Wednesday, April 24, 2024

විල්පත්තුවේ ඇත්ත මෙන්න -මුස්ලිම් කවුන්සිලය ජවිපෙට ලියූ ලිපිය

(විල්පත්තුව ආසන්නයේ ජිවත්වන සරණාගත මවක්)

විල්පත්තු රක්ෂිතයේ මුස්ලිම් ජනතාව පදිංචි වී ඇති බවට බෞද්ධ අන්තවාදීන් උද්ඝෝෂණ පැවැත්වූවද සැබවින්ම එහි පදිංචි වී ඇත්තේ හම්බන්තොට ප්‍රදේශයේ සිට අළුතින් පැමිණි සිංහල ජනතාව හා හමුදා සමාජිකයන්‍ බවත් මේ වන තෙක් වර්ගවාදයට විරුද්ධ ස්ථාවරයක සිටි ජනතා විමුක්ති පෙරමුණ ද අන්තවාදි බෞද්ධ බලවේගයන් විසින් නොමග යවා තිබෙන බවත් මුස්ලිම් කවුන්සිලය ජනතා විමුක්ති පෙරමුණ වෙත ලිපියක් යවමින් පවසයි.

තත්වය සැබෑ තතු විග්‍රහ කරමින් ජවිපෙ නායක අනුර දිසානායකගේ නමට මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්.එම් අමීන් මහතා යවන ලද ලිපිය සම්පූර්ණයෙන් පහත දැක්වේ.

අනුර කුමාර දිසානායක මහතා,
නායක,
ජනතා විමුක්ති පෙරමුණ,
ප්‍රධාන මුලස්ථානය,
පන්නිපිටිය පාර,
පැලවත්ත,
බත්තරමුල්ල.

මහත්මයාණෙනි,

මන්නාරම් දිස්ත්‍රික්ය තුළ මුස්ලිම් ප්‍රජාව නැවත පදිංචිකිරීමේ මෑත කාලීන අතිශෝක්තිය පිලිබඳවයි.

යුද්ධයේ අවසානයෙන් පසු පසුගිය අවුරුදු 5 ඇතුළත නැවත පදිංචි කළ අභ්‍යන්තර අවතැන්වුවන් අපහසුතාවට ලක්කරමින් සමහර මාධ්‍ය හා පරිසරවේදින් ගෙනගිය වර්ගවාදය පදනම් කරගත් ව්‍යාපාරය පිළිබඳව ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු. නමුත් කණගාටුවට කරුණක් වන්නේ මේ වන තෙක් වර්ගවාදයට විරුද්ධ ස්ථාවරයක සිටි ජනතා විමුක්ති පෙරමුණ ද අන්තවාදි බෞද්ධ බලවේගයන් විසින් නොමග යවා තිබීමයි.

අපගේ උප සභාපති හිල්මි අහමඩ් මහතා සමඟ පැවති සාකච්ඡාවේදි මෙම ගැටළුව සමථයකට පත්කිරීමට ඔබ ගත් වෑයම අගය කරන අතර ඔබ පක්ෂයේ ඇතැම් සාමාජිකයන් කරන ප්‍රකාශයන් ඊට පරස්පර වේ. ලාල්කාන්ත මහතා එම නැවත පදිංචි කිරීමේ කලාපයේ කරන ලද සංචාරයේදී අන්තවාදීන් දක්වන ආකාරයේ අනවසර පදිංචිකිරීමක් නොමැති බව මාධ්‍ය ඉදිරියේ දැඩිව ප්‍රකාශ කර තිබේ. ඔබ දන්නා පරිදි රජයේ ස්ථාවරයද වී ඇත්තේ එම ස්ථානයේ එවැනි අනවසර පදිංචිකිරීමක් සිදු ව නොමැති බවයි. නමුත් පසුව ජනතා විමුක්ති පෙරමුණ විසින් කොළඹදී පවත්වනු ලැබු මාධ්‍ය සාකච්ඡාවේදි දිස්ත්‍රික් ලේකම් හා රජයේ නිලධාරින්ගේ මතය පිළිබඳව අවිශ්වාසය පළ කර ඇත.

1990දී එල්.ටී. ටී. ඊ. ය විසින් පැය දෙකක කාලයක් තුළ උතුරේ අභ්‍යන්තර අවතැන්වූවන් පළවාහරින ලදි. එහිදි 70,000 ක් පමණ මුස්ලිම් ජාතිකයන්ට තම දේපල අතහැර උතුරෙන් ඉවත්වීමට සිදුවිය. එමගින් සිදු වූ පාඩුව රුපියල් බිලියන ගණනක් විදියට ඇස්තමේන්තු කිරීමට හැකිය. අනතුරුව පුත්තලම ඇතුළු සරණාගත කදවුරු වල අවුරුදු 22 කාලයක් ගත කිරීමෙන් පසුව යුද්ධය අවසානයේ ඔවුනට නැවතත් ඔවුන්ගේ ගම්බිම් වලට යාමට හැකියාව ලැබුණත් බෞද්ධ අන්තවාදීන් හා පරිසරවේදීන් නිසා නැවතත් ඔවුන් අපහසුතාවයට ලක් වී ඇත. යුද්ධයෙන් පසුව ජනාධිපති විශේෂ ඒකකයේ උදව්වද ඇතුව නැවත පදිංචිකිරීම් සිදු වුවද එහිදි ප්‍රමුඛතාවය ලැබුණේ දෙමළ ජාතියකයන්ට ය.

මුස්ලිම් ජනතාව උතුරෙන් පලවා හරිනු ලැබුවේ ඔවුන් එල්.ටී. ටී. ඊ. යට සහයෝගය නුදුන් බැවිනි. මේ හේතුව නිසා පසුගිය අවුරුදු 22ක කාලය තුළදි මෙම මුස්ලිම් ජාතිකයන්ට සලකනු ලැබුවේ අමතක වූ මිනිසුන් කොටසක් වශයෙනි.

මේ නැවත පදිංචිකිරිමේදි මුස්ලිම් ජාතිකයන්ට හිමිවන්නේ අක්කර භාගයක භූමි ප්‍රදේශයක් පමණි. වෙනත් කිසිදු සංවර්ධනයක් එහි සිදු වි නොමැත. මේ දක්වා රජය එය කිරීමට අපොහොසත් වී ඇත. මේ හේතුව නිසා මුස්ලිම් දේශපාලන නායකයන්, මුස්ලිම් සිවිල් සමාජය හා ව්‍යාපාරික ප්‍රජාව ඔවුන්ට උදව්කිරීමට ඉදිරිපත් වී ඇත.

විල්පත්තු රක්ෂිතයේ මුස්ලිම් ජනතාව පදිංචි වී ඇති බවට බෞද්ධ අන්තවාදීන් උද්ඝෝෂණ පැවැත්වූවද සැබවින්ම එහි පදිංචි වී ඇත්තේ හම්බන්තොට ප්‍රදේශයේ සිට අළුතින් පැමිණි සිංහල ජනතාව හා හමුදා සමාජිකයන්‍ ය.

පහත දැක්වෙන්නේ දැනට පදිංචි වී ඇති සිංහල ජනතාවගේ සංඛ්‍යාලේඛණයන් ය.

1. වේරතැන්න පවුල් 520
2. බෝගස්වැව 1 පවුල් 500
3. බෝගස්වැව 2 පවුල් 560
4. නාමල් ගම පවුල් 470
5. සේනලීනි ගම පවුල් 450
6. නන්දිමිත්‍ර ගම පවුල් 360

මෙම පවුල් 2860ට සඳහා විල්පත්තු රක්ෂිතයෙන් එක් පවුලකට අක්කර 3 බැගින් වෙන්කර ලබාදී ඇති අතර 70,000 ක මුස්ලිම් ජනතාවට එක් පවුලක් සඳහා ලබා දී ඇත්තේ අක්කර භාගයක් පමණී. අළුතින් පැමිණි සිංහල ජාතිකයන් පදිංචි කිරීමේදී පාසල් ඇතුළුව පහසුකම් රාශියක් රජය විසින් තවත් විශාල භූමි ප්‍රදේශයක් එළිකර ලබා දී ඇත. මීට අමතරව මුස්ලිම් ජනතාවට අයත් අක්කර 500 ක භූමි ප්‍රදේශයක් නාවික හමුදාව විසින් තම භාරයට ගෙන ඇත.

ඔබ ප්‍රකාශ කරන පරිදි ජනතා විමුක්ති පෙරමුණ මෙම ගැටළුව කෙරෙහි ජාතිවාදි දෘෂ්ටිකෝණයකින් නොබලන බව අපි විශ්වාස කරමු. පදිංචි කිරීමේදී අළුතින් පැමිණි සිංහල ප්‍රජාවට සපයා ඇති පහසුකම් හා නැවත පදිංචිය සඳහා පැමිණි මුස්ලිම් ප්‍රජාවට සපයා ඇති පහසුකම් පිළිබඳව අධ්‍යයනය කර සියළුම ජනතාවට සර්ව සමානව සැළකීමට ඔබගේ අවධානය යොමු කරන ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිමු.

මුස්ලිම්වරු නිවැරදි නම් පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටතදීත් ඔවුන් වෙනුවෙන් පෙනි සිටින ලෙසද අපි ඉල්ලා සිටිමු. තවද මේ සියළු කටයුතු පරිසරය පිළිබඳව සැලකිලිමත් වෙමින් සිදුකල යුතුබව අපි අවධාරණය කරමු.

කිසිදු අනවසර පදිංචි කිරීමක් සිදුවී නොමැති බවට තහවූරු කරන ලියවිලි අවශ්‍ය නම් ඒවා සැපයීමටද අප සූදානම් ය.

ඔබගේ කාරුණික අවධානයට හා සහයෝගයට ස්තූතිවන්ත වෙමු.

එන්. එම්. අමීන්
සභාපති මුස්ලිම් කවුන්සිලය

Archive

Latest news

Related news