Sunday, April 28, 2024

මාධ්‍යවේදී ප‍්‍රගීත්ගේ නඩු විභාගය නිදහසේ කර ගෙන යෑමටනම් ඥාණසාර හිමිගේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට දඬුවම් ලබා දිය යුතුය. – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධ නඩු විභාගයෙන් අනතුරුව, භික්‍ෂූන් රුසක් සමඟ උසාවියට පැමිණ සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමි පැමිණිල්ලේ නීතිඥවරුන්ට අපහාස කරමින් කෑ ගසා, සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය වෙත කඩා පැන ඉතා අශ්ලීල ලෙස ඇයට අපහාස කරමින් තර්ජනය කිරීම සම්බන්ධයෙන් තම පිළිකුල පළ කර සිටින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ඔහුව අත්අඩංගුවට ගෙන, පරීක්‍ෂණ කොට දඬුවම් පමුණුවන ලෙස අවධාරණය කර සිටී. ජනවාරි 25 වැනි දින හෝමාගම උසාවියේ පැවැති නඩු විභාගය අවසන් වූ විගස උසාවිය තුළ දීම උසාවියට අපහාස කරමින් සිදු කරන ලද මෙම අශිෂ්ඨ ප‍්‍රචණ්ඩකාරී හැසිරීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කර ඇති අතර, සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය තමාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් හෝමාගම පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමට අදාල අපරාධකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට ගෙනැවිත් සිටින අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටිමින්, ඔවුන්ට එම අපරාධ සඳහා උපදෙස් හා අණ දුන් බලවතුන් සමාජයට හෙළිදරව් වීම වැළැක්වීමට දැඩි උත්සාහයක යෙදී සිටින ඥානසාර හිමි ඒ සඳහා භික්‍ෂූත්වයට නිගා දෙන ඔහුගේ ප‍්‍රචණ්ඩකාරී හැසිරීම හා හිංසාකාරී වාග් ප‍්‍රහාර යොදා ගනිමින් සිටී. තම මාධ්‍යවේදී සැමියා අතුරුදහන් වූ දා සිට ඔහු සොයා ගැනීමේ අරගලයේ අඛණ්ඩව යෙදී සිටින දිරිය ගැහැණියක් වූ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට ඉතා නින්දිත ආකාරයෙන් බැණ වදිමින් තර්ජනය කිරීමට අදාලව ඇය හෝමාගම උසාවියේ කළ පැමිණිල්ල විභාග කොට අදාල හිමිනමට දඬුවම් කොට නැවත මෙවැනි අශිෂ්ඨ හැසිරීම් හා තර්ජනය කිරීම් වැළැක්වීමට අදාල කටයුතු නොපමාව ඉටු කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, උසාවි අපහාසය සම්බන්ධයෙන් ලබා දී ඇති අත්අඩංගුවට ගැනීමේ නියෝගය වහාම කි‍්‍රයාත්මක කොට, ප‍්‍රගීත් සම්බන්ධ නඩු විභාගය බාධාවකින් තොරව සිදු කිරීමට අවශ්‍ය පරිසරය සකස් කරන ලෙස ද අවධාරණය කොට සිටී. නඩු විභාගය කඩාකප්පල් කොට, ඥාණසාර හිමි සහ ඔහු පසුපස සිටින බලවේග ඉටු කර ගැනීමට උත්සාහ කරන දුෂ්ඨ අරමුණ වැළැක්වීමටනම් මෙවැනි හැසිරීම් හා තර්ජනය කිරීම්වලට එරෙහිව වහාම පියවර ගත යුතුය.
සීතා රංජනී සී. දොඩාවත්ත
කැඳවුම්කරු ලේකම්
– නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
2016. 01. 26

Archive

Latest news

Related news