Thursday, April 25, 2024

ජනපති මන්දිරයේ අඩි 30 ක් පොළව යට සුපිරි මාළිගාවක්

ජනාධිපති මන්දිරය යට අඩි 30 ක් ගැඹුරට සුඛෝපභෝගි පහසුකම් සහිතව මාළිගයක් තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දිනයේ පරිසර නියමු පදක්කම් පැළදවීම සඳහා ජනාධිපති මන්දිරයට පැමිණි දරුවන්ට මෙන් ම ඒ සමග පැමිණි ගුරුවරුන්ටද හෙළි කර ඇත.

ජනාධිපතිතුමා ගේ ඉල්ලීම අනුව එම පිරිසට මෙම මාළිගාව නැරඹිමට ද අවස්ථාව සලසා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශයේ තොරතුරු ආශ්‍රිතව වාර්තා වෙයි.

වායු සමනය කර ඇති මෙම මාළිගය තුළ යෝග ව්‍යායාම් ශාලා, කායවර්ධනාගාර ඇතුළු පහසුකම් රැසක් ඇති බව ද, එය නඩත්තු කිරීමට පමණක් මසකට ලක්ෂ තිහක මුදලක් වැයවන බැවින් සියලු නඩත්තු කටයුතු රුපියල් ලක්ෂ පහකින් පමණ නිම කර ගත හැකි නිවසක තමා ජීවත්වන බව ද මෙහිදී ජනාධිපතිවරයා පදක්කම් පැළදවිමේ අවස්ථාවට සහභාගි වු දරුවන් සහ ගුරුවරුන් ඉදිරියේ හෙළි කර ඇත.

තමා ජනාධිපති මන්දිරයේ සිය නිවස ලෙස යොදා නොගන්නේ තමා එහි වෙසෙන්නේ නම් මසකට එහි විදුලි බිල පමණක් රුපියල් ලක්ෂ 150 ක් වන නිසා බව පැවැසූ ජනාධිපතිවරයා දැනටත් මසකට රුපියල් 30 ලක්ෂයක විදුලි බිලක් ජනපති මන්දිරය වෙනුවෙන් දරන්නට සිදු ව ඇති බව ද පැවසී ය.

පොළව යට මේ මාළිගාව ඉදිකොට ඇත්තේ රාජපක්ෂවරුන් විසින් බව වාර්තා වේ. සම්පූර්ණයෙන්ම වායුසමීකරණය කරන ලද අධිසුඛෝපභෝගී මන්දිරයක් ලෙස මෙය ගොඩ නඟා තිබේ.

මෙහි කොටසක් පොළවෙන් මතුපිටට ද ඉදි කර ඇති අතර මෙම ගොඩ නැගිල්ලේ වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාවිරහිත කිරීමට නොහැකි ලෙස පැය 24 පුරාම ක්‍රියාත්මක වන ලෙස සකසා ඇත. එලෙස වායු සමන යන්ත්‍ර ක්‍රියාත්මක කර තැබීමට සිදු ව ඇත්තේ අදාළ සුඛෝප භෝගී මන්දිරයයේ බිත්ති ආවරණය කර ඇති සුවිශේෂි දැව ආවරණයේ ආරක්ෂාව පතා බව වාර්තා වේ.

මෙම සුඛෝපභෝගී මන්දිරය කාමර 5 කින්, නාන කාමර 8 කින් හා ආලින්ද තුන හතරකින් සමන්විත වේ.

මෙම ජනාධිපති මන්දිරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවස ලෙස යොදා ගත්තේ ද නැත. එය රාජතන්න්ත්‍රික හමුවීම් සඳහා යොදා ගත්තා පමණ ය. එයට අමතර ව මෙම මන්දිරය බොහෝ විට භාවිත කර ඇත්තේ හිටපු ජනපත් පුත් නාමල් රාජපක්ෂ හා ඔහු ගේ රගර් මිතුරන් ගේ හමුවීම් හා සුඛ විහරණය පිණිස බව ද වාර්තා වේ.
CP

Archive

Latest news

Related news