Sunday, April 28, 2024

හිටපු අමාත්‍යවරු තවමත් නිල නිවාස බාර දී නෑ – දුෂණ විරෝධී පෙරමුණ

කැබිනට් අමාත්‍ය ධූර දරන සමය තුල තමන් වෙත ලබාදුන් නිල නිවාස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවක් විසින්ම තවමත් රජය වෙත බාර දී නොමැත. කැබිනට් අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීමෙන් මාස 13 කට වැඩි කාලයකට පසුව ද මේ පිරිස තවමත් රජයේ නිල නිවාස වල රැදී සිටිති. පසුගිය රජය සමයේ ද, ඉන් පසුව දින 100 වැඩ සටහන ක්‍රියාත්මක වූ කාලසීමාව තුල ද 19 වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනය සදහා සහාය ලබා ගැනීම සදහා ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවකට රජයේ වාහන ලබාදුන් අතර ඒවායින් කොටසක් ද මේ දක්වාම නිසි පරිදි රජයට බාර දී නොමැත. මෙය රජයේ මුල්‍ය හා පරිපාලන රෙගුලාසි උල්ලංඝණය කිරීමකි.

මැතිවරණ සමයේ පමණක් නොව ඉන් පරිබාහිර කාල සීමාව තුල ද විශාල වශයෙන් මහජන දේපල අයථා පරිහරණයට මහජන නියෝජිතයින් පෙළඹී සිටී. ඒ සදහා රාජ්‍ය බලයේ සිටින දේශපාලනඥයින්ගේ ද, රාජ්‍ය නිලධාරීන් ගේ ද සහාය සහ අනුග්‍ර‍හය බොහෝ අවස්ථාවන් හි දී හිමිව තිබේ. රජයේ අමත්‍ය ධූර අහිමිවීමෙන් වසරකට වැඩි කාලයක් ද, පාර්ලිමේන්තු මැතිවරණයකින් මාස 4 කට වැඩි කාලයකට පසුව ද තවමත් රජයේ නිල නිවාසවල බලහත්කාරයෙන් රැදී සිටින, මන්ත්‍රීවරුන් ගණානවකි. රාජ්‍ය නිලධාරීන් වෙත චක්‍රලේඛන මගින් හිමිවන නිල නිවාස/වාහන හිමිකමින් පරිබාහිරව කටයුතු කිරීම පැහැදිලි ලෙසම ‘මහජන දේපල අයථා පරිහරණයක් වන අතර එයට නීති මගින් කටයුතු කළ හැකි ය.
විධිවත් ප්‍ර‍තිපාදනයන්ගෙන් පරිබාහිරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් භාවිත කරන රජයේ වාහන අත්අඩංගුවට ගන්නා බවට අවස්ථා ගණනාවක දී ප්‍ර‍කාශයට පත් වී ඇති නමුත් එම වාහන භාවිතය තවමත් සිදු වෙමින් තිබේ. අදාළ වාහන අංක ලේඛණයක් මෙයට මාස කිහිපයකට පෙර සකස් කරනු ලැබූ නමුත් මේ දක්වාම එම වාහන අත් අඩංගුවට ගැනීමක් සිදුවී නොමැත.

රජයේ නිල නිවාස සහ වාහන හිමිකම් නොමැති මහජන නියෝජිතයින් වෙත නිකුත් කර ඇති රජයේ දේපල විධිමත් පරිදි අත්පත් කර ගැනීමට කටයුතු කරන ලෙස ‘දුෂණ විරෝධී පෙරමුණ‘ වගකිවයුතු අංශ වෙතින් ඉල්ලා සිටී.
පූජ්‍ය උලපනේ සුමංගල හිමි                                                                                කීර්ති තෙන්නකෝන්
සභාපති/දුෂණ විරෝධී පෙරමුණ                                                                      උපදේශක/දුෂණ විරෝධී පෙරමුණ
071 4441366                                                                                                  0777791225

Archive

Latest news

Related news