Thursday, April 25, 2024

රාජපක්ෂ හොරු ඇල්ලීම පළි ගැනීමක් ද?

“මගෙ දරුවන්ගෙන් පළිගන්න එක වැරදියි. ඕන නම්, මාව අල්ලල ඇතුළට දාන්න” යෝෂිත ගත් පසු මහින්ද කියූ කතාවය. මේ කියන්නේ යෝෂිතව ගත්තේ තමන්ගෙන් පළි ගැනීමට බවය. මෙහෙම ගත්තාම නාමල්ව, ශිරන්තිව කිසිම වරදකට අත්අඩංගුවට ගන්න විදියක් නැත. ඒ සියල්ල මහින්දගෙන් පළි ගන්නා වැඩය. පුතාලා, මස්සිනාලා කරපු වැරදි සියල්ල වෙනුවෙන් මහින්දවම ගත යුතුය. ඇත්තටම ගත යුත්තා ද ඔහුමය. එහෙත් ඔහුගේ උවමනාවට පුත්තු කරපු සෙල්ලම් ලෙහෙසියෙන් මග හැර යා නොහැක. ඒ සියල්ලට නීතිය කි‍්‍රයාත්මක විය යුතුය. ප‍්‍රශ්නය වී ඇත්තේ මෙතරම් ප‍්‍රමාද වීමය.

මහින්ද අද කියන්නේ තමන් කිසිවෙකුගෙන් පළිගත්තේ නැති බවක්ය. එහෙම ගත්තම මහින්ද තොත්ත බබාය. පසුගිය කාලේ හරි ශාන්ත දාන්ත විදියට රට පාලනය කර ඇත. එහෙත් මේ රටේ ජනතාවට ඒ අමිහිරි අතීතය තවම හොඳට මතකය. තමන්ගෙ ජනාධිපතිකම් පටන් ගත්තෙම පළිගැනීම් වලින්ය. චන්ද්‍රිකාව පක්ෂ නායකත්වයෙන් එළියට දැම්මේ හරියටම තමන්ගෙ උපන් දිනය දවසේදීය. උපන් දිනයක් දවසකදි සාමාන්‍යයෙන් කරන්නේ පිං අතේ වැඩය. පන්සල් ගොස් වයසට සරිලන පහන් පත්තු කර, සදහම් සිතක් ඇති කර ගන්නේ එදාටය. එහෙත් මහින්ද කළේ සදහම් සිතක් ඇති කර ගන්නවා වෙනුවට වෛරී පළි ගැනීම් සිදු කිරීමය. අනුර බණ්ඩාරනායක අගමැති වෙන්න උත්සාහ දරපු නිසාම ඔහුට සංස්කෘතික අමාත්‍යාංශයේ කෑල්ලක් දීල පැත්තකට තල්ලු කර දැම්මේය. අන්තිමේදී අනුර, මංගල, ශී‍්‍රපති ඇමතිකම්වලින්ද පන්නා දැම්මේය. එතනින් නතර නොවී ශී‍්‍රපතිව හිරේට දැම්මේය. අන්තිමට ශී‍්‍රපති අභිරහස් ලෙස මරණයට පත් විය. එය අදටත් සැක සහිත මරණයකි.

ජනාධිපතිවරණයේ තමන්ට එරෙහිව පොදු අපේක්ෂකයා වූ ෆොන්සේකාට දුන් වදය මුළු රටම දන්නා දෙයකි. එදා ෆොන්සේකාගෙ බෑනාගෙන්ද පළි ගත්තේය. ෆොන්සේකාට උදව් කරපු හිතවත්තු පන්න පන්නා අත්අඩංගුවට ගත්තේය. ආරක්ෂාවට නිල වශයෙන් රාජකාරියේ යෙදුනු හමුදා නිලධාරීන් ගිනි කාෂ්ටක අව්වේ තාර පාරේ දණ ගස්සවා පළි ගත්තේය. අන්තිමට මාස ගණන් හිරබත් කන්නට ද විය. 2010 ජනාධිපතිවරණ දිනයේදීම කිලිනොච්චියේ ඡන්ද මධ්‍යස්ථානවල රාජකාරියට ගිය විශ‍්‍රාමික හමුදා නිලධාරින් කුරුණෑගලදී අත්අඩංගුවට ගත්තේය. ඒ යුද්දෙට ගිය සැබෑ හමුදා නිලධාරීන්ය. ඒ හැමෝගෙම අම්මාවරු, බිරින්දෑවරු, දරුවන් මාස ගණනක් හැඬූ කඳුලෙන් විඳපු වේදනාවන් රටේ ජනතාවට මතකය.

ෆොන්සේකා නිදහස් කරන්න උද්ඝෝෂණය කරපු විජිත හේරත් මන්තී‍්‍රවරයා ඇතුළු පිරිස ගාල්ලේ හිර කූඩුවට දැම්මේය. සති ගණන් මාස ගණන් එදා ඒ අයගෙ දරු පවුල් වේදනා වින්දෝය. ශිරාණි බණ්ඩාරනායක කාන්තාවක් කියාවත් බැලුවේ නැත. ඇයව එළියට දමා අභූත චෝදනා නගමින් ඇයගේ දරුවාගෙන්, ස්වාමියාගේ රැකියාවෙන් පවා පළි ගත්තේය. තමන්ට අභියෝගයක් වූ ජෙයරාජ් ප‍්‍රනාන්දු පුල්ලේ වැනි ඇමතිවරුන්ගෙන් ජීවිතයෙන්ම පළි ගත්තේය. පළි ගැනීම් ගැන කතා කරනවා නම් ලංකාවේ දේශපාලනය තුළ වැඩියෙන්ම පළි ගත්ත නායකයා මහින්ද රාජපක්ෂය. එතරම් අමානුෂික හා තිරිසන් පළිගැනීම් කළ ජනාධිපතිවරයෙක් අද කතා කරන්නේ අධෝ මුඛයෙන්ය. නැත්නම් මෙලෙස කතා කරන්නට හැකියාවක් නැත.

යෝෂිත හරියට සාමාන්‍ය පෙළ විභාගයවත් සමත් නැත. එහෙත් නාවුක හමුදාවේ කොමිෂන් ලත්, නිලධාරියෙකු ලෙස බඳවා ගත්තේය. බඳවාගෙන සති දෙකෙන් එංගලන්තයේ විශේෂ පුහුණුවකට යවා ඇත. ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ හැට දෙකක් වියදම් දරා ඇත. මෙය මුළුමනින්ම නීති විරෝධීය. ඒ විතරක් නොවෙයි. හැත්තෑ වතාවක් රට යවා රුපියල් කෝටි දෙකයි ලක්ෂ විසි හතරක් වියදම් දරා ඇත. මේ සල්ලි මේ රටේ ජනතාවගේ සල්ලිය. දහස් ගණන් උසස් පෙළ සමත්, උපාධි පවා ලබාගත් ගම්බද තරුණයන් රැකියා නැතිව තවමත් මහ පාරේය. ඒ කිසිදු සුදුසුකමක් නැතිව නාවුක හමුදාවේ රගර් කණ්ඩායමේත් නායකයා කරල කරපු සෙල්ලම් රටේ ජනතාවට හොඳට මතකය. එතැනින් නතර නොවී කාල්ටන් රූපවාහිනී හා රේඩියෝ ආයතනයේ සභාපති ලෙස රජයේ මුදල් හා සම්පත් කෝටි ගණනින් අවභාවිත කර ඇත. සෙල්ලක්කාර පේ‍්‍රම සම්බන්ධතා නිසා තාජුඞීන් වැනි ජාතික රගර් කණ්ඩායමේ දක්ෂ කී‍්‍රඩකයෙකුගෙන් පවා පළි ගැනීම් සිදුකර ඇති බවට චෝදනා ඇත. මේවා ආවට ගියාට කියන කතා නොවේය. ගින්නක් නැතිව දුමක් නගින්නේ නැත. රාජ්‍ය ඌෂ්ණය අරගෙන සිදු කරපු වැරදි කිසිවක් කිසිවෙකු අනුමත කරන්නේ නැත.

නාමල්ගේ නීති උපාධිය ගත් ආකාරයද සම්පූර්ණයෙන්ම ප්‍රෝඩාකාරීය. එය තාත්තා නීති උපාධිය ගත්තා සේමය. ඒ අසාධාරණය වෙනුවෙන් කතා කළ, හඬක් නැඟූ නීති පීඨ ශිෂ්‍යයා මරා දමන්නට පවා උත්සාහ කළේය. අන්තිමේදී ඔහු තමන්ගෙ නීති උපාධියද පැත්තකට දමා ජීවිතය බේරා ගන්න රට පැන්නේය. තවමත් ඔහු ජීවත් වන්නේ ස්විස්ටර්ලන්තයේය. නීතිඥයෙකු ලෙස දිව්රුම් දී සති දෙකෙන් සමාගම්වල උපදේශන ගාස්තු ලෙස ලක්ෂ හතළිස් තුන බැගින් ලැබුනේ කොහොමද? යන්න පරීක්ෂණ කළ යුතුය. මේවා පළිගැනීම් නොවේය. තාත්තගෙ බලය පාවිච්චි කරල රටේ මහජනතාව දහඩිය මහන්සියෙන් සොයාගත් මුදල් මංකොල්ල කෑමය.

ශිරන්තිගේ ගිණුමේ කෝටි ගණන් සල්ලි පිරුනේද එලෙසමය. ජනාධිපති ආර්යාව වූ පලියට මුදල් ලැබෙන මැෂින් එකක් ඇයට තිබුණේ නැත. බිරින්දෑ වීමේ බලය පාවිච්චි කරල වත්තල වැලි ගොඩදාන බෝට්ටු පවා තමන්ගෙ හිතවතුන්ට දෙන්න කියල යවපු ලියුම් තවමත් ඒ අය ළඟ සුරක්ෂිතව ඇත. තමන්ගෙ ලේකම්වරුන්ට කෝටි ගණන් වටිනා නිවාස දෙන්න ලියුම් ගැහුවේත් මේ ආකාරයෙන්මය. ලක්ෂ ගාණක් ජනතාවට ඉන්න හිටින්න තැනක් නැතිව සිටියදී රජ පවුල සේ එදා රාජපක්ෂලා වැඩ කළේ මෙලෙසින්ය. ඉතින් ඔවුනට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක විය යුතු නැද්ද? වහාම කි‍්‍රයාත්මක විය යුතුය.

අද මහින්දත් මහින්දගේ ගජමිතුරු කල්ලියත් කලබල වී ඇත. යෝෂිතවත් රණවිරු ගණයට දමා ඇත. පට්ටපල් හොරෙක්ව රණ විරුවෙකු කර, රණ විරුවන්ටත් අපහාස කරයි. කල්ලියේ කලබලය ඇත්තේ යෝෂිතට තිබ්බ අත තමන්ටත් තියන බව දන්න නිසාය. යෝෂිත බලන්න යන්නේ එතනෝල්, කුඩු, ජාවාරම් කාරයන්ය. වීරවංශගේ චෝදනා තවමත් හරියට විභාග වෙන්න පටන් ගත්තේ නැත. එකින් එක විභාග වෙන්න පටන් ගෙන ඇත. ලක්ෂ හාරසීය ගාණක් හම්බ කරපු විදිය පෙන්වා ගන්න බැරිව තවමත් අල්ලස් කොමිෂමෙන් කල් ඉල්ල ඉල්ලා සිටින්නේ කර කියා ගන්න දෙයක් නැති කමින්ය. මහජන දේපළ කොල්ල කාපු මහින්ද කල්ලිය අද වියරු වැටී ඇත. දණිස් පොල්කටු වෙව්ලන්නට වී ඇත. ඒ නිසාම මහින්දව යෝෂිතව අල්ලාගෙන පළිගැනීම්, පළිගැනීම් කියා කෑගසන්නට පටන් ගෙන ඇත. තමන් කරපු හොරකම් ජඩකම් සියල්ල පළිගැනීම් ලේබලයෙන් වසා ගන්නට උත්සාහ දරමින් සිටිති.

ගෝඨාභය මුල් කරගෙන වෙනම දේශපාලන පක්ෂයක් හදන්න උත්සාහ දරන්නේ ද මේ නිසාමය.

එහෙත් ගම් මට්ටමේ පාක්ෂිකයෝ තවමත් මේ ගැන හරිහැටි දන්නේ නැත. එකතුවෙලා ඉන්න ප‍්‍රාදේශීය සභා සභාපතිවරු වැඩි හරියක් ගමේ හොරුන්ය. හොරුන්ගෙත් හොරු කම්බ හොරුය. එහෙම බැලුවම අලුත් පක්ෂය හදන්න යන්නේ මහින්දගෙ කල්ලියේ හොරු ටික එකතු වෙලාය. මහින්ද දැන් ප‍්‍රසිද්ධියේම අලුත් පක්ෂය හදනවා කියා කියන්නට පටන්ගෙන ඇත. මේ හදන්නේ ඒක කියල ආණ්ඩුව බියවද්දන්නටය. කරපු හොරකම් වලින් බේරෙන්න දැන් මේක කියන තරමටම වාසිදායකය. ඇත්තටම දැන් මහින්දට හා කල්ලියට විකල්පයක් නැත. තවදුරටත් මෛතී‍්‍ර එක්ක පමණක් යා නොහැකිය. මෛතී‍්‍රට මහින්ද එකතු කර ගැනීමෙන් වාසියක් ද ඇත්තේ නැත. දැනට මෛතී‍්‍ර එක්ක ඇමතිකම් නියෝජ්‍ය ඇමතිකම් වෙනුවෙන් එකතු වී ඉන්න කණ්ඩායමක් ද මහින්දත් එක්ක එකතු වෙනු ඇත. යෝෂිත බලන්න අරුන්දිකලා, ලන්සලා, වසන්ත පෙරේරලා යෑමෙන්ම එය පැහැදිලිය.

මින් පැහැදිලිවම ශී‍්‍ර.ල.නි.ප.ය කැඩී යනු ඇත. වීරවංශලා, වාසුදේවලා වැනි අනාථයන්ට මෙය වාසියක් වෙනු ඇත. දැනටමත් අලූත් පෙරමුණක් යැයි කියන්නේ ඒ නිසාය. සැබවින්ම මෙය විය යුතුව තිබුණේ පසුගිය මැතිවරණයට පෙරාතුවය. එහෙත් එදා සුසිල් පේ‍්‍රමජයන්තලා තමන්ට මන්තී‍්‍රකමක් නැති වෙයි කියන භය නිසාම එය වළකාලූහ. මෛතී‍්‍ර කර කියා ගන්න දෙයක් නැති තත්වයට පත්වූයේ ඒ නිසාවෙනි. එහෙත් දැන් කරුණු පෙළ ගැසෙන විදියට මහින්ද ඇතුළු හොර කල්ලිය වෙන්වීම නියතය. ශී‍්‍ර.ල.නි.ප.යේ අනාගතය ගැන බලන්නේ නම් එය හොඳ දෙයකි. රාජපක්ෂකරණය වූ බණ්ඩාරනායකගේ සැබෑ ශී‍්‍ර.ල.නි.ප.ය එවිට වෙන්වෙනු ඇත. තාවකාලිකව බෙදීම අවාසි වුවද දිගුකාලීනව එය පක්ෂයට වාසිදායක වනු ඇත.

දැන් භය නැතිව තීන්දු ගත යුතුව ඇත. පක්ෂය කැඩේවි යැයි හොරු රැකීම තවදුරටත් වලංගු නැත. දැන් කැඩී අවසන්ය. දැන් ඇත්තේ හොරු පැහැදිලිවම වෙන් කරලීමය. එවිට ළඟ එන පළාත් පාලන මැතිවරණය කෙසේ වෙතත් දෙදහස් විස්ස වන විට ශී‍්‍ර.නි.ප.ය රාජපක්ෂගෙන් තොර බලයක් සඳහා පෙළ ගැස්ස විය හැකිය. එසේ නොවුන හොත් යන එන මං නැති තත්වයකට තල්ලු වෙනු ඇත. එබැවින් පළිගැනීම් කරනවා යන්නට බිය නොවී නීතිය හරියට කි‍්‍රයාත්මක කළ යුතුය. ඩීල්වලින් මේවා යට ගසන්නට ගියොත් අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම නැතිවී යනු ඇත. භය නැතිව නීතිය කි‍්‍රයාත්මක කිරීම සැබෑ ජනතාවගේ අපේක්ෂාවය. සැබෑ ශී‍්‍ර.ල.නි.ප. පාක්ෂකයන්ගේද අපේක්ෂාවය. එය නිවැරදිව සිදු වන්නේ නම් හොරු සමඟ එකතු වන්නට ජනතාවක් ඉතුරු වන්නේද නැත. ඉන්න හොරු ටිකත් තමන්ගෙ ආරක්ෂාව වෙනුවෙන් අනිවාර්යයෙන්ම පල්ලම් බසින්නේය. එබැවින් රටේ යහපාලනය නීතිය පැත්තෙන් පමණක් නොව දේශපාලන අර්ථයෙන් ගත්තද හොරුන්ට දඬුවම් දීම මෛතී‍්‍රට වාසිසහගතය. මොන මොන අවලාද ප‍්‍රහාර ආවද තැබූ පියවර ඉදිරියට තැබිය යුත්තේ මේ දෙපැත්තම ගැනම සිතා බැලීමෙන්ය.

– උපුටාගැනීම ලංකා ඉරිදා සංග‍්‍රහය

Archive

Latest news

Related news