Sunday, April 28, 2024

කුලියාපිටිය ප‍්‍රසාද් නිර්මාල් දරුවාට අධ්‍යාපන අයිතිය තහවුරු කරනු! – සමාජවාදී තරුණ සංගමය

“අවුරුදු 06ක් වයසැති ප‍්‍රසාද් නිර්මාල් ජයමාන්න දරුවා කුලියාපිටිය ප‍්‍රදේශයේ පාසලක පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට යාමත් සමඟ මතුව තිබෙන ව්‍යාකූලත්වය පිළිබඳව සමාජවාදී තරුණ සංගමයේ අවධානය යොමු වී ඇත. රටේ අධ්‍යාපන ඇමතිවරයාගේ බල ප‍්‍රදේශය තුළම සිටින දරුවෙකුට සිදුව ඇති මෙම අසාධාරණය වෙනුවෙන් අධ්‍යාපන බලධාරීන් වහා මැදිහත්ව එම දරුවාට පහසුකම් සහිත පාසලක අධ්‍යාපනය ලබා දීම සඳහා අවස්ථාව ලබා දීමට වහාම මැදිහත් විය යුතු බවට අවධාරණය කර සිටිමු.

කලකට ඉහතදී එම දරුවාගේ පියා මිය ගියේ ඒඩ්ස් රෝගය වැළඳීම නිසා බවට පැතිරුණු කටකතා මත එම දරුවාටද ඒඩ්ස් රෝගය වැළඳී ඇති බවට සැක කරමින් අදාළ පාසලේ දෙමව්පියන්ගේ විරෝධය මත විදුහල්පතිවරයා විසින් දරුවා පාසලට ගැනීම ප‍්‍රතික්ෂේප කර ඇත. නමුත් ජාතික ලිංගාශ‍්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා පවසන්නේ ස්ථිර ලෙසම මෙම දරුවාට HIV වෛරසය ශරීරගත වී නොමැති බවයි.

ඒඩ්ස් යනු සුළඟින් බෝ වන රෝගයක් නොවේ. එම රෝගය වැළඳුණු කෙනෙකු ඇසුරු කිරීම හෝ එකට පන්ති කාමරවල සිටීම හෝ මෙම රෝගය බෝ වීමට කෙසේවත් ඉවහල් නොවන බව වෛද්‍යවරු විසින් තහවුරු කර ප‍්‍රකාශ කරන විටදීත් එම ජනතාව තුළ පවතින අඩු අවබෝධය හා නොදැනුවත්කම මත කෙසේවත් දරුවා පාසලට ඇතුළත් කර ගැනීම ප‍්‍රතික්ෂේප කරමින් තිබේ.

මෙය ඉතා කණගාටුදායක සහ වහා වෙනස් කළ යුතු තත්වයක් ලෙස දකින සමාජවාදී තරුණ සංගමය පහත යෝජනා ක‍්‍රියාත්මක කිරීම සඳහා අදාළ බලධාරීන් කඩිනමින් මැදිහත් විය යුතු බවද අවධාරණය කර සිටිමු.

1. ප‍්‍රසාද් නිර්මාල් ජයමාන්න දරුවාට ඉගෙනීම සඳහා පහසුකම් සහිත පහසු පාසලක් ලබා දීමට වහා මැදිහත් වන ලෙසත්,

2. තෝරාගත් වයස් කාණ්ඩවල පාසල් දරුවන්ට සහ සමාජයේ වැඩිහිටි පිරිස් සඳහා මෙවැනි රෝග පිළිබඳව ලබාදිය යුතු විද්‍යාත්මක අවබෝධය ලබාදීම වෙනුවෙන් ඉක්මන් වැඩපිළිවෙළක් සකස් කර ක‍්‍රියාත්මක කරන ලෙසත් අවධාරණය කර සිටිමු.”

– සමාජවාදී තරුණ සංගමය

press releas 2016.03

Archive

Latest news

Related news