Sunday, April 28, 2024

යෝෂිත: පුරවැසි සහ වෘත්තීය සමිති ප්‍රතිචාරය

වෘත්තිය සමිති හා රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් කිහිප දෙනෙකුගේ බලපෑම මත ආණ්ඩුව තම පුත්‍රයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව වෘත්තිය සමිති නායක සමන් රත්නප්‍රිය පවසයි.

අද උදෑසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහනුවර දී මාධ්‍යට අදහස් දක්වමින් චෝදනා කර තිබුණේ වෘත්තිය සමිති හා රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් කිහිප දෙනෙකුගේ බලපෑම මත තම පුත්‍රයා අත්අඩංගුවට ගැනීම සිදුවූ බවටයි.

පසුගිය කාලයේ රාජපක්ෂ පවුල හා එයට සම්බන්ධ පිරිස් විසින් කර ඇති දූෂණ සම්බන්ධයෙන් විමර්ශන සිදු කර දඬුවම් දෙන ලෙස ආණ්ඩුවට තමන් ඇතුළු කණ්ඩායමක් බලපෑම් කලත් කුමන අවස්ථාවකවත් මේ මේ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස ආණ්ඩුවට බලපෑම් නොකළ බව සිවිල් සමාජ නායකයකු වන සමන් රත්නප්‍රිය හිටපු ජනාධිපතිවරයාට පිළිතුරු දෙමින් බිබිසියට ප්‍රකාශ කළේය.

CSN ආයතනය

“යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගන්න කියල හෝ CSN ආයතනය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න කියන්න විශේෂ බලපෑමක් සිදුකලේ නැහැ, සමස්තයක් ලෙස රාජපක්ෂ පාලන කාලයේ සිදුවූ වැරදි වලට ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආණ්ඩුවට බලපෑම් කළා, නමුත් අපි කොයිම අවස්ථාවකවත් මේ මේ පුද්ගලයන් අත්අඩංගුවට ගන්න කියල බලපෑම් කළේ නැහැ” ඔහු පැවසීය.

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ කිසිදු වරදක් නොමැති බව ප්‍රකාශ කළ සමන් රත්නප්‍රිය CSN නාලිකාව යොදා ගෙන කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපාරයක් සිදුවූ ඇති බවට පෙනෙන බවයි සඳහන් කළේ.

කළු සල්ලි

“මේකට ප්‍රාග්ධනය ආවේ කොහෙන්ද කියල ඔවුන්ට පෙන්න ගන්න බැහැ, පැහැදිලිව පෙනෙනවා කළු සල්ලි සුදු කිරීම සදහා මෙය යොදා ගත් බව, විවිධ ව්‍යාපෘති සදහා ලැබුණු කොමිස් මුදල් මෙලෙස රට තුලට ගේන්න ඇති, ඒක බරපතළ වරදක්” ඔහු ප්‍රකාශ කළේය.

මහාචාර්ය සරත් විජේසූරිය අදහස් දක්වමින්, යෝෂිත රාජපක්ෂ අවස්ථා ගනනාවකම නාවික හමුදාවේ නීතියට පටහැණිව කටයුතු කර ඇති බවද පෙන්වා දුන්ණේය.

“ඔහු අවස්ථා 74ක විදේශ ගත වෙලා තිබෙනවා. නමුත් නාවික හමුදාවෙන් අවසර අරන් තියෙන්නේ 33 වතාවයි, එයින්ම පේනවා ඔවුන් නීතිය ගැන තැකූ හැටි” මහාචාර්ය සරත් විජේසූරිය පැවසීය.

Archive

Latest news

Related news