Monday, May 6, 2024

ඇවන්ගාඩ් අධිපතිගෙන් හිටපු ඇමතිට සුඛෝපභෝගී බෝට්ටුවක්

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති, පසුගිය කාලයේ හිටපු වරාය හා නාවික කටයුතු භාර අමාත්‍යවරයකුට කෝටි ගණනක් වටිනා විශාල ප්‍රමාණයේ බෝට්ටුවක් ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා ලබාදී ඇති බව අල්ලස් කොමිසම විසින් සිදුකරන ලද පරීක්ෂණයකදී අනාවරණය වී තිබේ. ඉහත කී ඇමැතිවරයා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන වත්කම් සම්බන්ධ පරීක්ෂණයකදී එම අමාත්‍යවරයාට විශාල ප්‍රමාණයේ සුඛෝපභෝගී බෝට්ටුවක් ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා තිබෙන බවට තොරතුරු ලැබී තිබිණි.

එම පරීක්ෂණයේදී අදාළ ඇමැතිවරයා කැඳවා ප්‍රකාශ සටහන් කරගන්නා අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ එම සුඛෝපභෝගී බෝට්ටුව ඇවන්ගාඩ් සභාපතිවරයා විසින් ඔහුට ත්‍යාග කළ එකක් බවයි.

අමාත්‍යවරයා විසින් කරන ලද එම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව හෙළිකර ගැනීම සඳහා අල්ලස් කොමිසම මඟින් ඇවන්ගාඩ් සභාපතිවරයා කොමිසම වෙත කැඳවා තිබේ. එහිදී සිදුකරන ලද ප්‍රශ්නකිරීම්වලදී එම සුඛෝපභෝගී බෝට්ටුව මොහු විසින් අදාළ ඇමැතිවරයාට ලබා දුන් බව පිළිගෙන තිබේ. සුඛෝපභෝගී කාමර තුනකින් යුත් මෙම විශාල බෝට්ටුව එම කෝටිපති හිටපු ඇමැතිවරයා විසින් සාගරය මැද ප්‍රියසම්භාෂණ පැවැත්වීම සඳහා යොදාගෙන ඇති බවටද තොරතුරු ලැබී ඇත.

ඇවන්ගාඩ් සභාපතිවරයා විසින් වරාය කටයුතු භාර අමාත්‍යවරයකුට මෙතරම් විශාල වටිනාකමකින් යුත් බෝට්ටුවක් ලබාදීම තුළින් ඔහු අමාත්‍යවරයාගෙන් ලබාගන්නා ලද්දේ කුමන වාසියක්ද යන්න සම්බන්ධ තොරතුරු ද අනාවරණය වෙමින් පවතී.

අල්ලස් හෝ දූෂණ විමර්ශනය කිරීමේ කොමිසම හිටපු වරාය අමාත්‍යවරයාගේ වත්කම් පරීක්ෂණය තවදුරටත් සිදුකරගෙන යන අතර ඔහුට අයත් කෝටි ගණනක වත්කම් සම්බන්ධ තොරතුරු රැසක්ද අනාවරණය වී තිබේ.

Lanka Truth

Archive

Latest news

Related news