Monday, May 6, 2024

රාජපක්ෂ සමයේ පාසල් සිසුන්ව පැහැරගත් රථයක් නාවික කඳවුරෙන් මතුවෙයි

( අරුත් ගමුද? නාවික හමුදාපති සමඟ රාජපක්ෂ දෙබෑයන්)

පසුගිය පාලන සමයේදී කප්පම් ගැනීම සඳහා සිසුන් හා වෙනත් පුද්ගලයින් පැහැරගෙන යාමට යොදාගත් බවට සැක කෙරෙන වැගන් රථයක් ත‍්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ජාත්‍යන්තර පාසල් සිසුවකු එංගලන්තයේ අධ්‍යාපනය හැදෑරීමට යාම නිමිති කරගෙන පැවැත්වූ ප්‍රිය සම්භාෂණයකින් අනතුරුව, ඊට සහභාගී වූ සිසුන් 6 දෙනකු ආපසු යමින් සිටිය දී, එම සිසු පිරිසද සමග මෙම වාහනය පැහැරගැනීමට ලක්ව ඇත.

මෙම පැහැරගෙන යාම සම්බන්ධයෙන් පැමිණිල්ලක් වත්තල පොලීසියට එවකට ලැබී තිබී ඇති අතර එසේ පැහැරගත් සිසුන් අනතුරුව ඝාතනය කර තිබිණ.

නාවික හමුදා කඳවුරේ තිබී හමුවී තිබෙන්නේ එම සිසුන් ගමන්ගත් රථය බවද පැවසේ.

මෙම වාහනය අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දින කිහිපයෙහි බලවත් උත්සාහ දරා ඇතත් නාවික හමුදා කඳවුරේ බලධාරීන් ඊට බාධා කර ඇත.

පසුව අපරාධයකට සම්බන්ධ වාහනයක් සඟවාගෙන තිබෙන බවට නාවික හමුදාපතිවරයාට නෛතික තත්ත්වය පැහැදිලි කර දීමෙන් පසුව එම වාහනය අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම එම පැහැර ගැනීමෙන් පසුව වාහනය ත‍්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ නා.හ. අංකයක් යටතේ වසර ගණනාවක් පාවිච්චි කර තිබෙන බවද හෙළිව ඇත.

මෙසේ කොළඹ සහ ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශවල ධනවත් පවුල්වල සිසු දරුවන් කිහිප දෙනකු ඇතුළු 28 දෙනකු 2010 වසර තුළ දී පැහැර ගැනීම හා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකෙරෙන විමර්ශනවලදී, කප්පම් ගැනීමේ අදහසින් මෙම සිසුන් හය දෙනා පැහැරගෙන යාම නාවික හමුදා බුද්ධි අංශ විශේෂ ඒකකයේ කිහිප දෙනෙකු විසින් සිදු කරනු ලැබූ බවද හෙළිව තිබේ.

මේ අනුව මෙම සිසුන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් එවකට නැගෙනහිර පළාත් භාර ආඥාපති ලෙස කටයුතු කළ වයිස් අද්මිරාල් ජයන්ත කොළඹගේ මහතා අපරාධ පරික්ෂ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීමට නියමිතය.
Lanka Truth

Archive

Latest news

Related news