Saturday, May 4, 2024

ඉහළ අධිකරණ විනිසුරුවරුන් ඉල්ලා අස්වි 19 ට ඉඩ දෙන්න – පුරවැසි බලය

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් නීතිගත වී ඇති බැවින් එයට අනුව රටේ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කළයුතු යැයි පුරවැසි බලය කියා සිටී.

ඒ අනුව ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ එම ධූරවලට සුදුසු ගෞරවනීය පුද්ගලයන් පත්කර ගැනීම සඳහා ඉඩ ප්‍රස්ථාව සලසා දිය යුතුයැයි පුරවැසි බලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි. 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා අධිකරණයේ ස්වාධීනත්වය හා සුපිළිපන්භාවය සම්බන්ධයෙන් රටේ පරමාධිපත්‍යය හිමි මහජනතාව තුළ හටගත් සැකසංකා ඉවත් කොට ස්වාධීන හා සුපිළිපන් අධිකරණ පද්ධතියක් රටේ ස්ථාපිත කළහැකි බව පුරවැසි බලය විශ්වාස කරන බව ද ඔවුන් කියා සිටී.

මීට අමතරව සියලු පාර්ශ්වවල අදහස් හා යෝජනා සැළකිල්ලට ගෙන මේ වනවිට ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කිරීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

පුරවැසි බලයේ මෙම නිවේදනයට එහි සම කැඳවුම්කරුවන් වන  ධර්මසිරි බණ්ඩාරනායක,  ගාමිණී වියන්ගොඩ, සමන් රත්නප්‍රිය, ජෝසප් ස්ටාලින් , නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන යන මහත්වරුන් අත්සන් තබා ඇත.

 

Archive

Latest news

Related news