Saturday, April 20, 2024

උතුරට කාන්තා දිනය කලු වෙයි

( කිලිනොච්චි කලු කන්තා දිනය; පින්තූරය GTN)

ජාත්‍යන්තර කාන්තා දිනය වන අද දින උතුරු නැගෙනහිර කාන්තා සංවිධානයක් වන කාන්තා ක්‍රියාකාරී ජාලය (Women’s Action Network) විසින් කලු දිනයක් ලෙස ද   මාර්තු මාදයම කලු මාසයක් ලෙස ද ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව අද උදෑසන යාපනය පලාලි මාර්ගය අසල පෙරවරු 9 සිට 11 දක්වා කලු විරෝධතාවයක් පැවැත්වුණි.

කාන්තාවන්ට හා දැරියන්ට එරෙහි ලිංගික හිංසාවන්, ඝාතන සිද්ධින් දිවයින පුරා බහුලවී ඇති හෙයින්, එම ප්‍රචණ්ඩ ක්‍රියාවලට මෙතෙක් නීතිය ක්‍රියාත්මක කර නොමැති අතර නීතිය සාධාරණයක් ලැබිය හැකියි යන විශ්වාසයක්ද තුරන්වී ඇති බැවින් කාන්තාවන් සඳහා වූ අද දිනය සහ මෙම මාසය පුරාම රටේ සියළු දෙනාටම අඳුරු මාසයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව එම කමිටුව ප්‍රකාශ කරයි.

  • කිසි දිනක සමාජයතුල කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියාවන් සිදුවීමට ඉඩ නොදෙන්නමු
  • කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩකත්වයේ නොයෙදෙමු
  • කාන්තවන්ට එරෙහි ප්‍රචණ්ඩකරුවන් ලෙස අපගේ පිරිමන්ව පත්වීමට ඉඩ නොතබමු
  • කාන්තා හිංසනයට එරෙහි නීතිමය සාධාරණයක් ලැබෙනතෙක් නිහඞ නොවෙමු

යැයි එම නිවේදනය කියා සිටී.

මේ අතර අද දින අඳුරු දිනයක් ලෙස පෙන්වාදීමට සිය නිවස්වල, වෙළඳසැල්වල හා ආයතනවල කළු කොඩියක් ඔසවා තබන ලෙසත්, කළු ඇඳුම් සහ කළු පැළඳගන්නා ලෙසත් එම නිවේදනය ඉල්ලා සිටී.

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කිලිනොච්චියේ ද අද දින කාන්තා සංවිධානයක් විසින් කලු කොඩි විරෝධතාවක් පවත්වා ඇත.

අද පෙරවරු 10ට කිලිනොච්චිය කච්චේරිය ඉදිරිපිට එක්රැස්වූ කාන්තාවන් කලු පටි පැළඳ කාන්තාවන්ට සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහිව සිය විරෝධය පළ කළහ.

එහිදී සාමය සඳහා වූ ගමන යන තේමාව යටතේ, ජනාධිපතිතුමනි,  කාන්තාවන්ට ළමුන්ට එරෙහි ලිංගික හිංසවාව ජාතික ප්‍රශ්ණයක් ලෙස ප්‍රකාශ කරන්න, නීතිපති දෙපාර්තුමෙන්තුවේ තැන්පත්ව තිබෙන නඩු කඩිනමින් විභාග කිරීමට විශේෂ නීතීඥ කණ්ඩායමක් පත් කරන්න, කාන්තාවන්ට එරෙහි හිංසාවට නිසි සාධාරණයක් ලැබෙන තෙක් අපි නිහඞ නොවන්නෙමු ආදී සටන් පාඨ දක්නට ලැබුණි.

අනතුරුව පැරණි කච්චේරිය සිට අලුත් කච්චේරිය දක්වා පා ගමනින් ගිය කාන්තාවන් එහි අතිරේක දිසාපති වෙත ජනාධිපතිට යැවීම සඳහා පෙත්සමක් ද බාරදී තිබේ.

(ග්ලෝබල් ටැමිල් නිව්ස් ද අසුරිනි)

Archive

Latest news

Related news