩම් යළි ලබාදීමට සියලු අංශ සහාය දිය යුතුයි – ජනපති

(තෙලිප්පලෙයි සහ කෝපායි වැසියන්ට ඔවුන්ගේ උපන් බිමේ හිමිකම ලබා දීමේ උත්සවය)

‘නිවාස නිරීක්ෂණයට ගිය අවස්ථාවේ ජනතාව විශාල පිරිසක් මට හමු වුණා. ඔවුන් ඉතාම අසරණයි. ඔවුන්ට ප්‍රශ්න රැසක් ඇති බව පෙනී ගියා. අපිට අපේ ඉඩම් නැවත ලබා දෙන්නැයි ඔවුන් ඉල්ලා සිටියා. ඒ අය ඉල්ලන්නේ අනුන්ගේ දෙයක් නොවෙයි අපි එය සිතේ තබා ගත යුතු වෙනවා. ඒ අය ඉල්ලන්නේ ඒ අයගේ ඉඩම් දෙන්න කියායි. අපි ඒ වගකීම සහ යුතුකම ඉටු කළ යුතු වෙනවා. පසුගිය දෙසැම්බර් මස නත්තල් උත්සවයට මම යාපනයට පැමිණියා. ඉඩම් හිමියන්ට හය මසක් ඇතුළත (ජූලි මාසයට පෙර) ඉඩම් ලබා දීම් සිදු කරන බව මම එදා පැවසුවා. අපිට එම පොරොන්දුව ඉටු කිරීමට තෙමසක කාලයක් තිබෙනවා. එය ඉටු කළ යුතුයි. ඒ සඳහා සියලු අංශවල සහාය අපිට හිමි විය යුතුයි.‘ යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය 12දා යාපනයේදී පැවැසී ය. ඔහු එසේ ප්‍රකාශ කළේ තෙල්ලිපලෙයි සහ කෝපායිහි ජනයාට ඉඩම් සහ නිවාස ලබා දීමට එහි ගිය අවස්ථාවේදී ය.

ජනාධිපතිවරයාගේ කතාව පහත පළවේ:

අද මම කන්කසන්තුරේ ප්‍රදේශයට ඔබ හමුවීමට පැමිණියේ ඉතාම සතුටින්. මේ පැමිණීමේ අරමුණු දෙකක් තිබෙනවා. උතුරු ප්‍රදේශයේ යුද්ධයෙන් අවතැන් වූ ජනතාවට අවශ්‍ය නිවාස 65000ක ආදර්ශ ව්‍යාපෘතිය දැක බලා ගැනීම ඉන් එක් අරමුණක්. අවතැන් කඳවුරුවල සිටින ජනතාවට අවශ්‍ය ඉඩම් ලබා දීම එහි දෙවැනි අරමුණයි. දෙසතියක පෙරාතුව මම යාපනයට පැමිණ බාලදක්ෂ ජම්බෝරියට සහභාගී වුණා. ජම්බෝරියට පැමිණි උතුරේ සහ දකුණේ දරුවන් සතුටින් එම කටයුතුවල නිරතවූ අයුරු මම දැක බලා ගත්තා.

උතුරේ ජීවත්වන ඔබ සැම ඉතා කටුක ජීවිත ගත කරනවා. මේ ප්‍රදේශයේ දේශගුණය දැඩි අවු රස්මිය සමඟ වියළි දේශගුණික තත්ත්වයක් තිබෙනවා. මේ ප්‍රදේශයේ ජනතාව ඉතා මහන්සියෙන් තම වගා කටයුතු කරන බව පෙනී යනවා. අපේ රටේ පළාත් නවයක් ඇති බව ඔබ සැම දන්නා කරුණක්. පළාත් නවය එක ලෙස සංවර්ධනය විය යුතුයි. අවුරුදු විසිහයක් පුරා පැවැති යුද්ධය හේතුවෙන් උතුරු සහ නැඟෙනහිර පළාත් සංවර්ධනය වුණේ අඩුවෙන්. යුද්ධය පැවැති ප්‍රදේශවල ජනතාවගේ ජන ජීවිතය කඩා වැටුණා. ජීවිත වැනසුණා. දුප්පත්කම වැඩිවුණා. යුද්ධය හේතුවෙන් උතුරු, දකුණු සියලු පළාත්වල ජනතාවගේ ජීවිත අහිමි වුණා.

යුද්ධය තිබූ ප්‍රදේශවල ජනතාවට යුද්ධයේ ඇති කටුකබව අසීරු බව අදටත් මතකයේ තිබෙනවා. දකුණු පළාත් ඇතුළු අනෙකුත් පළාත්වල ජනතාවට යුද්ධයේ ඇති කටුක අමිහිරි බව අදත් මතකයේ තිබෙනවා. අපි අලුත් ආණ්ඩුව ලෙස මේ සියලු පළාත්වල ජනතාවට එක සේ සේවය කිරීම අරමුණයි. එහිදී යුද්ධය පැවැති ප්‍රදේශවල ජනතාවට, ඔවුන්ගේ ප්‍රශ්නවලට ප්‍රමුඛත්වයක් ලබා දීය යුතුයි. සෙසු ප්‍රදේශවල ජනතාවට වඩා මේ ප්‍රදේශවල ජනතාවට දැඩි පීඩනයක් සහ ප්‍රශ්න රැසක් තිබීම ඊට හේතුවයි. අවතැන් ජනතාවට අවශ්‍ය නිවාස ඉදිකිරීමට නිවාස 65000ක ව්‍යාපෘතියක් අරඹා තිබෙන බව ඔබ දන්නවා. මම තෙලිල්පිලි ප්‍රදේශයට පැමිණියේ ආදර්ශ නිවාස ව්‍යාපෘතියක් නැරඹීමටයි. මේ නිවාස ව්‍යාපෘතිය පිළිබඳ උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරම් හා ඇමැති ඩී.එම්. ස්වාමිනාදන් මහත්වරු ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කළා.

11
ජනාධිපති යාපනයේ දී

මේ සඳහා විවාදයක් අවශ්‍ය නැහැ. අපි නිවාස ලබා දෙන්නේ ජනතාවටයි. ඒ නිසා නිවාස දීමේ ප්‍රධාන අරමුණ සිතට ගත යුතුයි. මේ නිවාසවල ඉන්නේ මම හෝ විග්නේශ්වරම් මහතා හෝ ස්වාමිනාදන් මහතා නොවෙයි. ජනතාව කැමැති නිවාස ව්‍යාපෘතිය කුමක්ද කියා අපි සොයා බැලිය යුතුයි. ඒ නිසා ජනතාවගේ මතය බලා එවන් නිවසක් ඉදි කිරීම අපේ යුතුකමයි. රජයට පළාත් සභාවට අපි සියලුදෙනා එක්ක ජනතාව කැමැති ආකාරයේ නිවසක් ඉදි කර දෙන්න පුළුවන්. ඒ ගැන ජනතා අදහස් විමසා අපි තීන්දුවක් ගත යුතුයි. නිවාස නිරීක්ෂණයට ගිය අවස්ථාවේ ජනතාව විශාල පිරිසක් මට හමු වුණා. ඔවුන් ඉතාම අසරණයි. ඔවුන්ට ප්‍රශ්න රැසක් ඇති බව පෙනී ගියා. අපිට අපේ ඉඩම් නැවත ලබා දෙන්නැයි ඔවුන් ඉල්ලා සිටියා.

ඒ අය ඉල්ලන්නේ අනුන්ගේ දෙයක් නොවෙයි අපි එය සිතේ තබා ගත යුතු වෙනවා. ඒ අය ඉල්ලන්නේ ඒ අයගේ ඉඩම් දෙන්න කියායි. අපි ඒ වගකීම සහ යුතුකම ඉටු කළ යුතු වෙනවා. පසුගිය දෙසැම්බර් මස නත්තල් උත්සවයට මම යාපනයට පැමිණියා. ඉඩම් හිමියන්ට හය මසක් ඇතුළත (ජූලි මාසයට පෙර) ඉඩම් ලබා දීම් සිදු කරන බව මම එදා පැවසුවා. අපිට එම පොරොන්දුව ඉටු කිරීමට තෙමසක කාලයක් තිබෙනවා. එය ඉටු කළ යුතුයි. ඒ සඳහා සියලු අංශවල සහාය අපිට හිමි විය යුතුයි. ඉඩම් නැවත ලබා දීම රජයේ ප්‍රමුඛ කාර්යයක්. කඳවුරුවල සිටින ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය කඩිනමින් විසඳීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමකම් කොමසාරිස්තුමා ලංකාවට පැමිණි අවස්ථාවේ මා සමඟ සාකච්ඡා කළා.

ඒ නිසා අපි රටතුළත් ජාත්‍යන්තරයෙනුත් මේ පිළිබඳ අවධානය යොමු වී තිබෙනවා. දකුණේ සුළු පිරිසක් මේ පිළිබඳ රජයට විවිධ විවේචන එල්ල තරනවා. ඕනෑම වැඩක් කරද්දී විවේචනය කරන පිරිස් සිටිනවා. උතුරේ අවතැන් කඳවුරුවල සිටින ජනතාවගේ දුක සැප පැමිණ බලන්නැයි මම විවේචන කරන පිරිසගෙන් ඉල්ලා සිටිනවා. ජාතික සංහිඳියාව පිළිබඳ අපි නිතර නිතර කතා කරනවා. ජාතික සංහිඳියාව ඇති කිරීමට සියලුදෙනා එන්නේ උතුරටයි. එතැන පොඩි වරදක් සිදුව තිබෙන බව පැහැදිලියි. සංහිදියාව අත්‍යවශ්‍ය කරණක්. එහිදී දැනුවත් කළ යුත්තේ දකුණේ ජනතාවයි. ඇතැම් අන්තවාදී පිරිස් වැරදි මත ඇති කරනවා. සමානාත්මතාව පිරි සමාජයක් ගැන අපි නිතර කතා කරනවා. සෑම දෙනෙක්ම එක වගේ ජීවත්විය යුතු බව කියනවා. සෑම කෙනෙකුටම එක වගේ සිය අයිතීන් භුක්තිවිදීමට අයිතිය දිය යුතුයි නේද?

සෑම මිනිසෙකුටම සැපවත් නිදහස් යහපත් ජීවිතයක්, පවුල් ජීවිතයක් අවශ්‍ය නේද? සමානාත්මතාව පිරි සමාජයක් ඇති කිරිමට අපි සියලු දෙනා එකට එක්ව කටයුතු කරමු යැයි මම සමස්ථ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විවේනය කරන්න ඕනෑ කෙනෙකුට පුළුවන්. විරෝධතා ඉදිරිපත් කරන්න ඕනෑම කෙනෙකුට පුළුවන්. නොයෙක් අදහස් මත ඉදිරිපත් කරන්න ඕනෑ කෙනෙතකුට පුළුවන්. සෑම කෙනෙකුගේම යුතුකම් සහ වගකිම් පිළිබඳ සෑම කෙනෙකුටම අවබෝධයක් තිබෙන්න අවශ්‍යයි. ඒ නිසා අපි අපේ යුතුකම් සහ වගකීම් ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතුයි. මිනිසුන් වෙනුවෙන් යුතුකම් සහ වගකීම් ඉටු කිරීමේදී උතුරේ දකු‍ණ කියා වෙනසක් නැහැ.

රටක් ලෙස සියලු දෙනාට එක සේ සිතිය යුතුයි. ලෝකය ලෙස ලෝක ප්‍රජාවට එම යුතුකම් ඉටු විය යුතුයි. ඉඩම් අක්කර හත්සීයයක ප්‍රමාණයක් ඔබ වැනි පිරිසකට පිරීනැමීමට ලැබීම පිළිබඳ මම අද ඉතාම සතුටු වෙනවා. අපි සෙසු ප්‍රශ්න පියවරෙන් පියවර විසඳියයුතු වෙනවා. මේ පිළිබඳ උතුරේ ජනතාවට උපරිම සහාය ලබා දෙනවා. උතුරේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ට අපි එම අවස්ථාව ලබා දෙනවා. මේ කටයුතු කඩිනම් කරමු යැයි මම රාජ්‍ය අංශයේ සියලු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. විග්නේශ්වරම් මහතාගේ කතාවේදි තවත් කරුණු කිහිපයක් පැවසුවා මම එය සිතට ගත්තා. ඔබ සැමගෙන් එන අදහස් සිතට ගෙන රජයක් ලෙස යහපත් දේ හොඳ දේ කිරීමට කටයුතු කරනවා.

උතුරු පළාත් මහ ඇමැති සි.වි. විග්නේෂ්වරන් මහතා, හමුදාව යටතේ තිබූ ඉඩම්වල අයිතිය අද ජනතාව වෙත ලබා දී තිබෙනවා. එය සතුටට කරුණක්. හමුදාව යටතේ පැවැතියේ එක රටක එක් ප්‍රදේශයක් මිස වෙන රටක් නොවෙයි. ඒ නිසා මුල් පදිංචිකරුවන්ට ඔවු‍න්ගේ ඉඩම් අයිතිය ලබා දීම පිළිබඳ රජයට ස්තූතිය පිරිනමනවා. මීට පෙර පැවැති රජයෙන්ද අපි මේ ඉල්ලීම කළා. නමුත් සතුටුදායක පිළිතුරක් ලැබුණේ නැහැ. සුදු කොඩි සිද්ධිය පිළිබඳ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශයක් කරන බව පවසා තිබෙනවා. ඒ පිළිබඳ සතුටු වෙනවා. අවතැන් කඳවුරුවල සිටින ජනතාවට අවශ්‍ය නිවාස පහසුකම් ලබා දී තිබෙනවා. ගෘහභාණ්ඩ, සෝලා පවර්, ගෑස් සිලින්ඩර පවා ලබා දී තිබෙනවා. එය හොඳ ප්‍රවණතාවක්. ඒ ගැන සතුටු වෙනවා.

පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා ද මෙහිදී කතා කළේය.

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, නියොජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අංගජන් රාමනාදන්, මාවෙයි සේනාධිරාජා මහත්ම මහත්මීන්ද යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද ඉඩම්ලාභීන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වී සිටියහ.

(ඡායාරූප – සුදත් මලවීර සහ ජනාධිපති මාධ්‍ය අංශයල දිනමිණ අනුග්‍රහයෛනි)

Archive

Latest news

Related news