Friday, May 3, 2024

සිරස නාලිකාවේ රන්බිම ව්‍යාපෘතිය පගාවක් ද?

දැන් පෙන්වනවා ! මාධ්‍ය සන්නිය සිරස දෙරණ රඟන දේශපාලන ට්‍රැජි කොමඩිය.

සිනමාව කඩා වැටී ඇතැයි දැන් දැන් බොහෝ අය කියතත් එකල එහෙම නැත. හැම නගරයකටම පාහේ සිනමා ශාලා එකකට වැඩි සංඛ්‍යාවක් තිබිණි. අඩුම තරමේ සිනමා ශාලා දෙක බැගින්වත් තිබුණු බව අපට මතකය. මහනුවර වෙම්බ්ලි සහ රීගල්ය. කුරුණෑගල සිනේක්ස්පෝ සහ නිව් ඉම්පීරියල්ය. ටාසන් සහ චායා කෑගල්ලේය. පර්ල් සහ සාගර තිබුණේ හලාවතය. නුගේගොඩ ක්වීන්ලන් සහ මෙට්‍රෝය. අනුෂා සහ නැෂනල් මහරගමය. රිට්ස්, ලිඩෝ බොරැල්ලේය. මේ සිනමා ශාලාවලට ඒ කාලයේ සින්දු ෆයිට් පමණක් නොව කොමඩිද යහමින් තිබෙන චිත්‍රපට ඕනෑ තරම් ආවේය.

ගාමිණී ෆොන්සේකා රඟපෑ චණ්ඩියා පැල් බැඳගෙන දිව්වේය. මරු සිරා පිළිබඳ එකම කතාව දෙවිදිහකට හැදූ රවීන්ද්‍ර රන්දෙනිය රඟපෑ සිරිපාල හා රන්මැනිකා මෙන්ම විජය කුමාරතුංග රඟපෑ මරුවා සමග වාසේද හොඳට දිව්වේය. අමරසිරි කලංසූරිය රඟපෑ පොඩි විජේද ටොප් එකට දිව්වේය. අල්ලපු ගෙදර මෙන්ම කොළඹ සන්නිය මෙන්ම ඇර සොයිසාද හොඳට දිවූ කොමඩි පික්චර්ය. තමන්ට උවමනා ආකාරයේ චිත්‍රපටයක් බලන්නට එකල සිනමා ප්‍රේක්ෂකයාට අවස්ථාව තිබිණි. කොයි තරම් ෆයිට් තියෙන චිත්‍රපට සිනමා ශාලාවලට ආවත් චිත්‍රපටය ඇතුලේ ෆයිට් තිබුනා මිස, කවදාවත් සිනමා ශාලා – සිනමා ශාලා ගහමරාගත්තේ නැත. බොරැල්ලේ රිට්ස් සහ ලිඩෝ අතර දුර බඹ පහළොවක්වත් නැත. කවදාවත් ගුටි ඇනගත්තේ නැත. මහරගම නැෂනල් සහ අනුෂා අතර හූවක දුරය. ගහමරාගත් බව අප අසා නැත. අනිත් ඒවාත් එහෙමය. දැන් අපි මාතෘකාවට එමු.

දැන් රූපවාහිනී ගුවන්විදුලි චැනල හැටහුටාමාරක් ඇත. කොයි අතේ බැලුවත් මහා මාධ්‍ය අධිරාජ්‍යයන්ය. ටෙලිවිෂන් චැනලවල විවිධ මාලා නාටක විකාශනය වෙයි. සිංහල ඉංග්‍රීසි දෙමළ මෙන්ම වෙන වෙන රටවල වෙන වෙන භාෂාවල ඒවා සිංහලට දෙමළට හඬකවා විකාශනය වන්නේය. මේ මාලා නාටකවල – චිත්‍රපටවල එන චරිත ගහගනිති. බැනගනිති. අවලාද කියා ගනිති. සමහරවිට වෙඩි තබාගනිති. ඇනකොටා ගනිති. මෙච්චර කාලයකට ඒ ඒ දර්ශන විකාශනය කළා මිස ඒ ඒ නාලිකා අතර සටන් තිබුනේ නැත. තිබුනානම් තිබුනේ සීතල යුද්ධය. ඒවායින් කාටවත් විශාල තුවාල සිදු නොවූ අතර ඒවා කාටවත් පෙනුනේද නැත. හැබැයි දැන් එහෙම නැත. දැන් තිබෙන්නේ උණුසුම් යුද්ධය. ඒ යුධ හරඹ දැන් එළිපිටම `සුවහසක් ප්‍රේක්ෂක ජනයා` ඉදිරිපිට සජීව ලෙස විකාශනය වෙමින් තිබේ. මහා මාධ්‍ය පරමාදර්ශයන්ගේ නිරුවත, ඒ විකාර සහගත සටන්බිම්වල මනාව ප්‍රදර්ශනය කෙරෙමින් තිබේ. එක අතකට නොව කොයි අතකට බැලුවත් කාගෙ කාගෙත් රෙදි ගැලවෙන එක හොඳය. එතකොට කවුරු කවුරු ගැනත් තීන්දු තීරණ ගන්නට පහසුය. කාගෙ කාගෙත් කැරැට්ටු පිළිබඳ සහතික පත්‍ර තාප්පයේ ඇලවෙන එක හොඳය. එතකොට වැරදි පාරවල් වලට වැරදි සිග්නල් දෙන තක්කඩියන් සමාජයට විවෘත වෙනවාය.

කිලීගේ සිරස දිලිත්ගේ දෙරණට ගහන – දිලිත්ගේ දෙරණ කිලීගේ සිරසට ගහන යථාර්තය හරියටම තේරුම්ගන්නට උවමනාය. එයට අත්‍යවශ්‍ය ඉලක්කම් ටිකක් ඇතුළත් ලස්සන කතාන්දරයක් දැන් එළියට පැමිණ ඇත. ඔවුනොවුන් විසින්මත් – විවිධ වෙබ් අඩවි විසිනුත් හෙළිදරව් කරමින් පවතින ඒ තොරතුරු මොනවාද කියා මුලින්ම බලමු. ඒ සඳහා අප දැන් කොළඹ ඉදිවන චයිනා පෝට්සිටි හෙවත් චීන වරාය නගරයට සම්ප්‍රාප්ත විය යුතුය. චයිනා පෝට්සිටි ව්‍යාපෘතිය මෑත කාලීන ලංකා ආර්ථිකය හොල්ලන ලද විශාලතම සෘජු ආයෝජනයය. චයිනා පෝට්සිටි ඩිවෙලොප්මන්ට් කොම්පැනි නමැති සමාගම මෙම ව්‍යාපෘතියේ පෙනෙන්නට සිටින ආයෝජකයාය. ඇමරිකානු ඩොලර් බිලියන 4.6 ක දැවැන්ත ආයෝජනයක් වෙනුවෙන් කොළඹ සංවේදීම වෙරළ තීරයට යාබද සාගරයෙන් අක්කර 268 ක් ගොඩකරමින් මෙම ව්‍යාපෘතිය දියත් වෙමින් පවතින්නේය. චීන – ශ්‍රීලංකා රාජ්‍ය නායකයන් හිතුමනාපෙට අත්සන් කළ මෙම ව්‍යාපෘතියට අදාළ ගිවිසුම, අත්සන් කළදා පටන් ආන්දෝලනාත්මක එකක් වූයේය. මෙම ව්‍යාපෘතිය පරිසරයට දැඩි හානි පමුණුවන එකක් බව පරිසරවේදීන්ගේ මතය විය. ආර්ථික වශයෙනුත් පාරිසරික වශයෙනුත් මරඋගුලක් ලෙස පෝට්සිටි ව්‍යාපෘතිය හඳුනා ගැනිණි. ඒ නිසාම පසුගිය ජනාධිපතිවරණ සමයේ පෙරළිකාර මාතෘකාවක්ද වූයේ.

නව ජනාධිපතිවරයාත් නව අගමැතිවරයා ප්‍රමුඛ නව ආණ්ඩුවත් පත්වීමෙන් පසු මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු තාවකාලිකව අත්හිටවනු ලැබීය. චීනය මැදිහත්වීමෙන් දියත්වන පෝට්සිටි ව්‍යාපෘතිය නිසා අසල්වැසි ඉන්දියාවේ හිත රිදෙන තත්වය මෙන්ම ඒ හා බැඳුණු කලාපීය හා ගෝලීය බල දේශපාලන අර්බුදයන් ලංකා රාජ්‍යය පැත්තෙන් කළමණාකරණය කරගැනීම සඳහා කිසියම් තර්කානුකූල කාලයක් අවශ්‍ය බව පැහැදිලිය. කෙසේවෙතත් යෝජිත වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු වලට එරෙහිව සැලකියයුතු තරම් විරෝධයක් එනවිට එහි ඉදිරියෙන්ම කටයුතු කළ මාධ්‍ය ආයතනය වූයේ සිරසය. cctv කැමරාවලින් ලබාගත් දර්ශන යොදාගනිමින් `මනරම්` මාධ්‍ය හරඹයක යෙදුනු සිරස එක්වරම ඒ මහා විරෝධය අකුලාගත්තේ ඇයි ? ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන්නේ වැඩියෙන්ම කෑ ගැසූ මාධ්‍ය ආයතනය වැඩිම මුදලක ඩීල් එකක් අදාළ ව්‍යාපෘතියේ නියමුවන් සමග දමාගත් බවය.
ඒ මෙසේය. චයිනා පෝට්සිටි ඩිවෙලොප්මන්ට් කොම්පැනි, ෆීනික්ස් ඔගිල්වී නමැති ප්‍රතිරූප ප්‍රවර්ධන සමාගමකට කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇත. ඒ තමන්ගේ ප්‍රතිරූපය ඉහල දමා ගැනීමටත් දිගින් දිගටම එල්ලවන මාධ්‍ය ප්‍රහාරයන්ගෙන් ගැලවීමටත්ය. එම කොන්ත්‍රාත්තුව ඩොලර් මිලියන ගණනක එකක් බව සැලවූ වහාම මහරාජා ලොක්කා වරාය ව්‍යාපෘතියේ ඉහලම ලොක්කෙක් සමග ඩීල් එක ආරම්භ කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මාධ්‍ය ප්‍රහාර නැවත්වීමට එකඟ වී ඇති අතර මූලික අත්තිකාරම් මුදල ඇමරිකානු ඩොලර් මිලියන තුනක් බව කියන්නේ අප නොව දෙරණය.

සම්පූර්ණ කොන්ත්‍රාත්තුව වෙනුවෙන් යෝජනා වී ඇති මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 25 කි. මුල් අදියරේ කටයුතු සඳහා රුපියල් ලක්ෂ 4000 කට ආසන්න මුදලක් ලබාගෙන ඇතිබව ව්‍යාපාරික හා මුල්‍ය ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග පවසයි. දැන් පෝට්සිටි ව්‍යාපෘතිය රන්බිම ව්‍යාපෘතිය බවට පත්වී ඇත. ඒ රන්බිමේ නෙළුම් කුලුනටත් වඩා උස කුළුණක් ඉදිවන බව කියවෙන්නේය. පෝට්සිටි ව්‍යාපෘතියේ නරක සියල්ල එක රැයෙන් හොඳ වී ඇත්තේය. ඔය කිව්වේ දැනට කව්රුත් දන්නා කතාවය. ලියනවානම් තව ඕනෑ තරම් කතා ඇත. ගියසැරේ ගෝටා විවෘත කළ , මේ සැරේ අලුත් නායකයා විවෘත කළ , වෙසක් කලාපයේ ප්‍රධාන අනුග්‍රාහකයාද අභිරහස් මාධ්‍ය අධිරාජ්‍යයේ ගොදුරකි. එම සමාගම හදන්නට ගිය තරුපහේ නිවාස සහ හෝටල් සංකීර්ණය ගැන හෙළිදරව් කරන්නට ගොස් බයකර ගත් කප්පම හෙවත් ඇම්බුෂ් මාකටින් වලින් හොයාගත් මුදල එක් වෙසක් කලාපයකට රුපියල් මිලියන පනහ බැගින් රුපියල් මිලියන සියයකි. සත්‍යය විකුණන මාධ්‍ය කලාවේ නිරුවත ඔන්න ඔහොමය. වී ඩිසයිඩ් යූ රිපෝට් සෙල්ලමේ, ඇත්ත රිපෝට් එකේ දත්ත ඔන්න ඔහොමය.

මේවා හැමෝම දන්න ඒවාය. හැබැයි කව්රුත් කටක් ඇර කියන්නේ නැත. මේවා අනුර – චම්පික – රතන – වර්ණසිංහ වර්ගයේ හෝ වෙනත් වර්ගයක උදවිය දන්නේ නැද්ද ? හොඳටම දන්නවාය. හැබැයි කටක් ඇර කියන්නේ නැත. මාධ්‍ය අධිරාජ්‍යවලට රැඩිකල්ම දේශපාලකයාත් පට්ට බයය. මහින්දගේ වශී බෝලයට වඩා මේ මාධ්‍ය වශී බෝලය භයානක එකකි. වොයිස් කට් එකක් වෙනුවෙන් දේශපාලන ප්‍රතිපත්ති පාවාදෙන විකාරයක් නිර්මාණය වී ඇත්තේය. ප්‍රෝග්‍රෑම් එකක් වෙනුවෙන් දේශපාලන මතවාද උගුරේ හිරකරගෙන චව් චව් ගාන යුගයක් උදා වී ඇත. නිවුස් එකේ යන විෂුවල් එකක් වෙනුවෙන් නරකම දේශපාලන කුහකකම නඩත්තු කරන අමන යුගයක් පැමිණ ඇත. අපේ කාලයේ ජනතා දේශපාලනය යටකරගෙන මාධ්‍ය දේශපාලනය උඩට ඇවිත් තිබෙන්නේ ආන්න ඒ ආකාරයටය. අනෙක් අතට පීඩිත පන්තියේ දෙමළෙක් හයියෙන් කතාකළත් සිංහල රාජ්‍යයේ ස්වෛරීත්වයට භෞමික අඛණ්ඩතාවට අරකට මේකට හානි වෙනවාය කියන සිංහල මුර දේවතාවුන් මාධ්‍ය අධිරාජ්‍යය ඉදිරියේ නකුට සඟවන් සිටීම සිනහ උපදවන්නේය. ජාතිය තක්කඩිකමට ප්‍රශ්නයක් නැති බව ඔප්පු කෙරෙමින් පවතින්නේය.

මේවා මෙහෙම ලිව්වා කියා සිරසට ගහන දෙරණට හුණු ගාන තැනකට අප වැටෙන්නේ නැත. කවුරුත් එහෙම අර්ථ කතන දෙන්නට ඉක්මන් වියයුතුත් නැත. රාජපක්ෂ රෙජීමය සමග ඩීල් ඩීල් දැමූ උදවියගේ චරිත සහතිකය කොටස් වෙළඳපොල පැත්තේ පොඩි රවුමක් ගැසීමෙන් පහසුවෙන් සොයාගන්නට බැරිකමක් නැත. එහෙත් `වන් ඩොන්කි ඇට් අ ටයිම්`හෙවත් `එක වරකට එක බූරුවෙකි` කියා කියමනක් ඉංග්‍රීසි භාෂාවෙහි තිබේ. ඒ නිසා අපි අදට මෙතැනින් නවත්වමු.

සිනමා ශාලා ගහමරාගන්නා ආකාරයේ විහිළුකාර සෙල්ලමක් වන `මාධ්‍ය සන්නිය` නැරඹිය යුත්තේ මෙන්න මේ අවබෝධය සහිතවය. මරුසිරා චරිතයට පනදෙන්නට හදන ඇර සොයිසලා නිරුවත් කරන්නට අප දෙවරක් හිතන්නේ නැත.

මක්නිසාද යත් අප කරන්නේ `දේශපාලනය` නිසාය.!

(රන්දිව -දේශපාලන සටහන)

Archive

Latest news

Related news