Wednesday, May 8, 2024

වරෙන්තුවකින් තොරව ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීමට කරුණු තියෙනවා – නීතිපති

එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ප්‍රධාන පෙළේ නායකයන් සමඟ සම්බන්ධතා පවත්වමින් රාඩා ආයතනයේ මුදල් වංචා කිරීම මඟින් සාපරාධී විශ්වාසය කඩකිරීම සහ මහජන මුදල් අයථා පරිහරණය යටතේ වරෙන්තුවකින් තොරව වුවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීමේ හැකියාව ඇතැයි නීතිපතිවරයා ඊයේ (30) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

කිලිනොච්චියට කිසිවකුට යා නොහැකි අවධියක එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ප්‍රබලයකු සංවිධානය කළ රැස්වීමක මුල් පුටුව හෙබවූ අලස් මහතා, රාඩා ආයතනයේ මුදල් හිතුමතේ වැරැදි සහගත ලෙස පරිහරණය කර ඇති බවට සනාථ කිරීම සඳහා ප්‍රමාණවත් තරම් සාධක සහ තොරතුරු ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයෙහි පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා කීය.

තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් එය වළක්වන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී කෝදාගොඩ මහතා ඒ බව සඳහන් කෙළේය.

අගවිනිසුරු කේ. ශ්‍රී පවන්, ඊවා වනසුන්දර, රෝහිණී මාරසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි එම පෙත්සම කැඳවන ලදී.

මෙම පෙත්සම ඊයේ (30) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා සහ වගඋත්තරකාර පොලිස් නිලධාරීන් වෙනුවෙන් කරුණු දක්වමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ මහතා දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කෙළේ එල්. ටී. ටී. ඊ. නායකයන් සමඟ සම්බන්ධතා පවත්වා ගනිමින් රාඩා ආයතනය හරහා රජයේ මුදල් අයථා පරිහරණය කර ඇති බවය. ඒ සම්බන්ධයෙන් කරුණු දක්වමින් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මෙසේ කීය.

2005 වසරේ දෙසැම්බර් මාසයේදී පිහිටවූ රාඩා ආයතනය 2007 වසර තෙක් ක්‍රියාත්මකව පැවැති අතර එහි සභාපතිවරයා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස පෙත්සම්කාර ටිරාන් අලස් මහතා කටයුතු කර ඇති අතර ඔහු විධායක අධ්‍යක්ෂවරයා නොව විධායක නොවන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ බවට පෙත්සමෙන් ඉදිරිපත් කර ඇති තොරතුරු මුළුමනින්ම අසත්‍යයයි. අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් මේ පෙත්සම ගොනුකර ඇති බවට සඳහන් කරමින් රාඩා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා වූ සාලිය වික්‍රමසූරිය මහතා සිය නීතිඥවරයා ‍මගින් නීතිපතිවරයා වෙත දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙනවා.

රාඩා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වූ ටිරාන් අලස් මහතා ප්‍රධාන එල්. ටී. ටී. ඊ. නායකයන් කිහිපදෙනකු සමඟ සම්බන්ධතා පවත්වා තිබෙනවා. එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් සමඟ එක්ව රාඩා ආයතනයේ මුදල් අයථා ලෙස පරිහරණය කරමින් වරදක් කර ඇති බවට සහතික කිරීමට අවශ්‍ය තරම් තොරතුරු විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ටිරාන් අලස් රාඩා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කළ බවට ඔප්පු කිරීමට ප්‍රමාණවත් තොරතුරු තිබෙනවා. “ජය ලංකා” නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් කිසිදු පළපුරුද්දක් නැති නවතම සමාගම් දෙකකට ර‍ාඩා ආයතනයේ මුදල් ලබා දෙමින් චෙක්පත් නවයක් නිකුත් කර ඇති අතර ඉන් දෙකක් ටිරාන් අලස් මහතා විසින්ම අත්සන් තබා ඇති බව බැංකු වාර්තා අනුව අනාවරණය වුණා.

සුනාමියෙන් සහ උතුරේ ත්‍රස්තවාදය නිසා හානියට පත් නිවාස වෙනුවට නිවාස ඉදිකිරීම සඳහා වන ව්‍යාපෘතියක් ලෙස ‍එම ව්‍යාපෘතිය නම් කර තිබුණා.

ප්‍රධාන පෙළේ එල්. ටී. ටී. ඊ. සාමාජිකයකු වූ එමිල් කාන්තන් සමඟ සම්බන්ධතා පවත්වමින් එම මුදල් ගනුදෙනු කර තිබෙනවා. ත්‍රිකුණාමලයේ සහ මඩකළපුවේ නිවාස 400 බැගින් ඉදිකිරීම සඳහා සමාගම් දෙකකට බාර දී මුදල් ලබා දී ඇත්තේ කැබිනට් අනුමැතියකින් හෝ කිසිදු ලංසු කැඳවීමකින් තොරවයි.

එල්. ටී. ටී. ඊ. සංවිධානයේ නායකයකු වූ පූවන්නන් කිළිනොච්චි හි සංවිධානය කළ රැස්වීමක ප්‍රධානියා ලෙස ටිරාන් අලස් මහතා කටයුතු කළ බවට එහි හිටපු රජයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන් දෙදෙනකු වන ඉමෙල්ඩා සුකුමාර් සහ කන්දයියා ගනේෂ් දිවුරුම් ප්‍රකාශ දී තිබෙනවා.

නිවාස ඉදිකිරීම වෙනුවෙන් තම හිතවත් එමිල් කාන්තන්ට අයත් සමාගමකට සහ එමිල් කාන්තන්ට ඇටර්නි බලය ඇති සමාගමකට මුදල් ලබා දුන් අලස් මහතා එකදු නිවසක් ඉදි නොකර තිබුණද නිවාස ඉදිවෙමින් පවතින බවට සඳහන් ලිපියක් ඉල්ලා එම රජයේ නිලධාරීන් දෙදෙනාට අලස් මහතා බලපෑම් කර ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.

මේ මූලික අයිතිවාසිකම් පෙත්සම නිසා පෙත්සම්කරුට එරෙහි විමර්ශන නිසි පරිදි කළ නොහැකිව තිබෙනවා. විමර්ශන කටයුතු කරන නිලධාරීන්ට එම කටයුතු කරගෙන යා නොහැකිව තිබෙනවා යැයි ද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කෙළේය.

පෙත්සම්කාර ටිරාන් අලස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කෙළේ පෙත්සම්කරු මේ වන විටත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ගොස් කටඋත්තර දී ඇති බවය.

ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය ද අධිකරණ භාරයට ගෙන ඇති බව හෙතෙම කීය. කවර වරදක් කළද ඕනෑම පුද්ගලයකුට නිදහ‍ෙස් ජීවත්වීමේ අයිතිය ඇති අතර ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ඇති බව පැහැදිලිව සනාථ වන බව ද ඔහු කීය.

පුද්ගලයකු අත්අඩංගුවට නොගෙන විමර්ශන කටයුතු කිරීමේ හැකියාව තිබියදී දේශපාලන පළිගැනීම් ලෙස පෙත්සම්කරුව අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් ඇති බව ද, එලෙස අත්අඩංගුවට ගතහොත් ටිරාන් අලස් මහතාගේ මූලික අයිතීන් උල්ලංඝනය විය හැකි බව ද හෙතෙම සඳහන් කෙළේය.

– දිනමිණ

Archive

Latest news

Related news