Sunday, April 28, 2024

ගලගොඩඅත්තේට නියම තැන පෙන්වීම – නුවන් උදය වික‍්‍රමසිංහ

සිංහ සෙයියාවෙන් ගිරිය පුප්පාගෙන බෙරිහන් දීමත්, රාජ්‍ය බලය ඇති සමයක බාහු බලයෙන් ජාතික වීරයකු ලෙස සෙල්ලම් පෙන්නීමත් සැබෑ ලෙසම අප පවසන්නට පුරුදුව ඉන්නා පරිදි ‘සිංහයකු සේ හැසිරීමත්’ අතර ඇත්තේ ආලෝක වර්ෂ ගණනාවක දුරක් බව අවසානයේ ගලගොඩඅත්තේ ඥානසාර උන්නාන්සේ පෙන්වාදී ඇත්තේ අත්තෙන් අත්තට පනින කුරුල්ලා චොහොර කුරුල්ලකු බවට පත් වේය යන අපේ ගැමිවහර යළි සිහිපත් කරමිනි. මාත් එක්ක හිරේ යන්න තව දොළහක් මෙතන ඇතේ යනුවෙන් උසාවිය දෙවනත් කළ උන්නාන්සේ සිපිරිගෙදරට නොව රිමාන්ඞ් බන්ධනාගාරයට යැවූ සැණින් වැඩඉන්නේ බන්ධනාගාර රෝහලේ සයනාසනාරූඪවය. අහෝ සිංහ ලෙයක තරම. ගලගොඩඅත්තේ උන්නාන්සේගේ් මැර නාටකය හමුවේ පාර්ලිමේන්තුව තුළ අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් කරන ලද ප‍්‍රකාශය මෑත කාලයේ මෙවන් අත්තනෝමතික පුද්ගලයන්ට එරෙහිව අප රටේ රාජ්‍ය නායකයකු විසින් කරන ලද පැහැදිලි සහ නිර්භීතම ප‍්‍රකාශය බව ඔහුට ගෞරව පිණිස මෙහි සටහන් කළ යුතුය. (අප ඒ සමගම ඔහුගෙන් අපේක්ෂා කරනුයේ තැබූ අඩිය යළි පසුපසට නොගන්නා භාවිතාවක් බවද ඒ සමග ලියා තැබිය යුතුය.)

මෙවන් උන්නාන්සේ කෙනකු සමග අත්වැල් බැඳ සිංහල ජාතියේ අනාගතය ගොඩනගන්නට කැසකැවූ ජාතිවාදී නඩ දැන් සියල්ලටම පළමුව කළයුත්තේ තම න්‍යායාචාර්ය උන්නාන්සේ හේතුවෙන් හැලී ඇති තමන්ගේ ඇඳිවත් සොයා ගැනීමයි.

අවසානයේ ගලගොඩඅත්තේ උන්නාන්සේගේ මගඩි නාටකයට නියම තැන පෙන්වාදීම විසින් නීතියේ සහ අධිකරණයේ ගෞරවය යළි ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අප සියල්ලන්ගේම ගෞරවය සහ ප‍්‍රණාමය හෝමාගම මහේස්ත‍්‍රාත්වරයාට පුද කළ යුතුය.

සිවුරක් ඇඟ ලාගත් සැණින් තමන්ට කවර අත්තනෝමතික ක‍්‍රියාවක් වුව කළ හැකි යයි සිතා සිටි අබසරණ න්‍යායේ කර්තෘ ධුරන්දර ගලගොඩඅත්තේ උන්නාන්සේට පමණක් නොව කවර ජගතකුට වුව නීතියේ ආධිපත්‍යය කියා දෙයක් ඇති බව පෙන්වාදීම මේ සිද්ධියෙන් රට ලද හොඳම පාඩමයි. අලූත්ගම ගිනිජාලාවක් කරමින් එවක පැවති ඊනියා රාජාණ්ඩුවේ පිහිටෙන් මුසල්මානු ජනයා අනාථයන් බවට පත් කර සිංහල වීරයකු වෙමින් උන්නාන්සේ එදා මුළු රටම ඇද දැමූ විලිලැජ්ජා නැති තත්ත්වය දැක චිත්ත සන්තාපයට පත්, එසේම සිංහලයාට ශ්‍රේෂ්ඨත්වයට පත්විය හැක්කේ උතුම් මානව දයාවේ මාර්ගයෙන් මිස මැරකමෙන් නොවේ යයි විශ්වාස කළ සිංහලයන් ඇතුළු බොහෝ ජනතාවටත් අවසන යුක්තිය පිළිබඳ සේයාවක් දැක ගැනීමට දැන් ඉඩ ලැබී තිබේ. බුදුන්වහන්සේ යනු අනෙකාගේ ගෞරවය කෙලෙසීමට කිසිදා උත්සාහ නොකළ ශාස්තෘවරයකු බව අපට යළි යළි පෙන්වා දී ඇත්තේ බෞද්ධ සාහිත්‍යය විසින්මය. මෛත‍්‍රිය ස්වකීය මූලික පදනම ලෙස ගත් උන්වහන්සේගේ ඉගැන්වීම් බෞද්ධයාට සමීප කරනුයේ කුඩා අවධියේ පටන්මය. එසේම බෞද්ධයා යනු සිංහලයකු ම පමණක් නොවන බවත් සිංහල නොවනා බෞද්ධයන්ද සිටිය හැකි බවත් අබෞද්ධයන්ටද ජීවත් වීමේ අයිතිය ඇති බවත් බුදුන්වහන්සේ සිය දිවියෙන් සහ තම ඉගැන්වීම් තුළින් පෙන්වා දී ඇති බවත් නිවී සැනසිල්ලේ මෙනෙහි කිරීමට සිපිරිගෙදර රෝහලේ සයනයට ගලගොඩඅත්තේ උන්නාන්සේට අවශ්‍ය පොත්පත් යනාදිය සපයා දීමෙන් මහඟු මෙහෙවරක් කිරීමට දැන් උන්නාන්සේ වෙනුවෙන් වාහනවලට අඩ තැබීමට ගිය අනෙක් උන්නාන්සේලා ඇතුළු වීර පිරිස කටයුතු කරන්නේ නම් මැනවි.

තම සැමියාගේ වියොවින් සසලව විවිධ අතවර මැද්දේ තම දරු දෙදෙනා රැක ගනිමින් එම දරුවන් පමණක් නොව අසාධාරණයට ලක් වූ සියලූ පාර්ශ්වවලට ශක්තියක් මෙන්ම ආදර්ශයක්ද වෙමින් අරගලයක නිරතව ඉන්නා සන්ධ්‍යා එක්නැලිගොඩ සහෝදරියට ගලගොඩඅත්තේ උන්නාන්සේ එදා අධිකරණය තුළ කතා කළ ආකාරය සමස්ත යුක්තිගරුක ශ‍්‍රී ලාංකිකයන්ගේම හෙළා දැකීමට ලක්විය යුතුය. මේ උන්නාන්සේ එදා අධිකරණය තුළ බරපතළම අපහාසය කළේ අන් කවරකුටවත් නොව සැමියා සහ තම දරුවන් අහිමි සොවින් අරමේ පිහිට සොයා උමතුවෙන් දිව ගිය පටාචාරාවට පිහිට වූ බුදුන් වහන්සේටම බව බෞද්ධයන් එළඹ සිටි සිහියෙන් වටහා ගත යුතුය. මැරකම යනු වීරත්වයට මුළුමනින්ම වෙනස් දෙයක් බව වටහා ගැනීමට මේ සිංහල යයි කියනා ඊනියා වීරයන්ට අවශ්‍ය නම් ඔවුන් වහා ගාන්ධි, නෙල්සන් මැන්ඩෙලා සහ මාටින් ලූතර් කිං ඇතුළු බොහෝ පුද්ගල ආදර්ශයන් ගැන කියවීම මැනවි. හෝමාගම අධිකරණය මේ වීරයන්ට ලබා දී ඇත්තේ ශිෂ්ට සම්පන්න මිනිසුන් බවට පත්වීම සඳහා අවශ්‍ය මාත‍්‍රාවකි.

ගලගොඩඅත්තේ උන්නාන්සේ රිමාන්ඞ් බන්ධනාගාරගත කිරීම උන්නාන්්සේගේ හැසිරීම දෙස මහත් පිළිකුලින් යුතුව බලා ගෙන සිටි පිරිස් පවා යම් චකිතයට පත්කළ සිදුවීමක් බවට පත්ව තිබුණි. ඒ යළිත් වරක් ජාතිවාදය ඇවිස්සීමේ නිරතව සිටි රාජපක්ෂ සෙවණැලි සහ අනෙක් ජාතිවාදී උන්මත්තකයන් මෙය ඉවහල් කරගෙන රටම ගිනි ජාලාවක් කරන්නට බැරි නැතැයි යන සැකයක් ඔවුන් තුළ තිබුණ හෙයිනි. එහෙත් එම සිද්ධිය එක් දෙයක් තහවුරු කර තිබේ. යුක්තිගරුක මිනිසුන් රටේ බොහෝ සේ ඉන්නා බවත් ගලගොඩඅත්තේ උන්නාන්සේගේ හැසිරීම බුද්ධ පුත‍්‍රයකුට තරම් නොවන බවත් බොහෝ දෙනා පිළිගන්නා බව තහවුරුව යාමයි. සමස්තයක් වශයෙන් ගත් කල වේගයෙන් නොවුණද යම් ආකාරයක ප‍්‍රගතිකාරක වෙනසක් සමාජය තුළ ඇතිවෙමින් තිබේ. විශේෂයෙන්ම තරුණ පරපුර තුළ මෙවන් අවප‍්‍රවණතා සම්බන්ධයෙන් එතරම් ඉහළ පිළිගැනීමක් නොමැති බව පෙනෙන්නට තිබීම සතුට දනවන්නකි. ජාතිවාදීන් තම පහසු ඉලක්ක බවට පත්කර ගැනීමට නිතරම මාන බලනා තරුණ පරපුර ලොව සිදුවන වෙනස්කම් ඉක්මනින් දැනගැනීමට සමත් තාක්ෂණ වටාපිටාවක් සහිතව ඉන්නා පසුබිමක ඔවුනට ආදානග‍්‍රාහිත්වයේ පුහු බව වටහා ගැනීමට ඇති අවකාශය විසල්ව තිබේ.

මේ මොහොතේ සමාජයට භික්ෂූන්වහන්සේලා වෙතින් ද ඉටුවිය යුතු මහඟු මෙහෙවරක් තිබේ. ඒ මෙතෙක් කල් තමන්ගේම සාමාජිකයන් පිරිසක් අතින් සිදුවෙමින් පැවති සසුනට නොගැළපෙන චර්යාවන්ට එරෙහිව සිය හඬ අවදි කිරීමයි. ථෙරවාදී කතිකාවත පිළිබඳ ප‍්‍රශ්නයේදී අපි එසේ භික්ෂූන්වහන්සේලා මුනිවත බිඳිනු දුටිමු. ඒ අයුරින්ම ජාතිවාදය මෙන්ම බුදු සසුනට නිගා දෙන අනෙක් අන්තවාදයන්ටද එරෙහිව භික්ෂූන්වහන්සේලා වෙතින්ම හඬ අවදිවීම දැන් ඉතා අවශ්‍යව තිබේ. පසුගිය කාලය පුරා එලෙස නිර්භයව ඉදිරියට එමින් අදහස් දැක්වූ භික්ෂූන්වහන්සේලාට යුක්තිගරුක ජනතාවගෙන් එල්ලවූ ප‍්‍රසාදය ඉතා විශාලය. වල්පොළ රාහුල හිමියනට පසුව මෙලෙස තම වගකීම වටහා ගනිමින් බුදු දහමේ විකෘති කිරීම්වලට තම ඉගැන්වීම් හරහාම පිළිිතුරු දීමට සහ බෞද්ධයා ඇදහිල්ලෙන් මුදා තාර්කික පුරවැසියකු කිරීමට ගල්කන්දේ ධම්මානන්ද හිමියන් සහ දීයකඩුවේ සෝමානන්ද හිමියන් වැනි පැවිදි පඬිරුවන් ඉදිරිපත්වීම අප අගේ කළ යුතුය. එලෙසින්ම සරසවි පද්ධතිය තුළ ප‍්‍රබල හඬක් ඇති දඹර අමිල හිමියන් සහ අගලකඩ සිරිසුමන වැනි හිමිවරුන්ද මෙහිලා ප‍්‍රමුඛ කාර්යභාරයකට උර දිය යුතුය.

මේ අවස්ථාවේ ප‍්‍රගතිශීලී ගිහි පැවිදි සියලූදෙනාටම පැවරෙන එක් වගකීමක් වනුයේ ජනවාරි අට අප ඇරඹූ ගමන යළි ආපස්සට හැරවීමට තැත් දරනා සෑම පාර්ශ්වයක්ම තීරණාත්මක ලෙසම මතවාදී තලයේ පරාජයට පත් කිරීමයි. මේ මොහොතේ එය ජාතික වගකීමක් බව අප වටහා ගත යුතුය. සිවුරට හෝ බුදුන්ගේ නාමයට වසංවී දේවදත්ත නිකායට මෙහෙ කරනා අසමජ්ජාති චෞරයන්ට එරෙහිවීම යනු වරදක් නොව සමාජ යුතුකමක් බව අප සමාජයට වටහා දිය යුතුම මොහොත මෙයයි.
– Ravaya

Archive

Latest news

Related news