Wednesday, April 24, 2024

ගෝඨාභය අත්අඩංගුවට ගන්නවාට මං විරුද්ධයි – විජේදාස රාජපක්ෂ

‘ රටේ යුද්ධය මෙහෙයවා ත්‍රස්‌තවාදීන් මුළුමනින්ම ඉවත් කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස බලපෑම් කිරීම මම නම් අනුමත කරන්නේ නැහැ‘ යැයි රනිල් වික්‍රමසිංහ ආන්ඩුවේ අධිකරණ ඇමැති වරයා වන විජේදාස රාජපක්ෂ දිවයින පුවත්පතට කියා තිබේ.

මේ රාජපක්සට අනුව ගෝඨාභය අත්අඩංගුවට නොගත යුත්තේ යුද්ධය ජයග්‍රහණය කරවූ  නිසා ය.

එ් නිසා ලසන්ත ඝාතනයට ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනයට සුදු කොඩි ඝාතනයට වුව ගෝඨාභ්‍ොය අත්අඩංගුවට නොගත යුතු ය. මන්ද යත් ත්‍රස්තවාදින් පරාජය කළේ ගෝඨාභය රාජපක්ෂ නිසා ය.

අහෝ මේ තමා අපේ කාලයේ ප්‍රාක්ඥයා යැයි තමන්ම පොස්ටර් අලවා ගත් දේශපාලනඥයකුගේ තර්ක.

මෙවැනි ඇමැතිවරුන් සිටිය යුත්තේ යහපාලන ආණ්ඩුවේ නොව රාජපක්ෂ අගු පිලේය.

ඊටත් වඩා කාරණය වන්නේ මේ ඇමැතිවරයා ද ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරිමේ රනිල් වික්‍රමසිංහ කමිටුවේ සාමාජිකයකු වී සිටීමය. දැනටමත් ගෝඨාභය අත්අඩංඟුවට නොගත යුතු යැයි කියන මෙවැනි ඇමැතිවරයකු සිටින කමිටුවකින් දෙමළ ජනයාට සාධාරණයක් ඉටු වනු ඇත් ද?

විජේදාස රාජපක්ෂ තව දුරටත් එම පුවත්පතට මෙසේ කියා තිබේ.

‘මෙය අපි හදපු ආණ්‌ඩුව, අපි මෙම ආණ්‌ඩුව රැක ගත යුතුයි. මිනිමරුවන් කප්පම්කරුවන් අස්‌වෙන්න කියපු පලියට මම අස්‌වෙන්නේ නැහැ. ඒ ගොල්ලෝ කවුද?

මට ඉවත් වෙන්නැයි කියන උදවිය හරිනම් තවදුරටත් තනතුරේ සිටින ලෙස බලපෑම් කළ යුතුයි. මහින්ද රාජපක්‍ෂ මහතා රට පාලනය කළ සමයේ ඔය කෑගසන උදවිය කොහෙද හිටියේ කියලා මං අහනවා.

රටේ ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත් සැබෑ තත්ත්වය අවබෝධකරගෙන සිටියදී අහක ඉන්න උදවියයි කෑගහන්නේ. තනතුරෙන් ඉල්ලා අස්‌වෙන්න තරම් මා මෝඩ නැහැ. ඇවන්ගාඩ් සැබෑ තත්ත්වය ගැනයි මා කිව්වේ. අපේ නීති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ආරක්‍ෂා කළ යුතුයි. මට ඔවුන් පාවා දෙන්න බැහැ. රටේ යුද්ධය මෙහෙයවා ත්‍රස්‌තවාදීන් මුළුමනින්ම ඉවත් කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස බලපෑම් කිරීම මම නම් අනුමත කරන්නේ නැහැ‘

Archive

Latest news

Related news