Thursday, April 18, 2024

ඒකාධිපති රාජ්‍ය රටාවක් ප්‍රජාතන්‍ත්‍රකරණය: ලංකාව ඉගෙන ගත යුතු පාඩම් – රංජිත් හේනායකආරච්චි

යම්කිසි රටක රාජ්‍ය බලය ඒකාධිපති හෝෆැසිසිට් කල්ලියක් තම ග්‍රහණයට යටපත් කරගෙන තිබූ පසු ඔවුන් විසින් හිතුවක්කාරී ආකාරයෙන් ඇතිකරන රාජ්‍ය ආයතන සහ නිලධර ස්ථර ක්‍රියාත්මක වන්නේ බලය ඩැහැගෙන සිටි කණ්ඩායමේ සුවච කීකරු දාසයින් අයුරිනි. එමෙන්ම යම් රටක මෙවැනි කල්ලියක් බලය ඩැහැගෙන ඔවුන්ගේ අයෝමය හස්තය තුල කොපමණ කාලයක් එම රට තබාගනු ලැබුවාද යන්න මෙම ආයතන සහ නිලධර ස්ථර මෙන්ම සමාජයටද මේ ක්‍රමය මුල් බැස්සවීමට බලපානු ලබයි. රටෙහි රාජ්‍ය බලය ඩැහැගත් කණ්ඩායම එම රටේ අධිකරණය, ව්‍යවස්ථාදායකය, විධායකය තමන්ට සිතු සේ හැසිරෙන අයුරින් හීලෑ කරගත් පසු එය නැවත වෙනස් කිරීමට ඇතිවන දුෂ්කරතාවයද අති විශාලය.

සුහර්තෝගේ ඒකාධිපති පාලනයෙන් පසු ඉන්දුනීසියාවේ තත්වය මෙන්ම පිනෝචෙට්ගේ ඒකාධිපති පාලනයෙන් පසු චිලී රටේද ඒවාගේම ආජන්ටිනාවේ හමුදා ආණ්ඩු පාලනයෙන් පසුද මෙම එම රටවල් තුල ඇතිවු මෙම දුෂ්කරතාවය පැහැදිලිව දැකිය හැක. නාට්සි බලය පෙරලා දමා එහි ප්‍රධානීන්ට දඬුවම් දුන් පසුවද බටහිර ජර්මන් රාජ්‍ය තුල හා ආයතන පද්ධතීන් තුල මුල් බස්සවා තිබූ නාට්සි වාදය පැරදවීමට තවත් වසර 25ක් පමණ ගතවිය. ඉහත රටවල්වල උදාහරණවලින් පෙන්නුම් කෙරෙන්නේ යම් රටක රාජ්‍ය බලය ඒකාධිපති හෝ ෆැසිස්ට් කණ්ඩායමක් අතට පත්කරගෙන එහි බලය ඔවුන්ගේ ග්‍රහණයට නතු කරගෙන පැවතුණිනම් මෙම ඒකාධිපතීන් හා ෆැසිස්ට් බලවේග පෙරලා දැමූ පසුද මෙම රාජ්‍යන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් වෙත ගෙන ඒම පහසු කරුණක් නොවන බවයි.ඒ බලය ග්‍රහණය කරගෙන සිටි කල්ලිය විසින් ආයතන සහ නිලධාරීන් තමන්ට රිසි අයුරින් හීලෑ කරන බැවිනි. ඒවාගේම තම වුවමනාවන්ට අනුව ක්‍රියාත්මක වන සුවච කීකරු දාස මනසක් ඇති ඔවුනගේ අනුගාමිකයන්ගෙන් එම තනතුරු සහ ආයතන පුරවනු ලබන බැවිනි. මෙවැනි තැනක බලය මාරුකිරීමකදී දේශපාලන කණ්ඩායමේ ඉහළ තලයේ බලය මාරු කිරීමක් කළා වුවද අන් සියළු ස්ථරයන් තුල අධිකරණ, අධ්‍යාපන සහ සියළුම ආයතන නිලධර ස්ථර ඒ ආකාරයෙන්ම පවතින බැවිනි.

ජනවාරි 08 වැනි දින වනතුරු ලංකා රාජ්‍ය තම ග්‍රහණයට ගෙන සිටි මහින්ද කල්ලිය වසර 10 ක් තිස්සේ රාජ්‍ය තම උවමනාවන් සඳහා ක්‍රියාත්මක වන පුද්ගලික දේපලක් බවට පත්කර ගනිමින් එහි සියළුම ආයතන සහ පුද්ගලයන් තමන් ඉදිරියේ නකුට වනන තත්වයට හීලෑ කරගනු ලැබ තිබුනි. ජනතාවගේ ඡන්ද බලයෙන් එදා මහින්ද කල්ලිය වෙතින් බලය මාරුකරනු ලැබුවා වුවත් රටේ අධිකරණය, පොලීසි, හමුදා සහ ආයතන නිළධාරීන් ඇතුලු සියළුම රාජ්‍ය ආයතනයන්හි කිසිම වෙනසක් සිදු නොවෙමින් ඒවායේ බලය ඒ පැරණි ස්ථර අතම පවතී. දිගු කාලයක් තිස්සේ තම ස්වාමියාගේ අණට කීකරුව ක්‍රියාත්මක වූ සුනඛ රෑණක් දීර්ඝ කාලයක් තම ස්වාමියාගේ උසී කීම අනුව දිවීමටත් වර කී විට ලඟට විත් නකුට වැනීමටත් ඉදගන් කී විට නකුට කකුල් අස්සේ ගසාගෙන ගුලි වීමටත් හුරු කළ සුනඛ රෑනකට සමාන තත්වයක නිලධර ස්ථරයක් මෙම මහින්ද කල්ලිය විසින් රටතුල ඇතිකරනු ලැබීය. තම ස්වාමියා ශක්තිමත්ව සිටියා හෝ නොවූවා පුහුණු කළ සුනඛ රෑන ක්‍රියාත්මක වන්නේ ඔවුනට හුරු ආකාරයෙන් මුළු ජීවිත කාලය පවතින තුරුම ස්වාමියාගේ අණට කීකරු යටහත් පහත් සුවච කීකරු බවකිනි. මේ තුල වෙනසක් ඇති කිරීම පහසු කරුණක් නොවන අතර ඒ සඳහා දිගු කාලයක් මෙන්ම දීර්ඝ වැඩපිළිවෙලක්ද අත්‍යාවශ්‍ය වේ.

අද වන විට ලංකාව තුල අප අත්විදිමින් පවතින්නේ මේ තත්වයයි. මහින්ද රාජපක්ෂට සහ ඔහුගේ කල්ලියට එරෙහිව රාජ්‍ය දේපළ අපයෝජනය, දූෂණය සහ අල්ලස් වැනි චෝදනා නිමක් නැතිව එල්ල වෙමින් පවතී. රටේ ජනයාගෙන් වැඩි දෙනෙකු (මහින්ද කල්ලියට සුවච කීකරු දාස මනසකට හිමිකම් කියන මහින්ද වාදී කොටස හැර) මේ මහින්ද කල්ලියේ දූෂිත බව මෙන්ම ඔවුන් රාජ්‍ය කළ අගතිගාමී ක්‍රියාවන් ගැන හොඳින් දනී. ඔවුන් කළ වැරදිවලට ඔවුනට දඬුවම් ලැබිය යුතු බව රටේ ජනයාගේ එකම ප්‍රාර්ථනයයි. නමුත් බලයට පත්කළ නව රජයට ඒ පිළිබඳව ක්‍රියාත්මක වීමේදී ඒකාධිපති, ෆැසිස්ට් ක්‍රම අනුගමනය කළ නොහැක. ඔවුන් රටේ නීතියට අනුව විනිවිදභාවයකින් යුතු ක්‍රියාදාමයක් තුල මෙම වරදකරුවන් නීතිය ඉදිරියට ගෙනවිත් දඬුමව් කළ යුතුව ඇත. එසේනම් මෙම වරද කළවුන්ට එරෙහිව ඇති චෝදනා ගොනුකළ යුත්තේත්, ඔවුන් කළ වැරදි එලිදරව් කිරීමට සාක්ෂි ගොනුකළ යුත්තේත් පොලීසියේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධරයන් තුලිනි. නමුත් පසුගිය වසර 10 ක් තිස්සේ මෙම ආයතනයන් සහ ඒවායේ සියළුම පාහේ නිලධරයන් මහින්ද කල්ලිය විසින් අයථා අයුරින් බලය පාවිච්චි කර මේ තැන්වලට පත්කළ ඔවුනගේ හිතවතුන් වීමත්, බොහෝ විට ඔවුන් මෙම තනතුරු දැරීමට සුදුසුකම් නොලැබූ අය වීමත්, සුදුසුකම් ඇති අය මෙම ආයතනයන් තුල මුළු වලට ඇද දමා හෝ සේවයෙන් පහකර දමා තිබීමත් ආදී අපයෝජන වනාන්තරයක අතරමං කර ඇත්නම් මෙම ආයතන සහ මෙම නිලධරයන් තුලින් රාජපක්ෂ කල්ලියට එරෙහිව සාධාරණ පරීක්ෂණ ඇති කරනු ලබයිද?

එකක් පසුපස එකක් ලෙස මේ පසුගිය මාස 3 තුල නීතිය ක්‍රියාත්මක කරවීම අහුරාලමින් මතුව එන බාධකයන් විසින් පෙන්නුම් කරන්නේ මේ සැබෑ අපහසුතාවයයි. ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පැවති වාහන සිය ගණනකට කොලයක්වත් නොමැතිව පැවතුණු බවත් එම වාහන රට පුරා තැන් තැන්වල පුද්ගලයින් ලඟ ගාල්කර පැවති බවත් පසුගිය දිනවල හෙලිදරව් වුනි. මෙවැනි තත්වයකදී නීතිය ක්‍රියාත්මක කරවීම පහසු දෙයක් නොවේ.

දණ්ඩනීති සංග්‍රහයට අනුව රටේ පුරවැසියෙකු අත අනවසර එක ගිනිඅවියක් හෝ එක අත්බෝම්බයක් තබා ගත්තා නම් පොලීසිය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලබයි. එය එසේ වූවා වුවත් නීති විරෝධී ආයුධ ගබඩා ගණනාවක් පවත්වා ගත් ඇවන්ගාඩ් සමාගමට සහ එහි ප්‍රධානීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය බිය වෙති. එහි එක අවියක් නොව නීතිවිරෝධී අවි දහස් ගණනක් පවත්වාගෙන තිබුනි. නමුත් මෙම නීතිවිරෝධී ක්‍රියාවේ යෙදුණු අයට නැතිනම් වැරදි කරුවන්ට පිටරට ගොස් ඒමට පවා අධිකරණ ඇමතිවරයා විසින්ම අවසර දෙනු ලබයි. පොලිස් නිලධාරීන් මෙම වරදකරුවන් බඩුත් සමග අසුව තිබියදී අත්අඩංගුවට ගැනීමට බිය වී තුෂ්නිම්භූතව බලා සිටී. ඒ තාමත් මෙම නිලධාරීන් තම පැරනි හාම්පුතුන්ගේ සුවස කීකරු සුනඛ පෝතක රැලක්ම වී සිටින හේතුවෙනි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉතා සාමාන්‍ය රැකියාවක් කරමින් ඇමරිකාවේ ගතකළ ජීවිතය අතහැර ලංකාවට විත් තම සොහොයුරාගේ දේශපාලන බලය තමන් ඔටුන්නක් ලෙස පැළඳගෙන ලංකාව තුල හැසුරුනේ ඔහුට ඉහලින් මේ පොලොව මත කිසිවෙකු නොමැත යන වගාඩම්බරයෙන් ඉදිමී බව නොදන්නේ මෝඩයන් පමනි. මොහු කොළඹ පැල්පත් වාසීන්ගේ නිවාස කඩා එම ඉඩම් වලින් බලහත්කාරයෙන් මිනිසුන් පන්නා දැමූ බව ප්‍රසිද්ධ කාරණාය. උතුරේ මෙන්ම දකුනේ ඔහුට එරෙහිව ගිය අයෙකුට සුදු වෑන් වලින් අවසන් ගමන් යාමට සැලැස්සූ බව ප්‍රසිද්ධ රහස්ය. තම පුතාගේ මගුලට ගුවනින් මල් ගෙන ඒමට පමණක් නොව තමනට බලු පැටවෙකු ගෙන ඒමට පවා ගුවන් යානා යෙදවූ බව ප්‍රසිද්ධ කාරණාවන්ය. ඔහු සතු දේපළ ඔහුගේ පඩියෙන් ඉපයිය හැකි ප්‍රමාණයක් නොවන බව පැහැදිලිය. රාජ්‍ය දේපළ මෙන්ම තම බලය යොදවා පුද්ගලයින් සතු දේපළ පවා තමන් සතු කර ගත් මොවුන් නීතිය ඉදිරියට ගෙන ආ යුතුව ඇත. නමුත් අධිකරණයට චෝදනා ගොනුකළ යුතු පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව තුල තාමත් ක්‍රියාත්මක වන්නේ මොවුන් හීලෑ කර ඇති දැඩි කළ සුනඛ පෝතකයන්මය. අධිකරණය ස්වාධීන නොවන බව එහි විනිසුරුවන් ස්වාධීන නොවන බව ගෝඨාභය ආරක්ෂා කිරීමට දී ඇති නඩු තීන්දුව කියා පායි. කුරුටු ගීයකට ලාබාල දෙමල තරුණියකට වසර 2 කට සිරදඬුවම් දීමට මැලි නොවන විනිශ්චයකාරවරු මිනිස් ජීවිත බිලිගත්, කෝටි ගණන් රාජ්‍ය දේපළ වංචා කළ දූෂණයන්ට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව විභාගයක් පැවැත්වීම පවා අවහිර කරන තීන්දු දෙනු ලබති. මේ ෆැසිස්ට් හෝ ඒකාධිපති රාජ්‍යක් පැවතීමෙන් පසු එහි ඇතිවන දිගුවයි.
මහින්ද කල්ලිය ලංකාව තම ග්‍රහණයට ගෙන පුරුදු පුහුණු කළ අය ඔවුනගේ ක්‍රියාවන් අත් නොහරිති. ඒවා නතර කළ හැක්කේ, ඒ වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ක්‍රියාත්මක කරවිය හැක්කේ මේ ආයතනයන් තුල වැජඹ සිටින වැරදි පුද්ගලයින් එකින් එකා ඒ තැන්වලින් පලවා හැරීම තුලින් පමනි. ඒ සදහා දේශපාලනය සමග අවදිමත් ජන බලවේගයන් එක් විය යුතුය. මේ සඳහා ක්‍රියාත්මක වන නව රජයට සහාය දෙමින් මේ ප්‍රතිගාමී බලවේග පැරදවීමට නව දේශපාලන නායකත්වයට සහාය දිය යුතුය. බන්ධනාගාර ගතකර සිටිය යුතු වැරදි කරුවන් රටේ ඉහළම අධිකරණයන් තුල, දේශපාලන බලවේග තුල සහ අනෙකුත් නිලධර ස්ථරවල තානාන්තර හොබවයි නම් එම රට ප්‍රජාතන්ත්‍රවාදයට ගෙනඒම පහසු කරුණක් නොවෙති. ඒ මීට ඉහතින් කීවාක් මෙන් කාලයක් තිස්සේ තම හාම්පුතුන්ගේ අණට පුහුණු කළ හීලෑ කළ සුනඛ රෑණක් හාම්පුතුන් මොන තත්වයේ හිටියා වුවත් ඔහුගේ අණට කීකරු වන නිසා මෙන්ම ඔවුන් තම පැරණි හාම්පුතුන් දුටු විගස ඔවුන් ඉදිරියේ වලිග වැනීමට පුරුදු වී ඇති හෙයිනි.

පුරවැසියන් වශයෙන් අප කළ යුත්තේ මොවුන් එළිදරව් කිරීම සහ මේ වැරදි කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට රජයට බලපෑම් කරමින් සහාය දීමයි.

Archive

Latest news

Related news