Friday, April 26, 2024

ගෝඨාභයගේ පෙත්සමට උත්තර බඳින්න ඔක්තෝබර් තෙක් අවස්ථාව නොදීම ගැටලුවක් – අගමැති රනිල්

පොදු රද මඬුලු අධිකරණ මතය ලබාගැනීම සුදුසුම ක්‍රමයයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම වෙනුවෙන් උත්තර බැඳීමට ඔක්තෝම්බර් මාසය වන තෙක් අධිකරණය තමාට සහ කැබිනට් මණ්ඩලයට අවස්ථාව ලබා දී නොතිබීම ප්‍රශ්නයක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

දේශපාලන දඩයමක් සිදු කරන බවට නඟා ඇති චෝදනාවලට පිළිතුරු දීමට තමාට ලෙහෙසියෙන් හැකියාව ඇති බව අවධාරණය කළ අගමැතිවරයා ඒ සඳහා ඉක්මනින් අධිකරණයට තම කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව නොමැති නම් මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිවරයා වන හෙයින් රජයක් වශයෙන් මේ පිළිබඳව පොදු රාජ්‍ය මණ්ඩලිය අධිකරණ අංශයේ සහ නීතිඥ සංගමයේ මතය ලබා ගැනීම සුදුසුම ක්‍රමය යැයි තමා විශ්වාස කරන බවද කීය.

පොදු රාජ්‍ය මණ්ඩලිය රාමුව තුළ ක්‍රියාත්මකවීම විදේශීය ඇඟිලි ගැසීමක් ලෙස සලකාවි යැයි තමා බලාපොරොත්තු නොවන බවද අගමැති වික්‍රමසිංහ මහතා පැවසිය. කොළඹ පදනම් ආයතනයේ ඊයේ (14) පැවති ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීමේ ජාතික මාධ්‍ය සමුළුව අමතමින් අගමැතිවරයා මේ බව කීය.

පෙත්සමට ඉක්මනින් පිළිතුරු දීමේ අවස්ථාව ලදහොත් බරපතළ මූල්‍ය වංචා සහ දූෂණ විමර්ශන ඒකකය මගින් දේශපාලන දඩයමක් සිදු කරන්නේද නැද්ද යන වග දැනගැනීමේ අවස්ථාව රටේ ජනතාව ඇතුළු සියල්ලන්ටම හිමි වන බව පැවසු අගමැතිවරයා කල් යාමෙන් කැබිනට් මණ්ඩලයේ , ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ මහජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝණය වනබවද පැවසීය.

බරපතළ දූෂණ සහ වංචා විමර්ශන කමිටුව පත් කර ඇත්තේ පොලිස්පතිවරයා යටතේ බවද පැමිණිලි සියල්ලම සම්බන්ධයෙන් වන විමර්ශන නීතිපතිවරයාගේ උපදෙස් සහ අනුමැතිය යටතේ සිදු කෙරෙන බවද අගමැතිවරයා කිය.

අධිකරණයෙන් මේ වනතුරු තමාට හෝ කැබිනට් මණ්ඩලයට නොතිසි ලැබි නැතැයි කී අගමැතිවරයා පෙත්සම සම්බන්ධයෙන් පෙරේදා විද්්‍යුත් මාධ්‍ය තුළින් දැනගත් අවස්ථාවේදි කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමේ අදහසින් නිතිපතිවරයාට කතාකර මේ පිළිබඳව විමසා සිටි බවත් ඒ සම්බන්ධයෙන් ඔහුද දැනුවත් වී නොතිබූ බවත් කීය.

සැප්තැම්බර් මාසයේ අලුත් පාර්ලිමේන්තුවක් පත් වෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසන බව සඳහන් කළ අගමැතිවරයා එවිට පෙත්සම සම්බන්ධයෙන් පිළිතුරු දීමට සිදු වන්නේ අලුත් කැබිනට් මණ්ඩලයකට බවද කිය. දැන් සිටින ඇමතිවරුන්ගේ විෂයයන් වෙනස්වීමත් අලුත් අයත් කැබිනට් මණ්ඩලයට පත්වීමත් සිදු විය හැකි යැයි කි අගමැතිවරයා 2010 පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමයන් ගැන 2015 පාර්ලිමේන්තුවට වගකීමට සිදු වන බවත් ප්‍රකාශ කළේය.

සිය අමාත්‍යාංශයේ ලේකම්වරයාට එරෙහිව මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් මාර්තු මාසයේ ගොනු කර තිබු පෙත්සම අප්‍රේල් මාසයේ අධිකරණයේ පැවති සති දෙකක නිවාඩුවකින් සහ 19 වැනි සංශෝධනය සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමෙන්ද පසු විභාග කර පෙරේදා තීන්දුවක් දීමටද ශ්‍රේෂ්ඨාධිකරණය හැකි වූ බව කී අගමැතිවරයා සිය ලේකම්වරයා තමන්ට වඩා වාසනාවන්ත යැයිද කිය.

“හිටපු නායකයන් පමණක් නොවේ මාත් දැන් අනාථයි “ කී අගමැතිවරයා මේ කරුණු සම්බන්ධයෙන් තමාට බොහෝ අය උපදෙස් දුන් බවත් මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයා වන හෙයින් රජයක් වශයෙන් ක්‍රියාත්මක වෙමින් මේ ප්‍රශ්නය පොදු රාජ්‍ය මණ්ඩලිය ලේකම්වරයා මාර්ගයෙන් එහි අධිකරණ අංශයට සහ නීතිඥ සංගමය වෙත ඉදිරිපත් කර එහි මතය ගැනීම සුදුසු යැයි තමා විශ්වාස කරන බවද කිය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෙත්සම සම්බන්ධයෙන් තමා කරුණු දැන ගත්තේ මාධ්‍යයෙන් යැයි කී අගමැතිවරයා ඒ සම්බන්ධයෙන් මාධ්‍යවලට සිය ස්තුතිය පළ කළේය.

–  ශිරෝමි අබයසිංහ/ දිනමිණ

Archive

Latest news

Related news