Sunday, April 28, 2024

අතුරුදහන් කිරීම් වැළැක්වීමේ සම්මුතියට ශ්‍රී ලංකාවත්

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් සියලූම පුද්ගලයන් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් තැබීමට රජය තීරණය කරයි.

එම අනතර්ජාතික සම්මුතියට ශ්‍රී ලංකාව අද, බ්‍රහස්පතින්දා අත්සන් තබන බවත් ඊයේ බදාදා මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කිසිදු පුද්ගලයෙකු බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක් නොකළ යුතු අතර එය මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් ලෙස අර්ථ දක්වා එසේ අතුරුදන් කිරීම අපරාදමය වරදක් ලෙස සලකා නීති පැනවීම මෙම ජාත්‍යන්තර සම්මුතිය මඟින් සිදු වෙයි.

මේ වන විට රාජ්‍යයන් 94 ක් මෙම සම්මුතියට අත්සන් තබා තිබෙන බවත් අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් අමතමින් පැවසුවේය.

මෙම අන්තර් ජාතික සම්මුතිය 2016 වසරේ සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අණ පණත් ගෙන එන බව ප්‍රකාශ කළ මංගල සමරවීර අමාත්‍යවරයා එමගින් ශ්‍රී ලංකාව තුල යළි කිසි දිනක සුදු වෑන් සංස්කෘතියක් ඇති නොවනු ඇති බව ප්‍රකාශ කළේය.

ජනවාරි අට වැනිදායින් පසු සුදු වෑන් සංස්කෘතිය ක්‍රියාත්මක වූ බවට උතුරු පළාත් මහ ඇමතිවරයා පවසනවා නම් ඒ පිළිබඳ තොරතුරු තමන්ට ලබා දෙන ලෙස විදේශ කටයුතු ඇමතිවරයා ඉල්ලා සිටියේ මහා ඇමතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්.

බීබීසිය මෙහිදී විදේශ අමාත්‍යවරයාගෙන් විමසුවේ ශ්‍රී ලංකාවේ දැනට තවමත් තම දු පුතුන්, සහෝදරයන්, ස්වාමි පුරුෂයන් අතුරුදහන් වීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින පිරිසට මෙමගින් අත් වන ප්‍රයෝජනය පිළිබඳවයි.

” මේක අනාගතය සඳහා බලපැවැත්වෙන සම්මුතියක්, නමුත් පසුගිය කාලයේ සිදුවූ අතුරුදහන්විම්වල සත්‍යය දැන ගැනීමට ඒ අයට සහන ලබා දීමට මේ වනකොටත් අවශ්‍ය යාන්ත්‍රණ නිර්මාණය කරමින් සිටිනවා”

මෙම සම්මුතිය අනුව අනාගතයේ දී යම් අතුරුදහන්වීමක් සිදු වුවහොත් ඒ සඳහැ රජය වගකිවයුතු බව ප්‍රකාශ කල අමාත්‍යවරයා ඒ පිළිබඳව රජය ජාත්‍යන්තර අධිකරණය ඉදිරියට පවා රැගෙන යා හැකි තත්වයක් ඇති බවද පැවසුවේය.

ජනවාරි 8 දායින් පසුවත් සුදු වෑන් යොදා අතුරුදහන්වීම් සිදු වන බවට අද ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේදී නිවේදනයක් නිකුත් කරමින් උතුරු පළාත් මහ ඇමතිවරයා කර තිබු ප්‍රකාශය ගැන බිබිසිය විසින් විදේශ අමාත්‍යවරයාගේ අවධානය යොමු කරන ලදී

අතුරුදහන්වීම් සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් ජාතීන්ගේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔවුන් මුණ ගැසුණු පුද්ගලයන්ට ආරක්ෂක අංශ වල තර්ජනයට මුහුණු දීමට සිදුවූ බවට ඔවුන් කල ප්‍රකාශය ගැන සොයා බැලුවේද යන ප්‍රශ්නයත් ඇමතිවරයා වෙත යොමු කළා.

” මම ඒගොල්ලන්ට කිව්වා ඒ ආපු නිලධාරීන්ගේ තොරතුරු අපට දෙන්න කියල නමුත් තාම අපිට ඒ තොරතුරු ලැබුනේ නැහැ”

වැරදි කරන පුද්ගලයන් තම ආණ්ඩුව ආරක්ෂා නොකරන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

– BBC Sinhala

Archive

Latest news

Related news