Monday, July 15, 2024

වසර හයකට පසු ශ්‍රී ලංකාව: රෑ වැටුණු වලේ දවල් නොවැටෙනු පිණිස – නිලන්ත ඉලංගමුව

( වසර හයකට පෙර)

වසර හයක් ගත වී ඇත. ඒ, එල්. ටි. ටි. ඊ. සංවිධානය පරාජය කිරීමෙන් පසු ලංකාවය. එම ඓතිහාසික සිදුවීමෙන් පසු රටේ දේශපාලන පසුබිම වෙනස් වී ඇති ආකරය සහ එහි ඇති බලපෑම සමාජය තුළට විසරණය වී ඇති අකාරය පිළිබඳව විමසීම වැදගත් වේ. මෙහි ඇති ඉතා වැදගත් කාරණය වූ කලී ලංකාවේ දේශපාලන ප්‍රවණතා වල සිදු වූ වෙනස් වීම සහ සර්වජන ඡන්ද බලය එය හිමි පුද්ගලයා විසින් භාවිතා කරන ස්වභාවයේ දැකිය හැකි අනුවේදනීය, අවුල්සහගත මෙන්ම මනරම් සහ ආකර්ෂණීය හැඩතලයන්ය.

වැරදි තෝරාගැනීම් වලින් පසුතැවිලි වීමත්, නිවැරදි යැයි හැඟෙන තෝරාගැනීම් වලින් සතුටු වීමත් වෙනත් රටවල මෙන්ම ලංකාවේ දේශපාලනය තුළද දැක ගත හැකි නියතයන් වේ. මෙහිදි, බලහත්කාරයෙන් තම ඡන්ද අයිතිය මංකොල්ල කෑමත්, අල්ලස් දීම මඟින් ඡන්ද අයිතිය පැහැර ගැනීමත්, බිය ගැන්වීම් මඟින් ඡන්දයට ඇති අවස්ථාව පැහැරගැනීමත්, රැවටිලිවලින් තම මුලික අයිතිය එකිනෙකාගේ පෞද්ගලික ආශාවන් උදෙසා භාවිතා කිරීමත්, ආදී බොහොමයක් දෑ වලට පසුගිය දශක ගණනාව පුරා මෙරට ජනතාව මුහුණ දුන්නෝය.

නමුත් 2015 වන විට දැක ගත හැකි වූ මුලික සහ අතිශය ආකර්ශනීය කාරණය වූ කලී දේශපාලන පක්ෂ වෙනුවෙන් අහිංසක ජනතාව වදහිංසාවලට ලක්වීම ඉතා සීමාකාරී වීමය. මෙය ද්විපාර්ශවීය අවබෝධයක නිෂ්පන්නයකි. බරපතළ වන්දි ගෙවීමක් මඟින් සිදු කරනු ලැබූ ඉගැන්වීමකි.

වදහිංසා වලට සහ තම දේශපාලන ප්‍රතිවාදියාට ඇති අයිතිය පිළිගැනීම සඳහා තමන් තුළ ඇතිවන ඉවසීම, බලය ඇත්තා විසින් බලය නැති තැනැත්තා ආරක්ෂා කිරීම, සමාජයක ඇතිවිය යුතු මුලික සහ අතිශය වැදගත් මෙන්ම යහපත් ගුණාංගයන් වේ. එවැනි සමාජයක සමාජීය ගැටලු විසඳීම සඳහා අවශ්‍ය ක්‍රමෝපායික මාර්ග විවර වේ.

ඒ වෙනුවට සුළු ලාභයක් වෙනුවෙන් අනෙකාගේ ජීවිතය බිල්ලට දීම මඟින් තහවුරු කරනු ලබන්නේ තමන් ජීවත් වන සීමාවේ ඇති පටු බව සහ එමඟින් සමස්ථයට සිදුකරන හානියයි. සමාජයට මෙන්ම ලෝකයට විවෘත නොවූ විට මෙම බරපතළ තත්වයට මුහුණ දීමට බොහෝ දෙනෙකුට සිදු වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පන්සල් මූලික කරගනිමින් මේවන විට කරගෙන යන දේශපාලනයේ කූඨඋපායන් නාභිගත කොට ඇත්තේද මෙම අසමත් විධික්‍රමය මතය. සැබවින්ම රාජපක්ෂගේ දේශපාලනය වූ කලී එයයි. එමඟින් අනෙකාව හාස්‍යට ලක් කිරීම, අනෙකා සමච්චලයට ලක් කිරීම, ප්‍රතිවාදියාට හූ කීම ආදී ගූඪ ගති පෙන්වා ඒවා තමන් වටා සිටින අයවලුන්ගේ වින්දනයේ ප්‍රමෝදජනක කතා සහ පුරුදු බවට පත් කරනු ලබයි. එමඟින් තම අරමුණු වෙත යා හැකි බව ඔහු සිතනවා විය හැකිය. ප්‍රභල සතුරෙකු සිටින විට එම සතුරාට මුවාවී කළ හැකි මුලික කාරණයක් වන මෙය, රටක ස්වෛරීත්වයට අතිශය හානීකර වේ.

පසුගිය ජනවාරි මාසයේ සිදු වූ දේශපාලන වෙනස් වීම මඟින් සිදුවූයේ රාජපක්‍ෂගේ විශ්වාසයන් සහ උපායන් අසාර්ථක දෑ බව ඔප්පු වීමය. එනම් බහුතර ජනතාව විසින් තම අවකාශය පුළුල් කර ගැනීම සහ රැවටිලිවලට හසුවීමේ ප්‍රවණතාවය අවම බව ජනතාව විසින්ම ඔප්පු කිරීමය. මෙය දිරාගිය රාජ්‍යයක් යළි තැනීම සඳහා අතවශ්‍ය මූලික අවබෝධයක් වේ. එමඟින් සමාජය හමුවේ ඇති ප්‍රධාන අභියෝගය ගැන දල අදහසක් නිර්මාණය වේ.

දූෂිත පාලකයෙකු පලවා හරිනු ලැබූ සමාජයක් එවැනිම දූෂිත පුද්ගලයෙකු පත් කරගෙන දුක් විඳීමට ගත වන්නේ ඉතා කෙටි කාලයක් පමණක් බව ඉදිරිපත්වන අදහස මඟින් පිළිබිඹු වන කාරණය මෙහිදී අවබෝධ කරගැනීම වැදගත් වේ. මන්ද, වත්මන් ආණ්ඩුව එවැනි තත්වයකට පත්වීමේ අවධානම නොඅඩුව පවතින බැවිනි.

නමුත්, වත්මන් පාලනය අසාර්ථක සහ නූචිත එකක් යැයි කීම සත්‍ය නොවේ. ඊට තවමත් කල් ප්‍රමාණවත් නැත.

ඊට කදිම උදාහරණය, මේදින වල විවිධ චෝදනා මත අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් සහ එම පුද්ගලයින් වෙනුවෙන් අදහස් දක්වන හිටපු ජනාධිපතිවරයා ඉදිරිපත් කරන මුලික කාරණාය. එනම්, “යහ-පාලනය කියන්නේ මේක තමයි,” යැයි ඔවුහු කෑමොර දෙති. සැබවින්ම එය යහ-පාලනයයි. බහුතර ජනතාව අපේක්ෂා කරනු ලැබුවේ එයයි. මහින්ද චින්තනය නමැති පෞද්ගලික ආශාවන් පිරිවරාගත් රාමුව යහපාලනය නමැති න්‍යායික අත්හදා බැලීමෙන් වෙනස් බව මේ වන විටත් ඔප්පු වී අවසානය.

සමස්ථ සමාජය ලබාගත් අවබෝධය ප්‍රයෝජනයට ගැනීම සඳහා රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ හතර, එනම් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ එක්සත් සන්ධානය ඒකරාශී වීම මෙහි ඇති තීරණාත්මක කාරණය බව යළි යළිත් මතක් කළ හැකි කාරණයකි. මෙය ශ්‍රී ලංකාව තම රාජාණ්ඩු පාලනයෙන් සහ යටත් විජිත සමයෙන් පසු අත්කරගත් අතිශය වැදගත් මෙන්ම ඓතිහාසික සමාජ අවබෝධය වේ. රාජපක්‍ෂ පරිපාලනයට මඟ හැරුණු සහ සිහිනෙන්වත් නොසිතු දේශපාලන යොමුවීම එයයි.

නිදහසින් පසු ශ්‍රී ලංකාව වූ කලී සාර්ථක වීමට සියලු සාධක සහ අවස්ථා පිරිවරාගත් නමුත් එම සාධක අවභාවිතයේ යොදා ලැබුණු ස්වර්ණමය අවස්ථා මඟහැර ගනිමින් අසාර්ථකත්වයට පත් වූ රාජ්‍යයකි. එසේම විමුක්තිය අරමුණ කරගනිමින් මෙහෙයවනු ලැබූ, උතුරේ මෙන්ම දකුණේ සන්නද්ධ අරගලය යනු මෙම සමාජීය ව්‍යුහය බිඳවැටීම නමැති ප්‍රධාන රෝගයේ එක් රෝගලක්ෂණයක් බවට පත්වන්නේ ඒ අනුවය.

මෙරට සන්නද්ධ අරගලය වූ කලී අපේක්ෂා භංගත්වයට පත් වූ තරුණයින් තමන් ජීවත් වන සමාජය රැඩිකල් වෙනසකට යොමු කිරීම සඳහා හැඟීම් මුලික කරගනිමින් සිදු කරනු ලැබූ අත්හදා බැලීමකි. එය, රාජ්‍යයේ මතුපිට තලය පාලනය කරන “දේශපාලනඥයා” නමැති සෑමවිටම “රෝගයකින්” ප්‍රයෝජනය ගැනීමට වෙරදරණ පුද්ගල සාධකය ඉලක්ක කරගත් නමුත් රටේ සිදු වී තිබූ ව්‍යුහීය දිරායෑම කතාබහ කිරීම ක්‍රමිකව අත්හරිනු ලැබීය. විශේෂයෙන් මුල් කාලයේදී දෙමළ ජනතාවගේ අරගලය දේශපාලනික සහ සන්නද්ධ වශයෙන් සමබර වුවද විවිධ හේතූ මුලික කරගනිමින් එහි දේශපාලනික කෞශල්‍ය හීන වී ගියේය. 2009 දී නන්දි කන්ඩාල් කලපුවෙන් ලෝකය හමුවේ නිරාවරණය වූයේ එහි ගැඹුරු ප්‍රතිඵලයයි.

ඉන් පසු රාජපක්‍ෂ පරිපාලනය මඟින් සිදු කරනු ලැබුවේ අපේක්ෂා නොකළ ජයග්‍රහණයක් භුක්ති විඳීම සඳහා සංස්කෘතියක් නිර්මාණය කිරීමය. එමඟින් රටේ එතෙක් පැවති බොහෝ දෑ වෙනස් ආකාරයකින් අර්ථ ගැන්වීමට උත්සහ කරනු ලැබීය. රටක රෝගය එලෙසම තිබියදී එහි රෝග ලක්ෂණ නැසීම මඟින් සියල්ල අහවර වී ඇතැයි සිතීම රාජපක්‍ෂ පරිපාලනය විසින් සිදු කරනු ලැබූ හෝ හිතා මතා මඟ හරිණු ලැබූ කටයුත්ත වේ. සැබවින්ම මෙය දීර්ඝ කාලයක් තිස්සේ ලංකාවේ පැවති ක්‍රමයේ සංකීර්ණ වර්ධනයකි.

රාජ්‍යයක ව්‍යුහය, එම ව්‍යුහාත්මක හැඩතලය තුළ හැසිරෙන බලවේග වලට හිමි බලය සහ එම බලයට හිමි වගකීම ක්‍රමෝපායික වැඩපිළිවෙලක් මඟින් හෝ නොදන්නාකම නිසා ආගිය අතේ සිදුකරන කටයුතු මඟින් විනාශ කිරීම හෝ විනාශ වී යාම එම රාජ්‍ය මුහුණ දෙන බලවත්ම අර්බුධය වේ. මීට කදිම උදාහරණය අපේ මාතෘ භූමියයි. නමුත් එය එකම උදාහරණය නොවේ.

වරක් යුරෝපයේ වීරයා නාමයෙන් පිදුම් ලැබූ ජෙකොබ් වොන්-ඌක්ස්කල්, මා සමඟ මෑතකදී කළ කතාබහකදී සඳහන් කරනු ලැබුවේ, සදාම් හුසේන් මේ වන තෙක් ඉරාකයේ පාලකයා වූයේනම් ඉරාකයේ වත්මන් බිඳුණු සහ මළ තත්වයට වඩා ඉතා සාර්ථක රාජ්‍යයක් විය හැකි වූ බවයි. එසේම ලෝකයේ බොහෝමයක් රාජ්‍යයන් හිතාමතා සිදු කරන කටයුතු මඟින් එම රාජ්‍යයට හිමි බලය සහ ගරුත්වය කෙළසා ඇත. එවැනි හිතා මතා සිදුකරන දෑ වල ඇති සුවිශේෂී තත්වය වන්නේ සෑම විට එවැනි දෑ වලට භාහිර ඍජු මැදිහත්වීමක් හෝ භාහිර බලවේගය මඟින් මෙහෙවන රූකඩ ඒජන්තවරයෙකු එම රට තුළ නිර්මාණය කිරීමය. ආගිය අතේ සිදුකරන කටයුතු මඟින් එම රාජ්‍යය විනාශ වී යෑම සිදුවන්නේ එහි අභ්‍යන්තර ආරවුල් සහ අප්‍රසන්න භාවිතාවන් මඟිනි.

රටක සැබෑ නායකත්වය වූ කලී මෙම මුලික කාරණයන් අවබෝධකරගෙන එම රාජ්‍යය ජයග්‍රහණය කරා මෙහෙයවීමය. ජයග්‍රහණය වූ කලී මිනී මැරීම හෝ   තමන්      පිළිගන්නා

මුලධර්ම වලට පරස්පර අදහස් දක්වන්නා රටින් පලවා හැරීමට, බංකොලොත් කිරීමට හෝ සිරගත කිරීමට කටයුතු කිරීම නොවේ. ජයග්‍රහණය වූ කලී විවිධත්වය තුළ   තම  පාලන

විධික්‍රමය සාර්ථක සහ එය රටේ පැවැත්මට අත්‍යවශ්‍ය එකක් බව ඔප්පු කිරීමට ඇති හැකියාවය. සෑම විටම සෑම පුරවැසියෙකුටම සමාන ලෙස බලපවත්නා නීතිය මුලික කරගනිමින්

තම පාලනය මෙහෙය වීමය.

මෙය කළ හැකි වන්නේ රට ගැන මෙන්ම රටේ ජනතාව සම්බන්ධයෙන් හැඟීමක් ඇති නායකයෙකුට මිස, රටේ ඇති සංස්කෘතික ගති මෙවලම් ලෙස භාවිතා කරමින් රටවැසියන් අතවැසියන් බවට පත් කරන සහ එම අතවැසියන් සතුටු කිරීම සඳහා මහජන මුදල් නාස්ති කරන නාස්තිකාර පුත්‍රයෙකුට නොවේ. එවැනි නාස්තිකරයෙකු සෑමවිටම මාන බලන්නේ රටේ සාමාජ මට්ටම් ඇතිකිරීමට සහ එම මට්ටම අතර පරතරය පුළුල් කොට තබා ගැනීම කෙරෙහිය. එවැනි පුද්ගලයෙකු බලයට පත් වූ විට දැක ගත හැකි මුලික කාරණය වූ කලී සැමරුම් සහ මවාපෑම්වලට ප්‍රමුඛත්වය හිමිවීමය. නීතීය වෙනුවට තම විශ්වාසයන් නීතිය බවට පත්කර ගැනීමය. පරම්පරාවෙන් පැවත ආ රාජාණ්ඩු ක්‍රමය තුළ මෙන්ම ඊට පෙර ගෝත්‍ර සමාජවල දැක ගත හැකි වූයේ මෙම මුලීක කාරණාය.

වසර හයකින් පසු රට තුළ ඇති වී ඇති මූලික විවාදයේ දැකගත හැකි කාරණයක් තිබේ. එනම් සෑම අයෙකුම පාහේ යළිත් සිතා බලමින් සිටින්නේ සහ කටයුතු කරමින් සිටින්නේ න්‍යායික වශයෙන් සිදු කරන අත්හදා බැලීමක ඇති වැදගත් කමයි.

මේ තුළ සෑම අයෙකුගේම, ඔහුට හෝ ඇයට හිමි ස්ථානය සොයා ගැනීම සහ ඒ වෙනුවෙන් කටයුතු කිරීම මුලික කාරණය බවට පත් වී තිබේ. එල්. ටි. ටි. ඊ. සංවිධනය විසින් සමාජයට උගන්වනු ලැබූ පාඩම යළි යළිත් ගැඹුරින් කියවීම මෙහිදී අතිශය වැදගත් වනු ඇත. එසේ නොවුණහොත් රෑ වැටුණු වලේ දවල් වැටීමට අවශ්‍ය වන්නේ කාලය පමණි

Archive

Latest news

Related news