Sunday, April 28, 2024

 පිරිමියකුට විවාහ දෙකක්: ආණ්ඩුවේ දිනමිණ ඕපාදුප විකුණයි – සුනන්ද දේශප්‍රිය

ශ්‍රී ලංකාවේ භාවිත එක භාෂාවකින් හෝ නිවැරදිව ලිපියක් ලියා ගැනීමට නොහැකි කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයකු ඉන්නා ලේක්හවුසියේ දිනපතා පුවත්පත වන දිනමින සිය අලෙවිය ඉහළ දමා ගැනීම පිනිස දැන ඕපාදූප විකිනීමට පටන් ගෙන තිබේ.

මෙම ඕපාදූප බොහෝ විට ලිංගික රසයක් ඇති කරන ඒවා ය.

බොලිවුඩ් ඕපාදුප වල අතරව එය අද දිනමිණ වාර්තා කරන්නේ ඉරිත්‍රියාවෙහි සෑම පුරුෂයකුම ස්ත්‍රීන් දෙදෙනෙකු විවාහ කර නොගන්නේ නම් ජිවිතාන්තය දක්වා සිර ගත කරන බවට අන්තර් ජාල බොරුකාරයින් විසින් පතුරුවා යැවූ කතාවයි,

දිනමිණ පුවත මෙසේ කියයි:

අද  දිනමිණ වෙබ් අඩවියේ මෙම ලිපිය ඇතුලත් ය.

‘‘කාන්තාවන් දෙදෙනකු විවාහ කර නොගන්නා රටවැසියන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමි කෙරෙන නීතියක් අප්‍රිකානු රාජ්‍යයක් වන එරිත්‍රියාව විසින් පනවා ඇත. මේ නව නීතියේ සම්පූර්ණ පිටපතක් සමාජ වෙබ් අඩවි මගින් පසුගිය 21 වැනි බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කර ඇත.

අරාබි බසින් ප්‍රකාශයට පත් කර ඇති මේ ආඥා පනත අනුව දෙවන විවාහයක් කරගැනීමෙන් තම සැමියා වළක්වන බිරින්දන්ට ද ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවනු ඇත. මේ නව නීතිය මෙලෙස ප්‍රකාශ වී ඇත්තේ එම රට හා ඉතියෝපියාව අතර පැවැත්වෙන සිවිල් යුද්ධයේ ප්‍රහාර නිසා සොල්දාදුවන් විශාල පිරිසක් මිය යාම නිසා එරිත්‍රියා පිරිමින්ගේ හිඟයක් පවතින අවස්ථාවේදීය.

ප්‍රකාශයට පත් වී ඇති එම නීතිය මේ වගන්තිවලින් සමන්විත වේ. “බහු විවාහ පිළිබඳ දෙවියන් වහන්සේගේ නීතිය පදනම් කරගෙන රටේ මිනිසුන්ගේ හිඟයක් ඇතිවී තිබෙන වාතාවරණය සලකා බලමින් එරිත්‍රියානු ආගමික කටයුතු දෙපාර්තමේන්තු‍ව විසින් පහත සඳහන් තීරණ ගෙන ඇත. පළමුව සෑම මිනිසෙකු විසින්ම අවම වශයෙන් කාන්තාවන් දෙදෙනෙකු විවාහ කරගත යුතු අතර එලෙස කිරීම ප්‍රතික්ෂේප කරන්නෙකුට බරපතළ වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වනු ඇත. වෙනත් කාන්තාවක් විවාහ කරගැනීමෙන් තම සැමියා වළක්වන සෑම බිරියකටම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් හිමි වේ. මේ ව්‍යවස්ථාව එරටේ උසස්තම ආගමික හා ව්‍යවස්ථාපිත නීතිය වන මහාමුට්ටි නීති සංග්‍රහයේ කොටසක් බවට ද පත්කර ඇත.’’

ඇත්ත ලෙස බොරුවක් ලිවීමේ කලාව දිනමිණ අපූරුවට ප්‍රගුණ කර තිබේ. එක් බොරුවක් වැසිමට තව බොරු ලිපි ගණනාවක් එය උපුටා දක්වයි.

මෙය හරියටම පසුගිය ජනාධිපතිවරණ සමයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් ව්‍යාජ ලෙස භාවිත කරමින් තිස්ස අත්තනායක විසින් ඉදිරිපත් කරන ලද ලියවිල්ල ඇත්තක් යැයි පිලිගැනිමක් වැන්න.

මෙම පුවත අමූලික බොරුවක් බව ඉරිත්‍රියානු ආණ්ඩුවේ තොරතුරු අමාත්‍යාංශය විසින් කරන ලද ප්‍රකාශය බීබීසී ලෝක සේවය විසින් මේ වන විට දෙවරක්ම පුවත් වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. The polygamy hoax that spread from Iraq to Eritrea නමින් දින දෙකකට පෙර එම වාර්තාව මෙතැනින් කියවිය හැකි ය. http://www.bbc.com/news/blogs-trending-35430909

Eritrea ‘appalled’ by hoax forced polygamy story නම් අනෙක් වාර්තාව මෙහි කියැවිය හැකි ය. uda_1paba_2menik_3sunanda_4

අන්තර් ජාලයෙහි විශ්වසනීය වෙබ් පුවත් අඩවි කරා ගොස් මෙම පුවතෙහි හරි වැරුද්ද බැලිමටවත් දිනමිණ උනන්දු වි නැත.

මෙම ව්‍යාජ වාර්තාව සිංහල මුහුණු පොත්කරුවන් විසින් ප්‍රචාරය කරමින් තිබෙන්නේ දැනට සතියක පමණ කාලයක සිට ය. දැන් පෙනෙන විදිහට දිනමිණ ද මුහුණු පොතේ ඕපාදූප යළි පළ කරන කඩමාල්ලකි.

මෙවැනි ආයතනයක පුවත්පත්හි අගමැති වික්‍රමසිංහගේ මුහුණට කලු කොඩියක් දැමිම අරුමයක් ද?

අහෝ යහපාලන මාධ්‍ය පාලනය!

Archive

Latest news

Related news