Sunday, May 5, 2024

අය වැය යෝජනා ජනතා හිතවාදී කරන්න රජයට සති දෙකක කාලයක්

 රජය විසින් වැඩකරන ජනතාවට ලබාදුන් පොරොන්දු  2016 වසර සදහා වු අයවැය යෝජනාව මගින් ඉටු කර නැති බවට රජයට විරුද්ධත්වය ප්‍රකාශ  කරන වෘත්තිය සමිති ඒ සම්බන්ධයෙන් ඉදිරි සති දෙකක කාලයක් තුළ රජය විසින් යහපත් ප්‍රතිචාරයක් ලබා නොදුනහොත් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළබෙන බවට රජයට අනතුරු අඟවයි.

වෘත්තීය සමිති සමඟ හෝ අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා නොකර ආණ්ඩුව මෙම අයවැය යෝජනා සකස් කර ඇති බවට චෝදනා කරන ජාතික වෘත්තීය සමිති පෙරමුණ 30 සඳුදා රජයේ හෙද නිලධාරින්ගේ සංගම් කාර්යාලයේදී රැස්වී මෙම තිරණයට එළැඹි බව ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සම කැදවුම්කරු සමන් රත්නප්‍රිය ගගන ට පැවසිය.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති නියෝජනය කරන එම පෙරමුණ පවසන පරිදි වර්තමාන ආණ්ඩුවේ අයවැය යෝජනා හරහා එම සියලු ක්ෂේත්‍ර වල කප්පාදු ගණනාවක් සිදුකර තිබේ.

හෙට දිනයේ සිට අදාල කප්පාදු කිරිම් වලට එරෙහිව රාජ්‍ය ආයතන තුළ අත් පත්‍රිකා බෙදා හැරීමටත් දෙසැම්බර් 3 සිට 10 දක්වා කාලය තුලදි ආයතන මට්ටමින් පිකටින් ව්‍යාපාර දියත් කරන බවටත් සමන් රත්නප්‍රිය වැඩි දුරටත් පැවසිය.

මෙතෙක් ක්‍රියාත්මක කෙරුණු විශ්‍රාම වැටුප අහිමි කිරීමට සැලසුම් කිරිම, පොරොන්දු වූ රු.10,000/- මුලික වැටුපට එකතු නොකිරිම,  ETF හා EPF අරමුදල් අනාරක්ෂිත භාවයට පත්කිරීම, රාජ්‍ය බැංකු දුර්වල කිරීම සඳහා ආදායම් කප්පාදු කිරීම, අග්‍රහාර රක්ෂණයේ ප්‍රතිලාභ පුළුල් නොකිරීම, මෑන් පවර් ක්‍රමය පිළිබඳව දුන් පොරොන්දු ක්‍රියාත්මක නොකිරීම, බඳවා ගන්නා අනියම් සේවකයන්ගේ ස්ථිර කිරීමේ සේවා කාලය දින 180 සිට දින 365 දක්වා දීර්ඝ කිරීම ආදි කරුණු රාශියක් මෙවර අවයැය මගින්  කප්පාදු කර ඇති බවට ජාතික වෘත්තීය සමිති පෙරමුණ චෝදනා කරයි.

මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් 2016 වසර සඳහා අයවැය නොවැම්බර් 20 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර එහි  දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 2 වැනිදා දක්වා දින නවයක කාලයක් පුරා පැවැත්වෙන අතර දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම 2015 දෙසැම්බර් 2 වැනිදා පැවැත්වීමට නියමිතය.

කාරක සභා අවස්ථාවේ විවාදය දෙසැම්බර් 3 වැනිදා සිට දෙසැම්බර් 19 වැනිදා දක්වා දින පහළොවක  කාලයක් පුරා පැවැත්වෙන අතර තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම 2015 දෙසැම්බර් මස 19 වැනිදා පැවැත්වෙනු ඇත.

– radio gagana

Archive

Latest news

Related news