Saturday, April 27, 2024

‘යෝෂිත පොඩි දරුවා‘ ගැන ඇමැති සාගල රත්නායක තතු පහදයි

අමාත්‍ය සාගල රත්නායක විසිනි.

මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ විසින් නිරපරාදයේ අත් අඩංඟුවට ගත් පොඩි දරුවකු ලෙස හදුන්වන ලද යෝෂිත රජපක්ෂට එරෙහිව ඇති    චෝදනා පැහැදිළි කරන ඇමැති සාගල රත්නායක එකී පරීක්‍ෂණයකට ජනාධිපතිතුමාගේ, අග්‍රාමාත්‍යතුමාගේ, කැබිනට් ඇමැතිවරුන්ගේ, ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ හෝ නිලධාරීන්ගේ කිසිඳු බලපෑමක් හෝ ඇගිලි ගැසීමක් සිදු නොවන බව ද අවධාරණය කරයි.

ඇමැතිවරයාගේ සම්පූර්ණ නිවේදනය පහත පළවේ.

“කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් (CSN) මාධ්‍ය ආයතනය මගින් මුදල් විශුද්ධිකරණය කිරීම, රාජ්‍ය දේපල අවභාවිතය යන චෝදනා පදනම් කර ගනිමින් සාධාරණ සමාජයක් සදහා වූ පුරවැසියෝ නම් සංවිධානය විසින් පොලිස්පතිතුමා වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් 2015.03.15 දින විමර්ශන ආරම්භ කරන ලදී. මුදල් විශුද්ධිකරණය යනු සංවිධානාත්මකව සිදු කරන බරපතල ඝනයේ අපරාධයකි. ඒ අනුව මේ සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක බී9823 / 2015 යටතේ කරුණු වාර්තා කරන ලදී.

ඊට අදාළව මේ දක්වා ගරු අධිකරණය වෙත වැඩිදුර වාර්තා 20ක් ඉදිරිපත් කර ඇති අතර එමගින් විමර්ශනයේ ප්‍රගතිය ගරු අධිකරණයට වාර්තා කර විමර්ශන සදහා අවශ්‍ය නියෝග ලබා ගෙන ඇත. මෙම විමර්ශනය සිදුකරන ලද්දේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ පොලිස් නිලධාරින් සාමාන්‍ය අපරාධ නීතිය අනුව ඕනෑම පොලිස් නිලධාරියෙකු වෙත පැවරෙන විමර්ශන බලතල උපයෝගි කර ගනිමිනි.

මූලික වශයෙන් විමර්ශන නිලධාරීන්ගේ විමර්ශනයට ලක්වූයේ කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් (CSN) නාලිකාව සදහා සංස්ථාපනය කරන ලද සමාගමේ ආරම්භක ප්‍රාග්ධනය වූ රුපියල් මිලියන 234 ක් ලබා ගෙන තිබූ ආකාරය වේ. සමාගමේ මූලික කොටස් සංඛ්‍යාව හත් ලක්‍ෂ හතරක් (7,00,004) වූ අතර එහි වටිනාකම රුපියල් මිලියන 07ක් බව අනාවරණය විය. ඉතිරි ප්‍රාග්ධනය ලැබුණු ආකාරය ගැන විමර්ශන කිරීමේ දී, ඒවා ව්‍යාජ ගණුදෙනු සහ විදේශ රාජ්‍යයක සිට නීත්‍යානූකුල නොවන ක්‍රියා මගින් උපයා ගන්නා ලද මුදල් බවට අනාවරණය වී ඇත. විදේශීය රාජ්‍යයක සමාගමක් හරහා ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 2.3 ක ගණුදෙනුවක් තුළින් කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් (CSN) සමාගමේ ප්‍රාග්ධනයට අවශ්‍ය අනෙකුත් මුදල් ලැබී ඇති බව විමර්ශණයේ දී හෙළි වී ඇත. මෙම ගණුදෙනුවට පාදක වී ඇත්තේ ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන විදේශ සමාගමක ආයෝජනයක් මත සිදු කරන ව්‍යාපෘතියකි. වැඩිදුරටත් අනාවරණය වූයේ එම මුදල් (CSN) ආයතනයට ලැබුනේ යයි කියන ක්‍රමවලට අදාළ ගණුදෙනු පෙන්වා දී සිටින ආකාරයෙන්, සත්‍යය වශයෙන් සිදුවී නොමැති බවය. එබැවින් ආරම්භක ප්‍රාග්ධනය ලෙස යෙදවු මුදල්, විශුද්ධිකරණය තුළින් ලබා ගත් මුදල් බවට නිගමනය කිරීමට නෛතික හා සිද්ධිමේ පදනමක් උද්ගත වී ඇත.

මෙම සමාගමේ ලේඛණවලට අනුව මෙහි කොටස්කරුවන් සියළු දෙනාම ආරම්භක අධ්‍යක්‍ෂවරුන් වන අතර ඔවුන් රොහාන් වැලිවිට, කවිෂාන් දිසානායක, රවිනාත් ප්‍රනාන්දු, ශාඩියා කරුණාජීව යන අය වේ.

මෙම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර ඇත්තේ නිශාන්ත රණතුංගය. සමාගමේ ගණුදෙනුවලට අදාල විද්‍යුත් තැපැල් පණිවුඩ අධ්‍යයනය කිරීමේ දී ඉතා පැහැදිලි ලෙස අනාවරණය වී ඇත්තේ නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්‍ෂ යන අය එම සමාගෙම් සභාපතිවරයා ලෙස සහ තීරණ ගන්නා ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති බවය.

මුදල් විශුද්ධිකරණය කිරීමේ වරද සිදුකර ඇති බවට මෙම තැනැත්තන්ගෙන් ප්‍රශ්ණ කිරීමේ දී ඔවුන් මෙම වරද සම්බන්ධව ප්‍රකාශ කරන ලද කරුණු තුළින් ඔවුන්ගේ නිර්දෝශිභාවය අනාවරණය වී නොමැත.

ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32 වගන්තිය ප්‍රකාරව කටයුතු කරමින්, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 109 (05) උප වගන්තිය යටතේ පොලිස් නිලධාරියෙකු සතු නෛතික බලය ඉෂ්ඨ කරනු වස් කඩුවෙල ගරු මහේස්ත්‍රාත්තුමා විසින් මෙම සැකකරුවන් 2016.02.11 දක්වා බන්ධනාගාර ගත කරන ලදී.

ඉහත වරදට අමතරව මෙම සැකකරුවන් කූඨ ලේඛන පිළියෙල කිරීම, සාපරාධී විශ්වාසය කඩකිරීම, සාපරාධී සාවද්‍ය පරිහරණය, රේගු පනතට ගැනෙන වැරදි සිදු කිරීම, සමාගම් පනත උල්ලංඝනය කිරීම ද සිදු කර ඇති බව අනාවරණය වී ඇත. රාජ්‍යය දේපළ අවභාවිතය සිදු කිරීමෙන් අපරාධ වරදවල් සිදුකර ඇති බවට ද අනාවරණය වෙමින් පවතී. මෙම කරුණු ඔස්සේ වැඩිදුරටත් විමර්ශන කටයුතු පවත්වාගෙන යනු ලැබේ.

මෙම සැකකරුවන් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තොරව යම් යම් විමර්ශණ කටයුතු සාර්ථකව හා නිවැරදි ලෙස සිදු කිරීමට නොහැකි විය. එබැවින් එම පදනම මත සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලීමට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට සිදුවිය. සියළුම විමර්ශන කටයුතුවලින් පසුව මහාධිකරණයේ නඩු පැවරීම සදහා උධෘත ගොණු ගරු නීතිපතිතුමා වෙත භාරදීමට නියමිතව ඇත.

මෙම කරුණු පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්තාව අනුව ලබාගත් බව සඳහන් කරමි. මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළ පරිදි නීතියේ ආධිපත්‍යය තහවුරු වන ආකාරයෙන් මේ සියලූ පරීක්‍ෂණ ක්‍රියාත්මක වේ. මේ කිසිඳු පරීක්‍ෂණයකට ජනාධිපතිතුමාගේ, අග්‍රාමාත්‍යතුමාගේ, කැබිනට් ඇමැතිවරුන්ගේ, ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ හෝ නිලධාරීන්ගේ කිසිඳු බලපෑමක් හෝ ඇගිලි ගැසීමක් සිදු නොවන බව ද අවධාරණය කරමි.

Archive

Latest news

Related news