Sunday, April 28, 2024

ඥණසාර හැසිරීම: බෞද්ධයෝ හැටියට අපිට ලැජ්ජයි -රනිල්

( අධිකරණයට අභියෝග කරන භික්ෂුවක්)

සියලු දෙනා නීතියට යටත්ව කටයුතු කළ යුතු බවත් නැවතත් ‘සෝමාරාමලා බුද්ධරක්ඛිතලා’ බිහි කිරීමට මෙම ආණ්ඩුව ඉඩ නොතබන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඔහු එම ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී කළේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය දුන් තීන්දුව පිළිබඳව අදහස් දක්වමිනි.

‘නීතිය නීතියමයි. අපි හැම එක්කෙනාම නීතියට යටත් වෙන්න ඕන. බෞද්ධයෝ හැටියට අපිට ලැජ්ජයි මේවා දකිනකොට. අපේ මහ නායක ස්වාමීන් වහන්සේලා කියන්නේ නීතියට යටත්ව වැඩ කරන්න කියල. මොකද, අපිට විනය පිටකයක් තියෙනවා. අපි ඒ අනුව වැඩ කරන්න ඕන. මේ ආණ්ඩුව කිසිවිටෙක සෝමාරාමලා බුද්ධරක්ඛිතලා ඇති කරන්න ඉඩ දෙන්නේ නෑ.’ අගමැතිවරයා ප්‍රකාශ කළේය.

‘සිවුරු පොරවගත්ත මිනිස්සු’

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් දෙසතියකට රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ අධිකරණයට අපහාස වන අයුරින් හැසිරීමේ චෝදනා මතයි.

මේ අවස්ථාවේ දී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට රැස් වූ භික්ෂූන් වහන්සේලා පිරිසක් ඊට විරෝධය පළ කළහ.

මෙම සිදු වීම සම්බන්ධයෙන් සම්පුර්ණ වාර්තාවක් මල්වතු මහ නායක ස්වාමීන් වහන්සේට සහ කෝට්ටේ මහ නායක ස්වාමීන් වහන්සේට යවන මෙන් තමා පොලිසියට දැනුම් දුන් බවයි අගමැතිවරයා තව දුරටත් කියා සිටියේ.

‘උසාවියට ගරු කරන්න ඕන. ඊට පස්සේ සමහර කණ්ඩායමක් ගිහින් උද්ඝෝෂණය කරලා උසාවිය ඇතුළට යන්න හැදුවා. එතන හිටියා සිවුරු පොරව ගත්ත මිනිස්සු, ගිහියොද පැවිදි අයද මම දන්නේ නැහැ. ගිහින් එතන කෑගැහුව. පොලිසියේ යුතුකම තිබුණේ මහේස්ත්‍රාත් කියන ඕනෑම කටයුත්තක් කිරීම.’ අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී පැවසීය.

– BBC Sinhala

Archive

Latest news

Related news