Thursday, May 2, 2024

යොහාන් දේවානන්ද පියතුමාට ආචාරය – කාන්තා සංවර්ධන පදනම

යොහාන් දේවානන්ද පියතුමා ප්‍රගීත් එක්නැලිගොඩ පවුලේ සුව දුක් විචාරමින්
යොහාන් දේවානන්ද පියතුමා ප්‍රගීත් එක්නැලිගොඩ පවුලේ සුව දුක් විචාරමින්

අප සංවිධානයේ පෙර ගමන්කරුවූ ප්‍රගතිශීලී කාන්තා පෙරමුණ ආරම්භ කිරීමට මුල්ගල තැබූවේ පසුගිය 5වන සෙනසුරාදා අළුයම අප අතරින් සදහටම වියෝවූ සේවක යොහාන් දේවානන්ද පියතුමා ය.

යොහාන් සේවානන්ද පියතුමා අපට පියෙකු, ගුරුවරයෙකු, ශාන්තුවරයෙකු මෙන්ම ළබැදි සොහොයුරෙකු මෙන් වරෙක අවවාද අනුශාසනා කරමින්ද, වෙරෙක සහයෝගය සහ ධෛර්ය දෙමින්ද, තවිත විටෙක විවේචනය කරමින්ද, අප සමඟ එක්ව කටයුතු කළේ ය. 1980 දශකය වන තුරු දේවසරණය තුළ කාන්තා ක්‍රියාකාරිත්වයක් දක්නට නොලැබුණි. 1981 දෙසැම්බර් මාසයේ සමස්ථ ලංකා ගොවි සම්මේලන ක්‍රියාකාරීන්ගේ පවුල් රැස් වී පවුලේ ජීවිතය සහ කාන්තා ක්‍රියාකාරිත්වය පැවැත් වූ සාකච්ජාවෙහි ඉදිරි පියරක් ලෙස එම අඩුව පිරිමැසුනි .

ප්‍රගතිශීලී කාන්තා පෙරමුණේ මූලාරම්භය එයයි. ජනතා අරගලය ගුළ ක්‍රියාකාරී වන අතරම, කාන්තාවන් වශයෙන් වෙනම සංවිධානය වීම අවශ්‍යය යන මතවාදයෙන් සන්නද්ධ කරමින් නිරන්තරයෙන්ම අපව දිරිමත් කළේ එතුමාය. එම සහාය නොතිබුණේ නම්, කාන්තා විමුක්ති මතවාදය හරහා ඉදිරියට ඒමට අප බොහෝ දෙනෙකුට නොහැකි වන්නට තිබුණි. කාන්තාවක් රැස්වීමක් අමතා වන වචන කිහිපයක් ප්‍රකාශ කළද එම වචන යොහාන් පියතුමාගේ පැසසුමට ලක් විය. එනිසාම අපගේ බිය සැක තුරන් වී සභාවක යම්කිසි මතයක් ප්‍රකාශය කිරීමට ධෛර්‍ය සහ හැකියාව ලැබුණි. එමෙන්ම ස්වාධීනව වැඩ කිරීමේ පරිචය ලබා ගැනීමටද, කාන්තාවන්ට එතුමාගෙන් ලැබුණ ධෛර්යය අපමණය. දේවසරණය තුළ බිහිවූ ප්‍රගතිශීලී කාන්තා පෙරමුණ පසු කළෙක කාන්තා සංවර්ධන පදනම මගින් ස්වාධීනව කටයුතු කිරීමට පෙළඹුණේද ඒ ලබා ගත් ශක්තිය සහ අත්දැකීම නිසාවෙනි.

අරගලය තුළ අප ගොඩ නැගෙන්නේ එකිනෙකාගේ සෙවනැල්ලෙහියැයි කියන්නට පුරුදුව සිටි යොහාන් පියතුමා තමා ප්‍රගතිශිලී කාන්තා පෙරමුණෙන් ද ඉගෙන බව කීමට මැළි නොවීය‍

කාන්තාවන් පමණක් නොව සමාජයේ සියළු පීඩිත ජන පිරිස් සමඟ එක්ව ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් ක්‍රියාකාරී වීම යොහාන් දේවානන්ද පියතුමාගේ නිසඟ ලකුණක් විය. දුගීන්, ගැමියන්, ගොවීන්, කම්කරුවන්, දරුවන් වැනි සමාජයේ නිරන්තර පීඩාවට ගොදුරු වන්නන් කෙරෙහි එතුමාගේ දයාව හා කරුණාව අප්‍රමාණ විය. ජාතීන් අතර සහයෝගීතාවය ඇතිකිරීමේහිලා එතුමා ඉතා පලදායක සහ දුර දිග යන පියවර තැබුවේය. ලංකාවේ ජනවාර්ගික ගැටළුව පිළිබදව සංවිධාන කිහිපයක් සමග කටයුතු කරමින් ඉතා සරලවබසින් ‍‘යුද්ධය සාමය’ නමින් එතුමාගේ මූලිකත්වයෙන් සකස් කොට බෙදා හරින ලද පොත් එහිලා වැදගත්මං සළකුණකි.

80 දශකයේ මුල්භාගයේ ජාතීන් අතර සුහදතාවය ගොඩනැගීමේ උදාර මෙහෙවරට උර දෙමින් එතුමා මෙම පොතෙහි දෙමළ පිටපත්ද රැගෙන ගොස් උතුරු නැගෙනහිර ජනයා අතරටද සිංහල පිටපත් අතැතිව දකුණේ ගැමි ජනයා අතරටද ගොස් සංවාදයෙහි යෙදුණි.

පීඩිතයාගේ අයිතීන් වෙනුවෙන් අරගලයක් තිබුණේ යම් තැනකද එතුමාද එහි පෙරමුණේ සිටිනු දක්නට ලැබුණි. මොනරාගල බහු ජාතික සමගම් වලට විරුද්ධව ගොවීන් ගෙන ගිය අරගලයෙහිත්, කුරුණෑගල ජල බද්දට විරුද්ධව ගොවීන් ගෙන ගිය අරගලයෙහිත් 1981 වැඩ වර්ජනයෙන් පසු ගොඩනැගුණු සහයෝගිතා ව්‍යාපාර තුළද එතුමා කැපී පෙනෙන වැඩ කොටසක් ඉටු කළේය.

එතුමා බොහෝ වෙහෙස වී වැඩ කළ කෙනෙකි. කොතෙක් වෙහෙස වී වැඩ කළද තමා ඇසුරු කරන හිත මිතුරන්, රෝගීන්, දරුවන් බැලීමට නිවෙස් කරා යාම පුරුද්දක් කරගෙන සිටි අතර ඒ යන ගමන් වලදී කුමන හෝ දෙයක් රුගෙන යාමටද අමතක නොකළේය. බොහෝ විට ඒ පොතක්, පුවත්පතක් හෝ කෑම වර්ගයකි.

එතුමා සෑම ආගමකටම ගරු කළේය. ආගම් අතර සහයෝගීතාවය වර්ධනය කිරීමට කටයුතු කළේය. විවිධ උගතුන් ආගමික නායකයින් දෙස් විදෙස් විද්වතුන් සමග සංවිධාන රාශියක් බිහි කිරීමට එතුමා මූලිකත්වය ගත්තේය. විමුක්ති ධර්ම කේන්ත්‍රය, පැවිදි හඩ, ලෝක සහයෝගිතා ව්‍යාපාරය එයින් කිහිපයකි. එතුමා ගොවීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දීර්ඝ කාලයක් අරගලයෙහි යෙදුණ කළ සමස්ථ ලංකා ගොවි සම්මේලනයේ ක්‍රියාකාරී නායකයෙක් ද විය.

මුල් කාලයෙහි දේවසරණයෙහි උදෑසන කියවීම පිණිස සකස් කරන ලද ‘නවලොව වන්දනා’ නම් එම ප්‍රකාශනය සියළු ආගම් හා විප්ලවකාරී දර්ශනයන් අතර සංවාදයක් වැන්න.

විවිධ මාතෘකා ඔස්සේ තොරතුරු ගවේශනය කරමින් එතුමා ප්‍රකාශන කිහිපයක්ද එතුමා විසින්ම හෝ එතුමාගේ මූලිකකත්වයෙන් හෝ එළිදක්වා ඇත. ප්‍රචණ්ඩ ලංකා (1971), යාපනයේ මගේ අත්දැකිම් (1985) ඉන් කිහිපයකි. එම පොත්හි එන අකුරුතුළ සේවක යොහාන් දේවාන්නද සදා ජිවත්වනවා ඇත.

අපේ උසස්ම ආචාරය පුද කරමින් එතුමාට ස්වර්ගස්ථ සැප ප්‍රාර්ථනා කරමු.

කාන්තා සංවර්ධන පදනම

2016 මාර්තු 07දා.

Archive

Latest news

Related news