Tuesday, May 7, 2024

වෙඩි ප්‍රහාරවලට යහපාලන ගමන නැවැත්විය නොහැක – එජාපය

(වෙඩි තැබීමෙන් පසු ස්ථානය දිස් වු අයුරු- ලංකාදීප ජායාරෑපයකි)

යහපත් දේශපාලන සංස්කෘතියක් දැකීමට අකමැති පිරිස් භීෂණය වපුරා මැතිවරණය ජයග්‍රහණය කිරීමට දරණ උත්සහයේ ආසන්නතම සිදුවීම කොළඹ බ්ලූමැන්ඩල් පෙදෙසේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවෙන් පැහැදිලි වේ. අමාත්‍ය රවී කරුණානායක මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට එක්ව සාමකාමීව ගමන් කළ පිරිසකට එල්ල වූ මෙම ප්‍රහාරය එක්සත් ජාතික පක්‍ෂය තරයේ හෙළා දකියි.

ශ්‍රී ලංකාවේ ශීලාචාර දේශපාලනයක් ඇති කිරීමට දරන උත්සාහය මෙවැනි අශීලාචාර සිදුවීම් තුළින් ආපසු හැරවීමට කිසි විටෙක අප ඉඩ නොදෙමු. ජනවාරි 08 වන දා රට තුළ බිහි කළ යහපාලනය තුළ සාමකාමී මැතිවරණ ව්‍යාපාරයක් මේ දක්වා පවත්වා ගෙන යාමට මැතිවරණ කොමසාරිස්වරයාට හැකියාව ලැබුණි. ඒ රජය පැහැදිලිවම භීෂණයට සහ අවනීතියට ඉඩ නොදීම නිසයි. මෙවැනි බියගුළු තිරශ්චීන ප්‍රහාරයන් තුළින් අප ලැබූ යහපාලන ජය ආපස්සට හැරවීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව අවධාරණය කරමු. මෙම සිදුවීම පිළිබඳ කඩිනම් පරීක්‍ෂණයක් පවත්වන ලෙස ආරක්‍ෂක අංශවලින් ඉල්ලා සිටිමු.

යහපාලනය සඳහා වූ ජයග්‍රහණය වඩාත් තහවුරු කරලීම ප්‍රාර්ථනා කරමින් එක්සත් ජාතික පක්‍ෂ මැතිවරණ ව්‍යාපාරයේ යෙදී සිටිය දී ඝාතනයට ලක්වූ පක්‍ෂයේ ක්‍රියාකාරී සාමාජිකාවගේ අභාවය පිළිබඳ පක්‍ෂයේ සාතිශය සංවේගය, එතුමියගේ පවුලේ උදවියට පිරිනමමු. එමෙන්ම බරපතළ ලෙස තුවාල ලබා රෝහල්ගත කර සිටින සියලූම පාක්‍ෂිකයන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. මෙවැනි හුදකලා සිදුවීම්වලින් කම්පනයට පත් නොවී ඉදිරි දින කිහිපය තුළත් යහපාලන අරමුණු සාක්‍ෂාත් කර ගනිමින්, සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා සියලූ දේශපාලන පක්‍ෂවලත්, අපේක්‍ෂකයින්ගේත්, ක්‍රියාකාරී කොටස්වලත් සාමූහික අදිටනක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය බව එක්සත් ජාතික පක්‍ෂය යළිත් අවධාරණය කරමු.

(2015 ජූලි 31 එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතා නිකුත් කළ නිවේදනයකි)

Archive

Latest news

Related news