Monday, May 6, 2024

ජනතා විරෝධය හමුවේ රනිල් පසු බසී: EPF හා ETF වෙන් වෙන්ව

ලබන 2016 වසර වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන අයවැය ලේඛනයේ සඳහන් පොහොර සහනාධාරය සහ පාසැල් නිල ඇඳුම් කප්පාදු කිරීමේ උපක්‍රමය ඇතුළු සහන කප්පාදුවට එරෙහිවත් රාජ්‍ය සේවයට බඳවා ගන්නා අයගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට එරෙහිව සහ බැංකුවල ව්‍යාපාරික ගනුදෙනු සීමා කිරීම් ඇතුළු විවිධ අයවැය යෝජනා රාශියකට එරෙහිව රට තුළින් මතු වෙමින් තිබෙන විරෝධය හමුවේ හවුල් ආණ්ඩුව පසු බසිමින් සිටින බව වාර්තා වේ.

එම පසු බැසීමේ ප්‍රතිඵලයක් වශයෙන් අගමැතිවරයා විසින් අයවැය සහන පිළිබඳව නැවත සොයා බැලීමට කමිටු පහක් පත් කර ඇත. අකිල විරාජ් කාරියවසම් සහ හරීන් ප්‍රනාන්දු ඇමතිවරුන්ද, අජිත් පී පෙරේරා, හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න යන පිරිස මෙම කමිටුවල මූලිකත්වය දරන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසි දෙනෙකු සාමාජිකයින් ලෙස නම් කර ඇති බව හෙළි වේ.

අයවැය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පසුගිය සති අන්තයේ පැවැති වැඩමුළුවලදී එම මන්ත්‍රීවරුන්ගේ යෝජනා ලෙස ඉදිරිපත් වූ බව පවසමින් ජනතා විරෝධයට ලක්ව ඇති ඇතැම් අයවැය යෝජනා හකුළා ගැනීමට ආණ්ඩුව දැනටමත් තීරණය කර තිබේ. මේ අතර තවත් වාර්තාවක සඳහන් වන්නේ අගැමතිවරයා විසින් පත්කර තිබෙන කමිටුවල නිර්දේශ අනුව බව කියමින් තවත් අයවැය යෝජනා ගණනාවක් සංශෝධනය කිරීමටද සූදානම් වන බවය.

– Lanka Truth

EPF හා ETF වෙන් වෙන්ව

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල මහබැංකුවේ අධීක්ෂණය යටතේ තවදුරටත් වෙන් වෙන්ව පවත්වාගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (01) අයවැය දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමිනි.

වෘත්තීය සමිති සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව එම තීරණයට එළඹුණු බවඅග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල එක් කිරීමේ සැලසුමක් පිළිබදව මීට පෙරාතුව රජයේ ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රකාශය පත්කළ අවස්ථාවේදීත්, අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේදීත් අසන්නට ලැබුණි. මෙම අරමුදල් ඒකාබද්ධ කොට පවත්වාගෙනයාමේ සූදානම කෙරෙහි වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණි.

මෙම අරමුදල් ඒකාබද්ධ කිරීමට යෝජනා කරන ලද්දේ වැඩි ආරක්ෂාවට බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය

– ශ්‍රී ලංකා මිරර්

Archive

Latest news

Related news