Sunday, May 19, 2024

ඇවන්ට් ගාඩ් සමාගම ගැන අනුර දිසානායක නැගූ ප්‍රශ්නයට අගමැතිගෙන් අසම්පූර්ණ පිළිතුරක්

(අසම්පූර්ණ පිළිතුරු කලු අකුරින් දැක්වේ)

පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 23 (2) යටතේ 2015.09.22 දින ආන්දෝලනාත්මක ඇවන්ට් ගාඩ් සමාගම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා වෙත ප්‍රශ්ණ පත්‍රයක් යොමු කරන ලද අතර අද අග්‍රාමාත්‍යවරයා විසින් ඒ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු දෙන ලදී. දිසානායක මහතා අසන ලද ප්‍රශ්න සහ අගමැතිවරයා දුන් පිලිතුරු සහ ඇමුණුම් මෙහි දැක්වේ.

ජාතික ආරක්ෂාවට බලපාන තීරණ ගැනීමට ආරක්ෂක ලේකම්වරයාට බලය තිබේද? එසේ බලය නොමැත්තේ නම් ඔහුට එරෙහිව ගන්නා ක්‍රියා මාර්ග මොනවාද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 (2) ව්‍යවස්ථාව ප්‍රකාරව ආරක්‍ෂක ලේකම්වරයා විසින් ත්‍රිවිධ හමුදාව හා රාජ්‍ය ආරක්‍ෂක අමත්‍යාංශය යටතේ ඇති අනෙකුත් ආයතන හා දෙපාර්තමේන්තු වල කටයුතු රාජ්‍ය ආරක්‍ෂක අමත්‍යවරයාගේ විධානයට යටත්ව මෙහෙයවනු ලබයි. එසේම, 2009 අංක 35 දරණ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී පනතේ 2 (2), 5 හා 7(2) වගන්ති ප්‍රකාරව අරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී විසින් තම කාර්යයන් ඉටු කල යුත්තේ ආරක්‍ෂක ලේකම්වරයාගේ විධානය, අධීක්‍ෂණය හා පාලනය යටතේ ය.

එසේම, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙන ආරක්‍ෂක මණ්ඩලය මඟින් ජාතික ආරක්‍ෂාවට සම්බන්ධ සුවීශේෂී තීරණ ගනු ලැබේ. ආරක්‍ෂක ලේකම්වරයාද ආරක්‍ෂක මණ්ඩල රැස්වීමට සහභාගී වන අතර එහිදී ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරය ආරක්‍ෂක ලේකම්වරයා වෙත පැවරේ.

ආරක්‍ෂක ලේකම්වරයා පමණක් නොව ඕනෑම රජයේ නිලධාරියෙකු තමන්ට නීතියෙන් පැවරී ඇති බලය ඉක්මවා කටයුතු කර ඇත්නම් එම නිලධාරියා සම්බන්ධයෙන් නිසි පියවර ගනු ලැබේ.

නයිජීරියානු තානාපති වශයෙන් සේවය කළ ඒ.එස්.පී. ලියනගේ මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇවන්ට් ගාඩ් සහ නයිජීරියානු සමාගම අතර ඇති කරගත් ගිවිසුමක මැදිහත් කරුවෙකු ලෙස අත්සන් තබනවා. ඒ සඳහා ඔහුට බලය පවරා ඇත්තේ කවරකු විසින්ද?

එවන් ගිවිසුමකට ඒ.එස්.පී. ලියනගේ මහතා අත්සන් කර ඇති බවට අනාවරණය වන ලියකියවිලි කිසිවක් දැනට රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය සතුව නොමැත.  

i)ජාත්‍යන්තර මුහුදු සීමාවේ පවත්වාගෙන යායුතු පාවෙන අවි ගබඩාව ගාලු වරායේ ස්ථානගත කිරීමට අවසර දුන්නේ කවර බලධරයෙකු විසින් ද?

මෙම පාවෙන අවි ගබඩාව ජාත්‍යන්තර මුහුදේ පවත්වාගෙන යාම ආරක්‍ෂක අමාත්‍යවරයා විසින් අනුමත කර ඇති බව එවකට රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩී.එම්.එස්.ඩී. ජයරත්නගේ අංක MOD/UD/CS/FA/1 හා 2012.09.18 දිනැති ලිපිය මගින් ඇවන්ට් ගාඩ් සමාගමේ සභාපතිවරයා වෙත දන්වා ඇත. නමුත් එම අවි ගබඩාව ගාලු වරායේ ස්ථානගත කිරීමට ලබා දුන් අනුමැතියකට අදාල ලිය කියවිලි ආරක්‍ෂක අමාත්‍යාංශය සතුව නොමැත.
(ඇමුණුම – 01)

ii)සෑම අවියක් සඳහාම නීත්‍යානුකූල බලපත්‍ර තිබේද?

මෙම ගිනි අවි සඳහා ශ්‍රී ලංකා ජනරජය මඟින් බලපත්‍ර නිකුත් කිරීමක් සිදු කර නොමැත.

iii)ගාලු වරාය තුළ පවත්වාගෙන යන මෙම පාවෙන ආයුධ ගබඩාව පිළිබඳ ශ්‍රී ලංකා පොලීසිය දැනුවත්ව සිටියාද?

2015.01.18 දින පොලිසිය විසින් මෙම පාවෙන අවි ගබඩාව වටලන තෙක් ශ්‍රී ලංකා පොලීසිය මේ සම්බන්ධව දැනුවත්ව සිටි බවක් නිරීක්‍ෂණය නොවේ.

i) එක් එක් ගිනිඅවි සඳහා නීත්‍යානුකූල ලේඛන මොනවාද? එම අවි අධීක්ෂණය කරන්නේ කවුරුන්ද?

ශ්‍රී ලංකාවේ සෑම පෞද්ගලික ගිනි අවියක් සඳහාම ගිනි අවි ආඥා පණත යටතේ ආරක්‍ෂක ලේකම්වරයා විසින් නිකුත් කරනු ලබන ගිනි අවි බලපත්‍රයක් තිබිය යුතු වේ. එම අවි අධීක්‍ෂණය කිරීමට පොලිසියට බලතල ඇත.

මෙම පාවෙන අවි ගබඩාවේ අවි සඳහා ඇත්තේ එම අවි අයත් රටවලින් නිකුත් කරන ලද බලපත්‍ර වන අතර එම අවි නාවික හමුදාවේ අධීක්‍ෂණය යටතේ භාර ගැනීම හා නිකුත් කිරීම සිදු කර ඇත.

i) “පාවෙන අවි ගබඩාවේ ඇති ආයුධ අතරින් සී මාෂල් වරුන් වෙත නිකුත් කරන ආයුධ සඳහා Booking Note මගින් ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගත යුතු වෙනවා.”ආරක්ෂක අමාත්‍යාංශයෙන් එවැනි අනුමැතියන් ලබාගෙන තිබෙනවාද? එසේ අනුමැතියන් ලබාගත් ආයුධ ප්‍රමාණය කොපමණද? ඒ කවර රටවල ආයුධ සඳහාද? මේ සඳහා සී මාෂල්ස් වරුන් වෙත නිකුත් නොකළ අවි වර්ග සහ සංඛ්‍යාව කොපමණද?

ඇවන්ට් ගාඩ් ආයතනය සතු පාවෙන අවි ගබඩාවේ ගබඩා කර ඇති අවි නිකුත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසරයක් ලබා දීම සිදු කර නොමැත. එබැවින් එම ආයුධ ප්‍රමාණය හෝ ඒවා කුමන රටවල ආයුධ ද යන්න හෝ පිළීබඳව ලිය කියවිලි ආරක්‍ෂක අමාත්‍යාංශය සතුව නොමැත.

ආරක්ෂක ලේකම් ධූරය දැරූ බස්නායක මහතා තමාගේ තනතුරට නැති බලයක් ආරෝපණය කරමින් අධිකරණයට බලපෑම් කිරීම සාමාන්‍යයෙන් කළ හැක්කක්ද? ඒ අයුරින් කටයුතු කළ ආරක්ෂක ලේකම් සම්බන්ධයෙන් මේ ආණ්ඩුවෙන් ගත් ක්‍රියාමාර්ග මොනවාද? මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කර ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවාද?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ලිඛිත ඉල්ලීමකට පිළිතුරක් වශයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා වන බී.එම්.යූ.ඩී. බස්නායක මහතා විසින් ඇවන්ට් ගාඩ් ආයතනයේ සභාපතිගේ විදේශ ගමන් තහනම ඉවත් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිරීක්ෂණයක් ඉදිරිපත් කර ඇතත් මහේස්ත්‍රාත් වරයාට ලිපියක් ඉදිරිපත් කර නැත. මෙම නිරීක්ෂණයේ සඳහන් වන්නේ ඇවන්ට් ගාඩ් සමුද්‍රීය සේවා ආරක්ෂක(පුද්ගලික) සමාගම සම්බන්ධයෙන් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ෂණයක් පැවැත්වෙන බැවින් අදාල විමර්ෂණ කටයුතු වලට බාධාවක් නොවන ලෙස එම විදේශ ගතවීම සිදු කළ යුතු බැවින් නීතිපතිවරයාගේ උපදෙස් අනුව කටයුතු කිරීම යෝග්‍ය බවය.(ඇමුණුම – 02)

මා අගමැතිවරයාගෙන් අහන්න කැමතියි ගාලු වරායේ පාවෙන අවි ගබඩාව පිළිබඳව ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග කුමක්ද කියලා?

දැනටමත් ක්‍රියාත්මක වන විමර්ශන වාර්තා ලැබුණු පසු සුදුසු ක්‍රියාමාර්ග ගනු ලැබේ.

මේ ආණ්ඩුව ප්‍රබලයන්ගේ මැදිහත් වීම හා දැඩි බලපෑම් හේතුවෙන් නීතිපතිවරයා විසින් යටපත් කළ  ඇවන්ට් ගාඩ් සම්බන්ධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් නැවත ස්වාධීන විමර්ශනයක් පැවැත්වීමට පියවර ගන්නවාද?

ඇවන්ට් ගාඩ් සිද්ධියට අදාළ පරීක්ෂණ සම්බන්ධයෙන් නීතිපතිතුමාට මැදිහත් වීම් හෝ බලපෑම් සිදු කර නොමැත. නීතිපතිතුමා විසින් කිසි අවස්ථාවක එකී ආකාරයෙන් අපරාධ චෝදනා යටපත් කර නොමැති අතර, එතුමා විසින්  2015 ජූනි මස 17, 2015 ජූනි මස 14 හා 2015 ඔක්තෝබර් 06 දිනැති උපදෙස් ලිපි මඟින් ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධව වැඩිදුරටත් විමර්ශන කටයුතු කර ගෙන යන ලෙස පොලීසියට උපදෙස් දී ඇත (ඇමුණුම 3,4 සහ 5). නීතිපතිතුමා කිසි විටක අදාල නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙස හෝ විමර්ශන කටයුතු අවසන් කරන ලෙස උපදෙස් දී නොමැත. විමර්ශන කටයුතු තව දුරටත් කරන ලෙස පැහැදිලිවම උපදෙස්  දී ඇති බැවින්ද, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් දැනටමත් දූෂණ චෝදනා සම්බන්ධයෙන් සහ පොලීසිය විසින් 2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කල හැකි චෝදනා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කර ගෙන යන බැවින් ද මේ වන විට ඉදිරිපත්ව ඇති කරුණු මත ඊට පිටස්තර තවත් විමර්ශනයක් සිදු කිරීමට අවශ්‍යතාවයක් නොමැත.

ත්‍රිවිධ හමුදාව සහ පොලීසියට ඇති බලය ඇවන්ට් ගාඩ් වෙත පවරන ලද්දේ කවර නීතියක් යටතේ කවර බලධරයෙකු විසින්ද? මේ යටතේ පුහුණුව ලැබූ සංඛ්‍යාව කොපමණද? ඔවුන් කවුද? විදේශිකයන්ට අවි ආයුධ පුහුණුව ලබා දීමට ඇති බලය කුමක්ද?

මුහුදු ආරක්ෂක නිලධාරීන් හට අවශ්‍ය පුහුණු වැඩසටහන් පැවැත්වීමට ආරක්ෂක අමාත්‍යාංශය මගින් ඇවන්ට් ගාඩ් සමාගමට අනුමැතිය ලබා දී ඇත.

ඇවන්ට් ගාඩ් සමාගමේ මෙම සැක සහිත වියදම් මොනවාද? එසේම ඇවන්ට් ගාඩ් ආයතනය වෙතින් පරිත්‍යාග වශයෙන් මුදල් ලබා දී ඇති ආයතන, පුද්ගලයින්, පදනම් මොනවාද? හා ඒ එක් එක් අය වෙත ලබා දී ඇති මුදල් ප්‍රමාණ කවරේද?

ඇවන්ට් ගාඩ් සමාගම පුද්ගලික සමාගමක් වන අතර එම සමාගමේ වියදම් සහ පරිත්‍යාග ලබා ගැනීම සම්බන්ධයෙන් වාර්තා රජය සතුව නොමැත. කෙසේ වුවද, ඇවන්ට් ගාඩ් සමාගම විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යම් වරදක් සිදු කර ඇත්ද යන්න පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනය කරමින් පවතී.

2012.12.15 දිනැති අංක 36 දරණ රක්නා ආරක්ෂක ලංකා සහ ඇවන්ට් ගාඩ් සමාගම අතර ඇති කරගත් බද්ධ ව්‍යාපාර ගිවිසුම අනුව රක්නා ආරක්ෂක ලංකා සමාගම වෙත ලාභයෙන් 50% ක මුදලක් ගෙවිය යුතුය. මේ දක්වා එලෙස ගෙවන ලද මුදල කොපමණද?

ඉහත දක්වා ඇති ගිවිසුමට අමතරව, 2013.03.28 වන දින දෙපාර්ශවය විසින් එළඹගත් පරිශිෂ්ටයක් (Addendum) අනුව රක්නා ආරක්ෂක ලංකා ආයතනයට ගෙවීම් කරනු ලබන්නේ පිරිවැටුමෙන් 18% ප්‍රතිශතයක් ලෙසය. ඒ අනුව ඇවන්ට් ගාඩ් සමාගම විසින් රක්නා ආරක්ෂක ලංකා සමාගම වෙත රුපියල් මිලියන 1014 ක මුදලක් (රු 1,014,147,312.20) ලැබී ඇති බවත් රුපියල් මිලියන 475 ක (රු.475,113,351.00) හිඟ මුදලක් අයවිය යුතු බවත්  රක්නා ආරක්ෂක ලංකා සමාගම වාර්තා කර ඇත.

Archive

Latest news

Related news