සෝභිත හිමියන්ගේ අවසන් කැමැත්ත වීඩියෝ සම්මුඛ සාකච්ජාවක දී කරන ලද කතාවක් යැයි විශාල ප්‍රචාරයක් මේ දිනවල ගෙන යමින් තිබේ.
එය ඇත්ත වශයෙන්ම එහිමියන්ගේ අන්තිම කැමැත්ත ලෙස සළකා කටයුතු කිරීමට අධිකාරයක් තිබේ ද?
අන්තිම කැමැත්ත යනු ලිඛිතව නිසි අධිකාරයක් යටතේ සටහන් කල යුතු දෙයක් මිස කවරකුට හෝ ලබා දෙන සම්මුඛ සාකච්ජාවක දී කරනු ලබන ප්‍රකාශයක් නොවේ.
එකී විඩියෝව සෝභිත හිමියන්ගේ අනිත්ම කැමැත්ත විය යුතුයි කියන පිරිස් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන්නේ එහිමියන්ගේ දේශපාලන ජිවිතය සහ අරමුණ යළිත් වරක් සමාජ ගත කිරීමට ඇති මහානර්ඝ අවස්ථාව අහෝසි කිරීමය.
එම වීඩියෝව අනුව කිසිදු දේශපාලන ස්වරෑපයකින් තොරව හුදෙක් ආගමික අවස්ථාවක් ලෙස පමණක් එහිමියන්ගේ අවමගුල් උත්සවය පවත්වන්නේ නම් ඉන් වඩාම සතුටට පත්වනු ඇත්තේ මේ දිනවල එහිමියන්ගේ සිරුර වුව අනුභව කිරිමට සූදානමින් සිටින රාජපක්ෂවාදි නරුම සමාජ ජාල මාරයින් ය.
සෝභිත හිමි දේශපාලන චරිතයකි. එහිමියන් පෙනී සිටියේ සමාජ සාධාරණත්වය, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය වෙනුවෙනි. එම ක්ෂේත්‍රයන් තුනෙහි ම අර්බූදකාරී ළකුනු පහළ වි ඇති අද වැනි අවස්ථාවක එහිමියන්ගේ අපවත්වීම දේශපාලන මොහොතක් ලෙස යොදා ගත නොගත යුතු යැයි කීම තනිකරම අදේශපාලනික ස්ථාවරයකි.
තමන් රෝගාතුරව සිටින බව දැන දැනත් අවමඟුල් උළෙල පිළිබඳව අවසන් කැමැත්තක් ලියා තැබිය යුතු යැයි එහිමියන් අදහස් කළේ නම් එවැන්නක් කරන්නට අවස්ථාව එහිමියන්ට ඕනෑ තරම් තිබුණි. එමෙන්ම එවැනි තීරණයක් එහිමියන් තමා විසින් නායකත්වය දුන් සමාජ සාධාරණත්වය සඳහා ව්‍යාපාරයේ අනුදැනුමින් තොරව කරනු ඇතැයි සිතීම ද දුෂ්කර ය.
එබැවින් එකී විඩියෝ සම්මුක සාකච්ජාවේ දී දක්වන ලද අදහස් අනුව එහිමියන් නිකම්ම නිකම් ආගමික වතාවත් පවත්වා ආදාහනය හෝ මිහිදන් හෝ කල යුතු යැයි කීම ශ්‍රී ලංකාව අද මුහුණ දී සිටින දේශපාලන මොහොත අමතක කිරීමකි.
එහිමින්ගේ අපවත්වීම දේශපාලන කාරණයකි. නමුත් එය පක්ෂ දේශපාලනයට ප්‍රයෝජනයට නොගත යුතුය. පාසැල් දරුවන් බලයෙන් ගෙන්වා එහිමියන් අපහාසයට පත් නොකළ යුතු ය. හෙට පැවැත්වෙන අවමඟුල් උළෙලෙහි දී පක්ෂ දේශපාලනය පසෙක තබා එහිමියන් පෙනී සිටි උතුම් මානවහිතවාදී දේශපාලන අරමුණු යළි මතු කර ගැනීම අද අප කළ යුතු දෙයයි.
එමෙන්ම එහිමියන්ගේ අවමඟුල මෙරට භීෂණයෙන් සහ දූෂණයෙන් විනාශ කළ රාජපක්ෂවාදී දේශපාලනය එරෙහි ජන බලයේ දැවැන්ත ප්‍රකාශණයක් වනු නිසැකය. එවැනි අවස්ථාව සෑම විටම එළඹෙන්නේ නැත. එහිමියන්ගේ නමින් අප කළ යුත්තේ වීඩියෝවක් පසු පස දිවීම නොව දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදී කිරීමේ තීරනාත්මක මොහොතක් බවට එය පත් කිරීමයි.