Wednesday, May 8, 2024

මාදුළුවාවේ සෝභිත හිමියනි, රාජපක්ෂ තන්ත්‍රය පරාජය කල ‘‘නිශ්චිත මොහොත“ ඔබ විය


බහුජන හිතාය බහුජන සුඛාය වෙනුවෙන් කැපවූ එක්තරා යතිවරයකුගේ කථාව.

චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය….මහණෙනි, පොදුජනයාගේ හිතසුව පිණිස චාරිකාවේ යෙදෙන්න. බුදුන් වහන්සේ බුදු සසුනේ ප්‍රථම රහතුන් සැට නම අමතා එසේ උපදෙස් ලබාදී ධර්මය ප්‍රචාරණය උදෙසා පිටත් කොට යැවූහ. ඒ ඉල් පුන් පෝදාකය.

අඤ්ඤා කොණ්ඩඤ්ඤ ප්‍රමුඛ පස්වග තවුසන්ගෙන්ද යස කුලපුතු සහ ඔහුගේ මිතුරන්ගෙන්ද භද්ද වග්ගිය සහ ඔවුන්ගේ සගයින්ගෙන්ද පලමු රහතුන් සැටනම සමන්විතවිය. තුදුස්වියේදී පමණ පාසලේ සත්වන ශ්‍රේණියෙ ඉගෙනුම ලබන කල්හි වාරාවසාන පරීක්ෂණයට බුද්ධාගම විෂයයෙන් ඇසුණු ප්‍රශ්ණයක් වූයේ බුදු සසුනේ පළමු රහතන් වහන්සේලා සැටනම විස්තර කරන්න යන්නයි.එදවස අපි නිදිවර්ජිතව රහතුන් සැටනම වණපොත් කලෙමු.

බුදුන් වහන්සේගේ ඒ උපදේශය අකුරටම ඉටුකිර්‍රිමෙහිලා තම ජීවිතය කැපකල මාදුළුවාවේ සෝභිත හිමියන් ඉල් මහේදීම අභාවප්‍රාප්ත වීම සුවිශේෂී සිද්ධියකි.

මහානායකවරුන් ඇතුළු බහුතරයක් සංඝ සමාජයෙහි ප්‍රභූන් සුඛෝපභෝගී රථයකට නොඑසේනම් විදේශ සංචාරයකට එසේත් නොමැතිනම් සුවපහසු අසපුවකට ලොබ බැඳ රාජ්‍ය අනුග්‍රහයෙන් ලැබෙනා මෙවන් වරදානයන්ගෙන් නිවී සැනසී තුන්තිස් පැයෙහි කළුවර කවිච්චි මත වැඩහිඳ දේශපාලුවන්ගේ සුරත පිරිත් හුය බැඳීමෙන් හා ඉනික්බිති ඔවුන් ලියා දෙන කුමන හෝ එළොවටද මෙලොවටද අර්ථයක් නොමැති සම්ප්‍රප්ප්‍රලාපයක් නිවේදනයක් ලෙස නිකුත් කර රට දැය සමය උදෙසා මගේ කාර්ය භාරය කලෙමියි සෑහීමට පත්වන අවිචාර සමයෙක උන්වහන්සේ අසාධාරණය සහ අයුක්තියට විරුද්ධව සටන් කිරීමට නොබියව ඉදිරිපත් වූහ.

උපතින් බෞද්ධාගමිකයකු වුවද අද පොදුවෙ පිළිගත් නිර්ණායක අනුව මම කිසි ලෙසකින් සැදැහැවත් බෞද්ධයකු නොවෙමි. පුන් පොහෝදිනයක රුවන්වැලිසෑ මළුවෙහි එළිවෙනතුරු කල්ගෙවීමෙහි ලා මම කිසිවිටෙක නොපැකිලෙමි. (වර්තමානයෙහි වියපත් වූ සඳ සවිබල සපිරි යොවුන් වියෙහි පෑ එවන් සමත්කම් උගහට වීම පිළිබඳව සාකච්ඡා නොකරමු) එහෙත් නිවසෙහි විවේකීව සිටිනා පොහොය දිනයක පවා අප නිවස ආසන්නයේම පිහිටි ගැටඹේ විහාරස්ථානයට පවා මා යන්නේ ස්නානය පිණිස ගෙනයන සුනඛයෙකු මෙනි. (විහාරස්ථානයට යාමට යෝජනාකල කල්හි මගේ හැසිරීම මෙවන් උපමාවකින් හඳුන්වනුයේ මා දයාබර බිරින්දෑය) එතැන වන්දනාමාන කිරීමට පොදිකන සහසක් ජනයා අතර තෙරපී බුදුන් වැඳීමට මගේ කිසිම රුචියක් නැත. ඊටද වඩා අපුල දනවන්නේ කිසිදු විරාමයක් නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් නික්මෙන කර්ණ කඨෝර හඬයි.

***********************************

ගැටඹේ විහාරස්ථානය පිලිබඳව අමතර කථාවක්ද මට කියන්නට ඇත. එයද අද මා ලියන්නට අපේක්ෂිත මාතෘකාවට ඉතාම අදාළය. උපතින් බෞද්ධ වුවද පිළිගත් නිර්ණායකයන් අනුව මම බෞද්ධයෙකු නොවන බව මම පෙර පැවසූයෙමි. එසේ වීමට ප්‍රධාන වශයෙන් තුඩුදුන් කාරණයක් වනුයේ අපගේ නායක භික්ෂූන්ගේ නොමනා ක්‍රියාකලාපයයි. නොමනා යනුවෙන් මම අදහස් කරනුයේ ඔවුන්ගේ චරිතය පිළිබඳව නොව රට කරවන පාලක පංතියේ දාසයින් තත්වයට පත්ව ඔවුන්ගේ අවශ්‍යතාවයක් උදෙසා ආගමික නායකයින් ලෙස තමන්ට නිරායාසයෙන් ලැබුණු සිවිල් බලය නිර්ලජ්ජිත ලෙස යෙදවීමයි.

එවන් නිර්ලජ්ජී භික්ෂූන් අතර රට කරවන සර්ව බලධාරී නායකයාණන්ට පවා එරෙහිව තම අදහස් නිර්භයව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල භික්ෂුවකි ගැටඹේ විහාරස්ථානයෙහි එකල අධිපතිව වැඩ විසූ ලබුදූවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ. ඒ 1982 වර්ෂයේදී පැවැත්වූ ප්‍රසිද්ධ කථාවකදී ජේ. ආර්. ජයවර්ධන යනු ජාති ද්‍රෝහියකුයයි පැවසීමෙනි. ශ්‍රී ලාංකික දේශපාලනය තුල ජේ.අර්. ගේ භූමිකාව පිළිබඳව කොතෙකුත් පරස්පර විරෝධී මත තිබිය හැක.තම දේශපාලන මතිමතාන්තර අනුව ඔහු ජාතික වීරයකු හෝ ද්‍රෝහියකු විය හැක. එහෙත් ඔහු නිර්දය ලෙස විවේචනය කිරීමට රටේ ඕනෑම පුරවැසියෙකුට පරම අයිතියක් තිබිය යුතුය.තම ඒකාධිකාරි ආඥාදායක බලයට කිසිවකු හෝ අභියෝග කරනු නොරිසි ජේ.ආර්. සිරිධම්ම හිමියන්ට පිළිතුරු දුන්නේ ගැටඹේ විහාරස්ථානය මැදින් කටු කම්බි වැටක් ගසා අවහිර කිරීමෙනි.

ජේ.ආර්. වෙනුවෙන් සට්ටඹිකම් කිරීමට එකහෙලා ඉදිරිපත්වූ එදවස එක්සත් ජාතික පක්ෂයේ ශිෂ්‍ය සංවිධානය වූ සමවාදී ශිෂ්‍ය සංගමයේ සාමාජික පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යයෝ රැසක් සිරිධම්ම හිමියන්ගේ ප්‍රකශයට විරෝධය පාමින් ගැටඹේ විහාරස්ථානය ඉදිරිපිට තැනූ වේදිකාවක හිඳ උපවාස කළහ.වසර කිහිපයක ඇවෑමෙන් අර්ධ රාජ්‍ය වාරිමාර්ග ආයතනයක මම සේවය කරද්දී එදා ඒ කල උපවාසයෙහි බල මහිමයෙන් එම ආයතනයෙහි කළමණාකාර තනතුරු ලබාගත් විශව විද්‍යාල ශිෂ්‍යයින් කිහිප දෙනෙක්ම මගේ ළබැඳි මිතුරෝ වූහ.

***********************************

පැහැදිලිව මතකයට නඟාගැන්මට අපහසු වුවද බොහෝවිට ඒ 2006 වසර විය යුතුය. නුගේගොඩ -නාවල මාර්ගය අසල තම ප්‍රධාන කාර්යාලය පිහිටි ඉදිකිරීම සමාගමක මම එකල සේවය කලෙමි.එක් සති මැද දිනක පුර පොහොයක් යෙදී තිබියද මම නිවෙස බලා නොගියෙමි. ඊට දින කිහිපයකට පසු භාරදිය යුතු ගොඩනැඟිලි ව්‍යාපෘතියක් පිළිබඳ ප්‍රසම්පාදන පතක් (ටෙන්ඩරයක්) සම්පූර්ණ කලයුතු හෙයින් පොදු නිවාඩු දිනයක් වූ එදිනද මම කාර්යාලයෙහි රැඳී එම කටයුත්තෙහි යෙදුනෙමි.

කාර්යය බොහෝදුරට අවසන්කොට සවස හතරට පමණ එකල අප නවාතැන් ගෙන හුන් පිටකෝට්ටේ රජ මාවතේ නවාතැන්පොළට පැමිණියෙමි. මා සේවය කල සමාගමෙහි හිමිකරුවකුගේ නිවෙස පසුපස ඉදිකරතිබූ අපගේ නිවහනෙහි නිදන කාමර තුනක් සාලයක් සහ මුළුතැන්ගෙයක් විය. එදවස එහි මා ද ඇතුළුව මගේ සහෝදර නිලධාරීහු තිදෙනෙක් නැවතී උන්නෝය. ඔවුන් පිළිබඳව වෙනත් දිනයක සවිස්තරව ලියන්නෙමි. ඉන් එකෙක් ජංගම දුරකථනය භාවිතා කොට වල් අලි පන්නා දැමීමෙහි පවා සමතෙකි. එපමණක් දැනට පවසමි.

චමරිය යනුවෙන් පොදුවේ හැඳින්වුනු අප නවාතැනෙහි සිට මීටර හාරසියයක පමණ මානයේ සුප්‍රසිද්ධ විහාරස්ථාන දෙකක්ම පිහිටා තිබිණි. එනම් කෝට්ටෙ ශ්‍රී නාග විහාරය සහ කෝට්ටේ රජමහා විහාරයයි. උක්ත චමරියෙහි දිවිගෙවූ පුරා වසර තුනකට ආසන්න කාලය තුල ඉහත කී සුප්‍රසිද්ධ විහාරස්ථාන දෙකෙහිම දොරටුවෙන් මම ඇතුලුවූයේ හරියටම දෙවරකි. ඉනුදු කෝට්ටේ රජමහා විහාරයට ගියේ අතුරුදන් වූ බල්ලෙකු සෙවීමේ මෙහෙයුමක නිරතව සිටියදීය. එහෙත් නාග විහාරයට ඒ එකම වර ඇතුළුවූයේ වන්දනාමාන කිරීමේ චේතනාවෙන් බව බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔද වැඩුනු සිතැතිව මෙහිලා සටහන් කර තබමි. ඒ වන්දනාව මවිසින් ඉහත පවසන්නට යෙදුනු පුන් පොහෝ දින හදිසි රාජකාරියක යෙදෙන්නට සිදුවීම හා අත්‍යන්තයෙන්ම සම්බන්ධය. ඒ මෙසේය පොහෝදින රාජකාරි කටයුතු වලින් ඉක්බිති චමරියට පැමිණි මම සාලයේ වූ වේවැල් පුටුවක දිග ඇදී දෑස ද පියාගත්වනම කිසිදු ස්ථිර අරමුණකින් තොරව කල්පනාවේ යෙදී සිටියෙමි.

“මොකෝ රවී අද මොකවත් පාවිච්චියක් නැද්ද රෑට? ආ..මට අමතක වුනා…පෝය හින්ද බාර් වහලනෙ නේද?”

එසේ විමසමින් මා අසළවූ අනෙක් පුටුවෙහි අසුන් ගත්තේ දිසාය. එදින මා හැරුනුවිට චමරියෙහි වූයේ මට වසර කිහිපයක් වැඩිමහළුවූ දිසා පමණකි.

“නෑ බං නුගේගොඩ වලේ බාර් එකේ එහා පැත්තෙං ගන්න නම් තිබ්බ. ඒත් මොකටද අදවත් මතින් තොරව ඉන්න කියල හිතල මම නිකම්ම ආව.”

නුගේගොඩ මංසන්ධියේ සිට කෝට්ටේ පාරේ මීටර් හාරසියයක් පමණ ගෙවුණු පසු වම් පස පාරෙන් පහළට විහිදුනු පඩි පෙලක් බැසීමෙන් පසු පිවිසිය යුතුවූ මත්පැන්හල අප එදවස හැඳින්වූයේ වලේ බාර් එක නමිනි.පෝය දිනයන්හි සියලුම මත්පැන්හල් වසා තැබිය යුතුවූ නමුදු කොතැනත් සිදුවන්නාසේ වලේ බාර් එකෙහිද පසුපස හොර පාරෙන් මත්පැන් වෙළඳාම ජයටම සිදුවිනි.

“මේ මම කියන්නද? අපි දෙන්න එහෙනං යමු නාගවිහාරෙ පැත්තෙ ගිහිල්ල මලක් දෙකක් පූජා කරල එන්ට.”

“ම්ම්ම්ම්…යමුකො එහෙනං…” මම එකඟත්වය පළකලෙමි.

නාග විහාරයෙහි දොරටුව අසලින් කුඩා අරලිය මල් වට්ටි දෙකක් මිලදී ගත් අප වන්දනාමාන කීරිමෙන් අනතුරුව විහාර භූමියෙහි එහා මෙහා ඇවිද්දේ සඳ කිරණින් නැහැවෙනා විහාර භූමියෙහි චමත්කාරය විඳිමිනි.

“ඒයි අන්න අතන සෝභිත හාමුදුරුවො ඉන්නව.යමුද ගිහිල්ල වැඳල එන්ට?” දිසා එක්වරම මදෙස බලා විමසීය.

ඒ ගංගොඩවිල සෝම හාමුදුරුවන්ගේ අභාවයෙන් වසර තුනක් හෝ හතරක් පමණ ගතවී තිබුණු සමයක් විය. බෞද්ධ ආවේගශීලිත්වය අවුළුවමින් සෝම හිමියන් රටපුරා සංචාරය කරමින් කල දේශනයන්ගේ ආකර්ශණය හමුවේ බොහෝ විචාර බුද්ධියෙන් යුතු භික්ෂූන් වහන්සේලා පවා නැඟ එන රැල්ල හා එකතුවුනු සමයෙක සෝභිත හාමුදුරුවන් ඒ හා එක් නොවූවා පමණක් නොව ආගමික ආවේගශීලිත්වයෙහි එක්වනම නොපෙනෙන අනතුර පිලිබඳව මිනිසුන් දැනුවත් කිරීමෙහිද යෙදුණෝය. එසේ හෙයින් කලකට පෙර ජාතිවාදයට යම් පක්ෂග්‍රාහිත්වයක් ප්‍රදර්ශණය කල නමුදු ඒ වනවිට උන්වහන්සේ කෙරේ මසිත පැවතියේ යම් ගෞරවයකි.

“යමු………….” මම එසේ පවසමින් එදෙසට හැරුනෙමි.

උවසුන් උවැසියන් කිහිප දෙනෙක් හා සමඟ යම් කතාබහක නිරතවෙමින් පසුවූ උන්වහන්සේ වෙත ලඟාවූ අප දණ ගසා වැන්දෙමු.

“සුවපත් වේවා!!! මේ මහත්වරු කොයි පලාතෙද?”

“අපි නැවතිලා ඉන්නෙ හාමුදුරුවනේ මේ කිට්ටුවමයි, රජ මාවතේ…”

එසේ පවසමින් තවත් සිවල්ප වේලාවක් එතුමා හා සමඟ කතාබහ කීරිමෙන් අනතුරුව අපි පිටත්ව ආයෙමු.සෝභිත හිමියන් සජීවීව මට දක්නට ලැබුණු එකම අවස්ථාව එපමණකි.

***********************************

ඒ පසුගිය වසරේ ජූලි හෝ අගෝස්තු කාලසීමාව විය යුතුය. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට තවත් වසර දෙකකට අධික කාලයක් ඉතිරිව තිබියද දීනෙන් දින පිරිහීයන තම ජනප්‍රියත්වය යම් පමණක් හෝ ඉතිරිව තිබියදී වසර හයක් සඳහා යලි බලය ලබාගැනීමේ අටියෙන් මහින්ද රාජපක්ෂ මහතා වසර අවසන්වීමට ප්‍රථම ජනාධිපතිවරණයක් කැඳවන බවට නොයෙක් දූෂමාන ආරංචි දේශපාලන ලොව කළඹමින් පැතිර යමින් තිබිණි.

ඒ බොහෝ දෙනෙකුට ගැටළුවක් වූයේ මහින්ද රාජපක්ෂ මහතා සමඟ තරඟයට ඉදිරිපත්වන්නේ කවුරුන්ද යන්නයි. බෘහස්පතින්දා රාත්‍රියෙහි සහ සිකුරාදා දවසෙහි අප එකතුවී පැවැත්වූ මිතුරු හමුවන්හිදී බොහෝවිට සාකච්ඡාවට බඳුන් වූයේ මේ පිළිබඳවය.

“රනිල් ආවොත් නම් හරියන්නෙ නෑ” බහුතරයකගේ මතය එය විය. මම ද ඊට එකඟ වීමි.

“එකඟයි.. රනිල් දෙපාරක්ම පැරදුනා. අනික කොහොම උනත් රනිල් ලංකාවෙ සාමාන්‍ය මනුස්සයාට අල්ලල යන චරිතයක් නෙවෙයි. පහුගිය ඡන්ද වලදි රනිල්ට ගහපු හැටියට රනිල්ගෙ ප්‍රතිරූපය ආයෙ හදන්න බෑ.” මම පැවසුවෙමි.

පොදු අපේක්ෂකයා ලෙස වරෙක චන්ද්‍රිකාගේ නම යෝජනා විය.”ඒක හරියන්නෙ නෑ.චන්ද්‍රිකාට ශ්‍රී ලංකා ඡන්ද ටිකක් නම් එයි. ඒත් යූ.එන්.පී ඡන්ද නම් එන එකක් නෑ”

ඒ සෑම සාකච්ඡාවකම අවසාන තීරණය වූයේ මහින්ද යලිත් වරක් කෙසේ හෝ ජයගන්නා බවයි. “මේ මනුස්සයව එළවන්න වෙන එකක් නෑ බං…මිනිහට පස්සෙ නාමල්…. නාමල්ට පස්සෙ නාමල්ගෙ පුතා..ඔය විදිහට ඒ පරම්පරාවටම ලංකාවෙ රජකම යනව” දැඩි කලකිරීමකින් එසේ පැවසූයේ මගේ කිට්ටු හිතවතෙකි. අප බහුතරයකගේ මතය වූයේද මහින්ද පරාජය කිරීම සිහිනයක් වන බවය.

“මේ සෝභිත හාමුදුරුවො එනවයි කියන්නෙ පොදු අපේක්ෂකයා හැටියට” එක් සවසක එවන් ආරංචියක් අප අතර පැතිර ගියේය.

“නෑහ්? ඇත්තටම? …” සෝභිත හිමියන් පොදු අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා හා සමඟ තරඟයට ඉදිරිපත්වීමට සූදානම් යන ප්‍රවෘත්තිය පවා මහින්ද විරෝධී අප අතර දැඩි ප්‍රබෝධයක් ඇති කලේය. මහින්දගේ අගතිගාමී පවුල් පාලනය කෙරෙහි දැඩි කළකිරීමෙන් පසුවූ විවිධ දේශපාලන අදහස් උදහස් දරන්නන්ට එකට එක්වී පොදු සතුරාට විරුද්ධව සටන් කල හැකි වේදිකාවක් සෝභිත හිමියන්ගේ ඒ නිර්භය ඉදිරිපත්වීමෙන් නිර්මාණයවිනි.

සෝභිත හිමියන් ඉදිරිපත්ව තරඟ කලහොත් ජයග්‍රහණය කීරිම කිසිසේත්ම ස්ථිර නොවන මුත් මහින්ද පැරදවිය හැකියයි මුල්වරට අප අතර යම් විශ්වාසයක් ගොඩ නැඟීමට එහිමියෝ සමත්වූහ.රසායන ප්‍රතික්‍රියාවක සක්‍රීයතාවය වැඩිකිරීමට යොදාගන්නා උත්ප්‍රේරකයක් (Catalyst) ලෙස සෝභිත හිමියෝ ක්‍රියා කලෝය. The definition of a catalyst is someone or something that speeds up or brings about an event.

සෝභිත හිමියන් පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට කැමැත්ත ප්‍රකාශ කිරීම මහින්ද කඳවුරේද යම් සෙළවීමක් ඇතිකීරිමට සමත් විය. මේ එක් සිකුරාදාවක අපේ සුහද හමුවකදී අප හැම දෙන බොහෝ ගෞරවයෙන් සළකන අපගේ වෘත්තීය ක්ෂේත්‍රයෙහි විද්වතෙකු ලෙස සැලකෙන්නෙකු කල ප්‍රකාශයකි. ඔහු දැඩි මහින්දවාදියකු බව අප පැහැදිලිව දැනසිටි නමුදු කොපමණ බුද්ධිමතෙකු වුවද ආවේග ශීලී වූ විට පත්වන ඛේදජනක තත්වය ඔහු අප ඉදිරියේ ප්‍රදර්ශනය කලේ මෙසේය.

“හුහ්…සෝබිත සාදු…ඒ ගණයට මොකක්ද තියන සුදුසු කම ජනාදිපති කමට ඉල්ලන්ට?…කෙළෙහි ගුණ නොදන්න එවුං ,හරි ඉල්ලල බලන්ට කියමුකො…”

තම විෂයෙහි විද්‍යාපති උපාධිය ලබා සිටි ඔහු ඒ දිනවල ආචාර්ය උපාධියක් උදෙසා අධ්‍යයනය කිරීමට ලියාපදිංචිව සිටියේය. ඔහු හා සමඟ විවාදයකට එළඹීමෙහි කිසිදු ප්‍රයෝජනයක් අත්නොවන බව අත්දැකීමෙන් දැනසිටි අපි සිනාසී ඉවත බලා ගතිමු.

ඉන් අනතුරුව කටයුතු සිදුවූ ආකාරය ඔබ හොඳින් දන්නෙහිය. සෝභිත හිමියෝ ජනාදිපතිවරණයට ඉදිරිපත් නොවූහ. පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ මෛත්‍රිපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතා පරදවා ජයග්‍රහණය කළේය. රසායන ප්‍රතික්‍රියාවකට සක්‍රීයව සහභාගී නොවූවද එහි වේගය සහ සාඵලත්වය වැඩි කරනා උත්ප්‍රේරකයක් මෙන් සෝභිත හිමියෝද තමන් මූලිකව ඇතිකල වෙනස පිළිබඳව තෘප්තිමත්වූවා මිස ඉන් කිසිදු ලාභ ප්‍රයෝජනයක් ලබා ගැන්මට උත්සාහ නොකලෝය. තම ජීවිතයේ අවසාන කාලයෙහිදී එහිමියෝ යම් කලකිරීමකින් පසුවූවාය යන්න සත්‍යයකි.ඒ කළකිරීම කිසිදු පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් අපේක්ෂා නොකොට මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති පාලනය පැරදවීමට අපගේ ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කල අප සැමගේ සිත්තුල පවතින්නකි.

Defining Moment යනුවෙන් ඉංගිරිසියෙහි යෙදුමක් ඇත්තේය. එහි අර්ථය යම් සිද්ධියක් හෝ ඉන් අනතුරුව සිදුවන සිද්ධි දාමයක් සනිටුහන් කරන, තීරණය කරන හෝ සංකේතවත් කරන එක් කේවල සංසිද්ධියක් යන්නයි. (Defining Moment = an event that typifies or determines all subsequent related occurrences.)

මේ සම්බන්ධ එක් රසවත් අතුරු කථාවක් (An anecdote) මගේ මතකයට නැඟේ. 1999 ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණය කලේ ඕස්ට්‍රේලියානුන්ය. ඔවුන්ට නායකත්වය දුන්නේ ස්ටීව් වෝ විසිනි. දකුණු අප්‍රිකාව හා සමඟ පැවති අවසන් පූර්ව තරඟයේදී ස්ටීව් වෝ ලබාදුන් පහසු උඩ පන්දුවක් දකුණු අප්‍රිකානු පිලේ දක්ෂම පන්දු රකින්නෙකු වූ හර්ෂල් ගිබ්ස් අතින් ගිලිහී ගියේය.ඉක්බිති අර්ධ ශතකයක් ලබා ගත් ස්ටීව් වෝ ලෝක ශූරතාවය දක්වා ඕස්ට්‍රේලියානු පිල මෙහෙයවීය.

පසු කලෙක ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් අනතුරුව පැවති සම්මුඛ සාකච්ඡාවකදී ස්ටීව් ගෙන් මෙසේ අසනු ලැබීය.

“Steve..let’s talk about 1999 world cup. When did you positivey thought you could win the world cup?”

“Well to speak frankly, the defining moment was when Gibbs dropped that catch off me. Until then I was in two minds. But not after that. At that very momnet I knew we are going to be the champions,”

අති ගරු මාදුළුවාවේ සෝභිත හිමියනි , පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ඒකාධිපති, අධිකාරිවාදී පාලන තන්ත්‍රය පරදවා අපට ජයග්‍රහණය කල හැකිබවට පොදු මහජනයා තුල විශ්වාසයක් ගොඩ නැඟුනේ ඔබ නිර්භයව පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන බව පැවසීමත් සමඟය. එදින ඔබ බල ගැන්වූ පොදුජන බල වේගය 2015 ජනවාරි 8 වන දින ඒකාධිපතිවාදය පරදවා ජයග්‍රහණය කලේය. ඒ වෙනුවෙන් මෙරට නිදහස, සමානාත්මතාවය අගයන් සියල්ලෝ ඔබට සදා ණයගැති වම්හ.

ඔබතුමන්ට නිවන්සුව!!!
– http://ranrandil.blogspot.ch/2015/11/366.html

Archive

Latest news

Related news