මාතලේ සමූහ මිනීවල සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමට පත්කරන ලද ජනාධිපති විශේෂ විමර්ශන කොමිසන් සභාවේ වාර්තාව එම මිනීවල සම්බන්ධයෙන් ‘පරීක්‍ෂණ පැවැත්වූ වෘත්තීය විශේෂඥයන්ට කරන ලද බලවත් අපහාසයකැ’යි පරීක්‍ෂණ කටයුතුවල නියැලූණු වෘත්තීයවේදීහු කියා සිටිති.
මිනීවලේ කැනීම් මෙහෙයවූ වෝහාරික පුරා විද්‍යාඥයා සහ කැනීම් භාර ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා JDS සංවිධානය වෙත පවසා ඇත්තේ, තමන් මෙම ජනාධිපති කොමිසමේ වාර්තාව හා නිගමනයන් මුළුමනින් බැහැර කරන බවයි.
පසුගිය අපේ‍්‍රල් මස 29 වැනිදා ජනාධිපති ලේකම් පී බී අබේකෝන් වෙත සිය වාර්තාව භාරදෙමින් මාතලේ සමූහ මිනීවල සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමට පත්කරන ලද ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම නිගමනය කර ඇත්තේ මෙම මිනීවලෙන් සොයාගත් අස්ථි කොටස් 88-89 වකවානුවේ අතුරුදහන් වූවන්ට මොනම ආකාරයකින්වත් සම්බන්ධ නොමැති බවයි.
කොමිසම මෙම නිගමනයට පැමිණ ඇත්තේ ඒවා ‘‘1950ට පෙර යුගයට අයත්’’ බව නිගමනය කරමින් එක්සත් ජනපදයේ පිහිටි පර්යේෂණායතනයකදී කරන ලද කාබනික කාලනිර්ණ පර්යේෂණයක වාර්තාව මත පදනම් වෙමිනි.
2014 නොවැම්බර් 18 වැනිදා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප‍්‍රාන්තයේ පිහිටි බීටා ඇනලිටික් විකිරණශීලී කාබන් කාලනිර්ණ රසායනාගාරය විසින් ලබාදෙන ලද එම වාර්තාව පිළිබඳ දේශීය විශේෂඥයෝ ඒ අවස්ථාවේදී ද ගැටලූ මතුකළහ.
‘විද්‍යාත්මක වාර්තා බොරු කිරීමට ගත් උත්සාහයක්’
මාතලේ සමූහ මිනීවලෙන් හමු වූ අස්ථි කොටස් 1986 – 90 කාල වකවානුවට අයත් බව පුරාවිද්‍යාත්මක කාලනිර්ණ ක‍්‍රමවේදයකට අනුව නිගමනය කළ කැනීම් මෙහෙයවූ වෝහාරික පුරාවිද්‍යාඥ, පුරාවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව JDS හා පවසා ඇත්තේ, ජනාධිපති කොමිසමේ නිගමනය ‘‘විද්‍යාත්මක නිපුනතාවක් ඇති පුද්ගලයින් න්‍යාය හා සිද්ධාන්ත මත පදනම්ව දෙන ලද වාර්තා කිසිදු පිළිගත හැකි විද්‍යාත්මක පදනමක නොපිහිටමින් අසත්‍ය බවට පත්කිරීමට ගන්නා ලද උත්සාහයක්’’ බව ය.
වැඩිදුරටත් අදහස් දක්වන මහාචාර්ය සෝමදේව, කොමිසම තමන් මෙවැනි විමර්ශනයක් කිරීමට නොසමත් බව සිය වාර්තාවේ සඳහන් කර ඇති ඇතැම් කාරණාවලින්ම මනාව ඔප්පුකොට ඇති බව JDS වෙත ප්‍රකාශ කර ඇත.
ජනාධිපති කොමිසම දී තිබෙන නිගමනය ඉතාම අපැහැදිළි එකක් බව කියන ඔහු මෙසේ ද පවසයි. ‘‘මා මේ කොමිසම හමුවේ සාක්කි දෙන්න ගියේ නෑ. මා කැඳවා තිබුණේ බීටා ඇනලිටික් ආයතනයේ වාර්තාව ගැන අදහසක් ඉදිරිපත් කරන්නයි. තර්කානුකූලව ගත්තොත් මේ ජනාධිපති කොමිසම පත්කළේ සමූහ මිනීවල කුමන කාලයට අයත්ද, එහි වලදමා තිබෙන පුද්ගලයන් කවුරුන්ද යන වග සොයා බැලීමටයි. ඒ සඳහා පත්කළ කොමිසමක් මගෙන් ඇහුවේ පිළිගත් විද්‍යා
ත්මක වාර්තාවක් ලෙස කොහෙත්ම හැඳින්විය නොහැකි නිකම්ම කඩදාසියක තිබුණු පේලි කිහිපයක් පර්යේෂණ වාර්තාවක් ලෙස හඳුන්වා එය පිළිගන්නවාද කියලයි. මා කොමිසම හමුවේ කීවේ මා විසින් එකතු නොකරන ලද, මා විසින් විද්‍යාගාරයකට නොයවන ලද මනුෂ්‍ය අස්ථි නියැදියක් සම්බන්ධයෙන් දී ඇතැයි කියන මේ වාර්තාව මට පිළිගත නොහැකි බවයි.’’
‘දූෂ්‍ය අස්ථි සාම්පල්’
තමන් හමුවේ මහාචාර්ය සෝමදේව දෙන ලද සාක්කි සම්බන්ධයෙන් කොමිසම සිය වාර්තාවෙන් කියා සිටින්නේ ‘‘අස්ථි කොටස් සැබවින් ම දූෂ්‍ය වී ඇති බවට වන (මහාචාර්ය සෝමදේවගේ) තර්කය මත කිසියම්ම විශ්වාසයක් තැබීමත්, රසායනාගාර පරීක්ෂණයේ සොයාගැනීම් ඒ මත පදනම්ව දෝෂ සහිතයයි සැළකීමත් අනාරක්ෂිත’’ බව ය.
නමුත් මේ පිළිබඳව අදහස් දක්වන මහාචාර්යවරයා මෙම චෝදනා මුළුමණින්ම බැහැර කරන බව ප්‍රකාශ කර සිටියි.
‘‘දැන් ඔවුන් සිය වාර්තාවෙන් කියනවා රසායනාගාර පර්යේෂණ සඳහා යවන ලද අස්ථි සාම්පල් දූෂ්‍ය වී තිබිය හැකිය’යි මා දුන් සාක්කි ප‍්‍රමාණවත් නෑ කියා. මා සාම්පල් දූෂ්‍ය වී තිබූ ප‍්‍රමාණය කියා නැතිලූ. මා විසින් එකතු නොකරන ලද, මා විසින් පරීක්ෂණ සඳහා යොමු නොකරන ලද අස්ථි සාම්පල්වල දූෂ්‍ය තත්ත්ව වාර්තාවක් මා ලබාදෙන්නේ කොහොමද? මා කියා ඇත්තේ මිනීවල නිරාවරණය කිරීමෙන් පසු දෙවතාවක් ජලයෙන් යට වූ බැවින් ලබාගත් සාම්පල් නිසැකවම දූෂණය වී තිබිය හැකි බවයි.
ඒවා රසායනාගාර පරීක්ෂණ සඳහා යොමුකළ පුද්ගලයන් ඒ සම්බන්ධයෙන් අපවිත‍්‍ර වී ඇති ප‍්‍රමාණය ගැන වාර්තා තබා තියෙනවාද? ඔවුන් එය ඇසිය යුත්තේ එසේ සාම්පල් යැවූ පුද්ගලයන්ගෙනුයි.’’
කෙසේ වුවද, කොමිෂන් වාර්තාව කියාසිටින්නේ තමන් වෙත ලැබී ඇති සාම්පල් 8න් 7ක් පමණක් කාබනික කාල නිර්ණයට ගැලපෙන බව හා අනෙක් සාම්පලය ප‍්‍රතික්‍ෂේප කරන බව බීටා අනලිටික් ආයතනයේ අධ්‍යක්‍ෂ ආර් ඊ හාට්ෆීල්ඩ් ලිඛිතව දන්වා ඇති බැවින්, අදාළ රසායනාගාරය දූෂ්‍ය වූ සාම්පල් යොදාගෙන කාබනික කාලනිර්ණ පර්යේෂණ නොකරන්නේය’යි විශ්වාස කළ හැකි බවයි. මේ තර්කය බැහැර කරන මහාචාර්ය සෝමදේව ‘අදාළ ප්‍රකාශය, කොමිසමේ සාමාජිකයන්ගේ විෂය අවබෝධය හෙළ කරන බව’ කියා සිටියි.
‘විෂය දැනුම’
‘‘වැසි ජලයෙන් හෝ වෙනත් ක‍්‍රමයකින් දූෂ්‍ය වූ සාම්පල් යොදාගෙන කාබනික කාලනිර්ණ සිදුකරන්න බැරිකමක් නෙමෙයි තියෙන්නේ. එසේ කරන කාල නිර්ණය නිවැරැදි එකක් නොවීමයි. විද්‍යාගාරයක් සාම්පල් ප‍්‍රතික්‍ෂේප කරන්නේ එය ප‍්‍රමාණාත්මකව ඔවුන්ගේ පර්යේෂණයට අවශ්‍ය ප‍්‍රමාණයෙන් නොතිබීම, පර්යේෂණයන්ට අවශ්‍ය වායූන් ඇතුළු සංඝටක සාම්පලයේ ප‍්‍රමාණාත්මකව අඩංගු නොවීම වැනි කාරණා මතයි. එසේ නැතිව සාම්පල් වැසි ජලයෙන් දූෂ්‍ය වුණාද – නැතිද කියා බලන එක ඔවුන්ගේ වැඩක් නෙමෙයි. ඒ ගැන සොයාබැලීමේ වගකීම ඇත්තේ සාම්පල් එහි යවන්නන්ටයි.,” ඔහු ප්‍රකාශ කළේය.
‘‘සරල උදාහරණයකින් පැහැදිළි කළොත්, රුධිර ගත සීනි ප්‍රමාණය පරීක්‍ෂා කරගන්න යන රෝගියාට සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙකු දෙන උපදෙස තමයි, පැය දහයක් කෑම නොගෙන උදෑසන හිස්බඩ රුධිර පරීක්‍ෂාවට එන්න කියලා. රෝගියා උදේ තේ එකක් බීලා රුධිර පරීක්ෂාවට ගිහින් වෛද්‍යවරයාට කියනවා මං හිස්බඩ තමයි ඇවිත් ඉන්නේ කියලා. එවිට රුධිර පරීක්ෂාවේ දත්ත සදොස් වීම අනිවාර්යයි. ඒත් ඒකට වෛද්‍යවරයාට කරන්න දෙයක් නෑ. වගකීම රෝගියාගේයි.
මෙහිදීත් වෙන්නේ එවැනි දෙයක්. මා කියන්නේ සාම්පල් එකතු කළ ආකාරය, ඒවායේ දූෂ්‍ය මට්ටම සොයා බැලූ ආකාරය, ඒවා යැවූ ආකාරය ගැටලූ සහගත බව සහ එසේ නිසි ක‍්‍රමවේදයක් අනුගමනය නොකළා නම් ලැබෙන ප‍්‍රතිඵල මුළුමනින්ම දෝෂ සහගත වන බවයි. කාබන් කාලනිර්ණය කළ බීටා ඇනලිටික් සමාගමට සාම්පල් ඉහත ආකාරයෙන් දූෂ්‍ය වී ඇතිද නැද්ද යන්න ගැන කීමේ හැකියාවක් නැති අතරම ඒක ඔවුන්ගේ වගකීමත් නෙමෙයි. මේ තාක්‍ෂණික කාරණය දන්නේ නැති කොමිසමක් තමයි මේ වගේ නිගමන දෙන්නේ.”
‘කාබනික කාලනිර්ණය අවදානම්’
‘බීටා ඇනලිටික් ආයතනය මඟින් මේ සාම්පල් ගැන කාබනික කාලනිර්ණයක් කරවන්නැයි සිය වාර්තාවෙන් නිර්දේශ කර ඇත්තේ තමන් විසින් කරන ලද කාලනිර්ණය ගැන විශ්වාසයක් නැති නිසාදැ’යි කොමිසම තමාගෙන් විමසූ බව ද ආචාර්ය සෝදම දේව කියා සිටියි.
“ඒ ප්‍රශ්නයම කැකිල්ලේ වර්ගයේ ප්‍රශ්නයක්. වෘත්තීය විශේෂඥයෙක් තමන් යම් විද්‍යාත්මක නිගමනයක් දී එය තහවුරු කරගැනීමට වෙනත් වෘත්තීය විශේෂඥ කි‍්‍රයාපටිපාටියක් යෝජනා කරන්නේ තමන්ගේ නිගමනය සැක නිසා නොව, එය විද්‍යාත්මකව වඩා තහවුරු කරගන්නයි කියන සිද්ධාන්තයවත් මේ කොමිසමේ සාමාජිකයන් දන්නේ නෑ.
‘‘අද ජාත්‍යන්තරව තිබෙන පිළිගැනීම තමයි මෙවැනි දෙයක කාලනිර්ණය දීමේ දී පුරාවිද්‍යා කාලනිර්ණය වඩා විශ්වාසදායක බව හා කාබන් 14 ක‍්‍රමවේදයට යාමේ අවදානම් රාශියක් තිබෙන බව. මේ දේවල් පිළිබඳ විශේෂඥ දැනුමක් නැතිව, විශේෂඥ ක‍්‍රමවේදයන් ඔස්සේ විසඳිය යුතු ගැටලූවක් පාර්ශවීය අගතීන්ට යටත්ව විසඳන්න ගියාම මෙවැනි විද්‍යාත්මක නොවන, අශාස්ත‍්‍රීය නිගමනවලට එන්න සිදුවෙනවා. ඒ අනුව කොමිසමේ කි‍්‍රයාකලාපය මා දකින්නේ, ප‍්‍රමාණවත් නොවන හා පාර්ශවීය ක‍්‍රමවේදයක් ඔස්සේ ඉතා සංවේදී හා බරපතල ගැටලූවක් විසඳීමට තැත් කිරීමක් විදියටයි.’’
මිනීවළ තුළ වළදමා ඇති පුද්ගලයන් ‘‘බිහිසුණු සමූහ ඝාතනයකට ගොදුරු වූවන් බව ප‍්‍රකට කරමින් ඔවුන් මරණයට පෙර කෲර වදහිංසාවලට ලක්ව තිබෙන’’ බව කොමිසම සිය වාර්තාවෙන් පිළිගෙන තිබීම පිළිබඳව අසන ලදුව මහාචාර්ය සෝමදේව පවසන්නේ මෙවැන්නකි.
‘‘මෙයත් කොමිසමේ කි‍්‍රයාකලාපය ප‍්‍රශ්න කිරීමට තුඩුදෙන තැනක්. කොමිසමේ වගකීම විය යුත්තේ මේ මිනීවල කුමන කාලයකට අයත්ද, එහි වළදමා ඇත්තේ කවුරුන්ද යන්න විමර්ෂණය කිරීම යි. ඒත් කොමිසම කර ඇත්තේ මෙය 86-90 කාලයට, එනම් ජවිපෙ දෙවැනි සන්නද්ධ නැගිටීම සිදුවූ සමයට අයත් නැති බව කීමට උත්සාහ කිරීම පමණයි. 1950ට පෙර ජීවත් වූ ජන පිරිසක් කෲර ලෙස ඝාතනය වී සමූහ මිනීවලක වැළැලී තිබෙන බව ඔවුන් නිගමනය කරනවා නම්, ඒ නිශ්චිත කාල වකවානුව කුමක්ද යන්නත්, එසේ බිහිසුණු ලෙස ඝාතනය වූවන්ගේ අනන්‍යතාව කවරක්ද යන්නත් සොයාබැලීම සිදුවිය යුතුයි. එහෙත් ‘‘සාහසික අපරාධයට වගකිවයුතු අපරාධකරුවන්ගේ අනන්‍යතාව පිළිබඳව හෝ මේ අවාසනාවන්ත පුද්ගලයන් කුරිරු අන්දමින් මරාදැමීමට හේතුව සම්බන්ධයෙන් සාක්ෂි නැතැ’’ යි කියා සඳහන් කරනවා ඇරෙන්න ඉහත කාරණා සොයැබැලීමට කොමිසම උත්සාහ දරා ඇති බවක් පෙනෙන්නේ නෑ. ඇයි 1950ට පෙර මේ රටේ හිටියේ වනචාරීන්ද? ඔවුන් ම්ලේච්ච ආකාරයට ඝාතනය වී තිබුණාට කමක් නැද්ද? ඒ ගැන තොරතුරු සෙවීම අවශ්‍ය නැද්ද? කොමිසම ක‍්‍රියාකර ඇත්තේ හරියට ඔවුන්ට පැවරුණු රාජකාරිය මෙහි ඇත්ත හෙළිදරව් කරගැනීම නොව මිනීවළ 86 – 90 කාලයට අයත් නැති බව තහවුරු කිරීම වගේ.’’
‘88-89ට සම්බන්ධයක් නෑ’
කොමිසම හමුවේ සාක්කි දුන් ‘‘සාක්කිකරුවන් සැක කරන පරිදි සමූහ මිනීවළ හා (88-89 භීෂණ සමයේ) අතුරුදහන් වූවන් අතර වියහැකි සබඳතාවක් තහවුරු කිරීම, එම තර්කයට රේඩියෝ කාබන් කාලනිර්ණ ප‍්‍රතිඵල අනුකූලතාවක් නොදක්වන හෙයින් බෙහෙවින් අසීරුය’’යි ද, ‘‘භූමදාන කාලයන් සම්බන්ධයෙන් මහාචාර්ය සෝමදේව නිගමනයට පැමිණි ආකාරය සම්බන්ධයෙන් තමන් සෑහීමට පත්නොවන්නේය’’යි ද, ඔහුගේ සොයාගැනීම් ‘කොමිසම හමුවේ ඇති ඉතා ප‍්‍රබල ඍජු සාක්කිවලට අභියෝග නොකරන්නේ යැයි’ ද ජනාධිපති කොමිසම සිය වාර්තාවෙන් කියා සිටී.
නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, මාතලේ සමූහ මිනීවළේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයන් භාරව සිටින වෛද්‍ය අජිත් ජයසේන JDS වෙත පවසා ඇත්තේ, අදාළ කොමිසන් වාර්තාවේ සඳහන් වෙතැයි පැවසෙන විශේෂඥ පරීක්‍ෂණ සම්බන්ධ විවේචන තමන්ට කෙසේවත් පිළිගත හැකි මට්ටමේ ඒවා නොවන බව යි.
‘‘ඇතේතෙන්ම ඔය කොමිසම පත්කළේ කවුරුන්ද, කුමක් සඳහාද කියලා අපි හැමෝම දන්නවා. කාව ආරක්‍ෂා කරන්නද කියලත් අපි දන්නවා. එබැවින් ඔවැනි කොමිසමකින් මීට වැඩිදෙයක් බලාපොරොත්තු විය නොහැකියි. කොමිසම ඉතාම පක්ෂග‍්‍රාහී එකක් බව අප මුල පටන් දැන සිටියා. ඒ නිසා මා කියනවා ඔය කොමිෂන් වාර්තාව වෘත්තිකයන්ට කළ බලවත් අපහාසයක් හා අගෞරවයක් කියලා.
වගකිවයුතු බලධාරීන්ගේ විවිධ කෙනහිලිකම් හා නොසළකා හැරීම් මැද, අනේක විධ අපහසුතාවන්ට මුහුණ දෙමින් තමන් මාතලේ සමූහ මිනීවලේ පරීක්‍ෂණණ කටයුතු සිදුකළ බව වෛද්‍ය ජයසේන පෙන්වා දෙයි.
“කිසිවකුත් ආරක්ෂා කරන්නවත්, කිසිවකුට හෝ චෝදනා නඟන්නවත් අපට අවශ්‍ය වුණේ නෑ. අපිට තිබුණු වගකීම තමයි, වසර ගණනාවක් පස් යට වැළලිලා තිබුණු මිනිස් ඇටසැකිලිවල හිමිකරුවන්ගේ මානව ගරුත්වය ආරක්‍ෂා කිරීම, කුරිරු වධබන්ධනයන්ට ලක්ව මියගිය බව පෙනුණු මනුෂ්‍ය ප‍්‍රාණයන්ට යුක්තිය ඉටුකිරීම කියන කාරණා. වෘත්තිකයන් ලෙස අප කළේ විද්‍යාත්මක පර්යේෂණයක්. වැළලී තිබූ මානව අස්ථි, විද්‍යාත්මක ක‍්‍රමවේදයකින් පරීක්‍ෂා කරලා අප ඒ පිළිබඳ නිගමනයන් ලබාදුන්නා. ඒ ඇටසැකිලි පරීක්‍ෂා කිරීමේ දී මා දුටුවා එවායේ හිමිකාරයන් කෙබඳු වද බන්ධනයන්ට ලක්කොට තිබුණාද කියා. හිස් කියත්වලින් කපා දමමින්, සිරුරට ඇණ වැනි දෑ ඇතුළු කරමින්, සිරුරුවලින් අත් පා වෙන් කරමින් නොයෙක් වද හිංසනයන්ට ලක් කළ මනුෂ්‍ය ජීවිත 150කට අධික සංඛාවකගේ අස්ථි කොටස් අප සොයාගත්තා. ඒ විදියට සොයාගත් විද්‍යාත්මක තොරතුරු කොමිෂන් පත්කරන දේශපාලනඥයන්ගේ හා ඒ කොමිෂන්වල අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි විකෘති කරන්න අපට බෑ.’’
‘කොමිසමේ කි‍්‍රයාකලාපය පුදුම සහගතයි’
මෙවැනි විද්‍යාත්මක පරීක්ෂණ පිළිබඳව අධිකරණ හෝ පරීක්‍ෂණ කොමිසන් සභා විමර්ෂණයන් සිදුකරන විට අදාළ විද්‍යාත්මක තර්කයන් සමාලෝචනය කිරීමට ඒ හා සමාන වූ විශේෂඥයන් යොදාගැනීම සාමාන්‍ය සම්ප‍්‍රදායක් බැවින් මාතලේ සමූහ මිනීවළ සම්බන්ධයෙන් කොමිසම එවන් ක‍්‍රමවේදයක් අනුගමනය කරනු ලැබුවේදැ’යි විමසන ලදුව විශේෂඥ වෛද්‍ය ජයසේන කියා සිටියේ තම සාක්ෂිය විමසීමේ දී කොමිසන් සභාවේ විමර්ශන ක‍්‍රමවේදයන් සහ විනිසුරු මඬුල්ලේ හැසිරීම සම්බන්ධයෙන් තමන් මහත් පුදුමයට හා කළකිරීමට පත්වූ බව යි.
‘‘අප සිදුකළේ විද්‍යාත්මක පරීක්‍ෂණයක්. එහෙත් එය විද්‍යාත්ම පරීක්ෂණයක් වන අතරේම, මගේ හෘදය සාක්ෂිය මට බලකළා ඒ වැළලී තිබූ මනුෂ්‍යයන්ට යුක්තිය ඉටුකිරීම සඳහා සත්‍යය එළිදරව් කිරීමට උපරිමයෙන් කැපවන ලෙස. මේ සමූහ මිනීවල අපරාධයක් සිදුවූ ස්ථානයක් නොවේය’යි තර්ක කරන්නන් පැහැදිළිව දන්නවා තමන් කරන්නේ බොරුවක් බව. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඒ අපරාධයන්ට නම් ගෑවී සිටින බලවත් පුද්ගලයන් ආරක්‍ෂා කිරීමට මිස ඝාතනය වූවන්ට යුක්තිය ඉටුකිරීම නොවෙයි. පැවැති ආණ්ඩුවේ බලවත් රාජ්‍ය නිලධාරියකුගේ නම මේ අපරාධ ස්ථානය හා ගෑවී තිබූ බව හැමෝම දන්නවා. මේ කොමිසමත් ඒක දන්නවා. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය වුණේ ඒ පුද්ගලයාව බේරාගැනීමට මිස විද්‍යාත්මක පරීක්ෂණයක් කළ වෘත්තිකයන් දෙන සාක්කි පිළිගැනීමට නොවේ. ඒ නිසා තමයි මා සාක්කි දෙන විට කිසිදු පදනමක් නැති ප‍්‍රශ්න විමසමින් මා අපහසුතාවයට පත්කරන්න කොමිසමේ සාමාජිකයන් උත්සාහ කළේ. කොමිසමේ සිටි පුද්ගලයන්ට මේ කාරණයට අදාළ විද්‍යාත්මක කරුණු ගැන ප‍්‍රමාණවත් දැනුමක් නැහැ. එය ඔවුන්ගේ විමර්ෂණයේදී මෙන්ම මේ කියන වාර්තාවේ දැනට එළිදැක ඇති කරුණුවලිනුත් පැහැදිළි වෙනවා.”
මාතලේ වධකාගාර (ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය විවෘත කෙරුණු 1989 ජූලි 25: (වමේ සිට) මේජර් වයි එන් පලිපාන, ලුතිනන් කර්නල් ගාමිණි අංගම්මන, මේජර් ගෝඨාභය රාජපක්‍ෂ, කර්නල් විජය විමලරත්න, ලුතිනන් එස් ඒ කුලතුංග, කර්නල් ජී සී ප්‍රේමචන්ද්‍ර)
අප්‍රේල් 29 වැනිදා ජනාධිපති ලේකම්වරයාට භාර දෙන පරීක්‍ෂණ කොමිෂන් වාර්තාවට තුඩු දුන් සමූහ මිනීවළ 2012 නොවැම්බරයේ දී හමුවූයේ මාතලේ රෝහල් භූමියේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා කැනීම් කරමින් සිටියදී ය. එම ස්ථානයේ තිබී මිනිස් ඇටසැකිලි 154ක් හම වූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම සමූහ මිනීවල පිළිබඳ පරීක්‍ෂා කිරීම සඳහා 2013 ජූනි මාසයේ දී ත්‍රිපුද්ගල විශේෂ ජනාධිපති කොමිසමක් පත්කළේ ය. විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් අයි ඉස්මයිල්ගේ සභාපතිත්වයෙන් යුතු කොමිසමේ සෙසු සාමාජිකයන් වූයේ හිටපු පාර්ලිමේන්තු මහලේකම් ධම්මික කිතුලේගොඩ සහ විශ‍්‍රාමලත් මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු ය.
කෙසේ වුවද, කොමිසමේ වාර්තාව හා නිගමනයන් පිළිබඳ නව ආණ්ඩුවේ හෝ ජනාධිපතිවරයාගේ මතය මෙතෙක් නිලවශයෙන් ප‍්‍රකාශයට පත්වී නැත.
87-89 ජවිපෙ දෙවැනි සන්නද්ධ නැගිටීම සමයේ මාතලේ ප්‍රදේශයේ හමුදා හා පොලිස් වධකාගාර ගණනාවක්ම ක්‍රියාත්මක වූ බවට තොරතුරු හෙළිවී ඇති අතර, මාතලේ විජය විද්‍යාලය, තානායම් ගොඩනැඟිල්ල, කූඹියන්ගොඩ විහාරස්ථානය හා පෝසිලේන් කර්මාන්ත ශාලාව මෙබඳු වධකාගාර පැවැති ස්ථාන ලෙස නම් කෙරී තිබේ. ඒ අතරිනුත් මාතලේ විජය විද්‍යාලයේ හා රජයේ තානායමේ පවත්වාගෙන ගිය වධකාගාර මෙම සමූහ මිනීවලට වඩාත් ආසන්නයේ පිහිටියේ ය.
1989 මැයි 01 වැනිදා සිට ජවිපෙ කැරළි මර්දන ක්‍රියාවන් සඳහා මාතලේට කැඳවන ලද ශ්‍රී ලංකා යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරන ලද්දේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්, එවකට මේජර් ගෝඨාභය රාජපක්‍ෂ විසිනි. අදාළ වකවානුවේ මාතලේ දිස්ත්‍රික් හමුදා සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන්ද ක්‍රියා කළ මේජර් ගෝඨාභය යටතේ, ලුතිනන්වරුන් වූ ශවේන්ද්‍ර සිල්වා, ජගත් ඩයස් සහ සුමේධ පෙරේරා යන නිලධාරීන්ද කටයුතු කළ බව, ‘දි අයිලන්ඩ්’ පත්‍රයේ නියෝජ්‍ය කර්තෘ සී ඒ චන්ද්‍රපේම විසින් 2012 දී පළ කළ ‘ගෝඨාගේ යුද්ධය’ (Gota’s War: The Crushing of Tamil Tiger Terrorism in Sri Lanka) කෘතියේ දැක් වේ.☐
( jdslanka.org )